පළකල දිනය : Wed, Jan 2nd, 2019

විවාහක විශ්ව රූ රැජින තරගයේ කවුරුත් කතා නොකරපු ජය

2018 වසරේ විවාහක විශ්ව රූ රැජින තරගය පසුගියදා පිලිපීනයේ සීබු නුවරදී පැවැත්වුණා. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේ “2018 විවාහක රූ රැජින” ලෙස කිරුළ දිනූ නදීපා රණසිංහයි. රටවල් 90 ක් නියෝජනය කරමින් තරග වැදුණු රූමතියන් අතුරින් නදීෂාටත් සුවිශේෂී ස්ථානයක් හිමිවුණා. තරගාවලියේ “පරිපූර්ණ යුවතියට හිමි කිරුළ” තමයි එහිදී නදීපා දිනා ගත්තේ.

හිමිවූ ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ?

ගොඩාක් සතුටුයි. ඊට විශේෂ හේතු කීපයක්ම තියෙනවා…

මොනවද ඒ හේතු?

එකක් තමයි මේ මම මෙබඳු තරගයකට ඉදිරිපත් වූ මුල්ම අවස්ථාව වීම. මම නිළියක් හෝ නිරූපණ ශිල්පිනියක් ‍නෙවෙයි. එබඳු පසුබිමක “2018 විවාහක රූ රැජින” වෙන්න, ජාත්‍යන්තර තරගයෙන් මිණි කිරුළක් දිනාගන්න ලැබිම මා ලැබූ විශාල ජයග්‍රහණයක්. අනෙක මේ තරගාවලියේම අදාළ ජාතික තරගය අවසානයටම පැවැත්වූ රට ලංකාව. නොවැම්බර් 15 පැවැති තරගයෙන් “ශ්‍රී ලංකා විවාහක රූ රැජින වෙලා” දෙසැම්බර් 3 ජාත්‍යන්තර තරගයට යන්න සැරසෙන විට මට ඊට සූදානම් වෙන්න කාලයක් තිබුණේත් නැහැ. එබඳු පසුබිමක ලැබූ ජය මට ඇත්තටම වටිනවා.

නිසි සූදානම් වීමක් නැති හින්දා තරගයට මුහුණ දීමත් ඔබට ලොකු අභියෝගයක් වෙන්න ඇති නේද?

ඇත්තටම ඔව්. අපිට අපි පිළිබඳ හැඳින්වීමක් සහිත වීඩියෝ පට සංවිධායකයන්ට ඉදිරිපත් කරන්න තිබුණා. අදාළ තරග වාරයේදී අනිත් හැම රටකම තරගකාරියන් ඒ වීඩියෝ පට ඉදිරිපත් කළා. ඒත් මට එවැන්නක් කරගන්න කාලයක් තිබුණේ නැති හින්දා මම කළේ අදාළ කාලය තුළ කතාවක් පැවැත්වීමයි. හැබැයි මම දිනූ මිණි කිරුළට ඒ කතාවත් ලොකු හේතුවක් වුණා.

ඔබ ගැන රටම දැනගත්තේ මේ ජයග්‍රහණයත් සමගයි. කැමැතිද ඔබ ගැන තව විස්තර ටිකක් කියන්න?

මම කාලයක් යුද හමුදා සේවයේ සේවය කළා. දැනට නීතිඥවරියක් විදියට කටයුතු කරනවා. මෙවර විශ්ව විවාහක රූ රැජින තරගයේ තේමාව වුණේ ගෘහස්ථ හිංසනය හා ලිංගික හිංසනය. මම නිතර වෘත්තිය තුළින් ලැබූ අත්දැකීම් හා දැනුම තරගයට මුහුණ දෙන්න මට විශාල ශක්තියක් වුණා. පෞද්ගලික තොරතුරු කතා කරනවා නම් මගේ ගම කළුතර. ඉගෙන ගත්තේ පානදුර ශ්‍රී සුමංගල බාලිකා විදුහලින්. මගේ සැමියා දුලාර චමත් පරණවිතාන විදෙස් සමාගමක වෙළෙඳ ප්‍රචාරක කටයුතුවල නිරත වි සිටිනවා. මට අවුරුදු 4ක චූටි දුවක් ඉන්නවා. ඇය යුවාර්ථා පරණවිතාන.

මේ ජයග්‍රහණය දක්වා ආ ගමන දෙස ආපසු හැරී බලද්දී මොකද හිතෙන්නේ?

අහම්බෙන් තමයි මේ තරගය ගැන අන්තර්ජාලයෙන් දැක්කේ. මම මීට අයැදුම් කරනවාට මුලදී සැමියගේ පුංචි අකමැත්තකුත් තිබුණා. ඊට හේතුව මගේ වෘත්තියත් එක්ක මට මේ වගේ දෙයක් නුසුදුසු වේවිද කියලා හිතපු හින්දා. මම තරගය තුළ ඉදිරියට යද්දි නම් ඔහුගේ සහය ලැබුණා. මම කලාවට සම්බන්ධ නැහැමයි කියන්නත් බැහැ. පුංචි කා‍ලේ මහින්ද අල්ගම මාමා හා යුවනිකා වික්‍රමගේ නැන්දා යටතේ ගුවන් විදුලියේ ළමා පිටියේ මම හිටියා. ටයිටස් තොටවත්ත මාමා හා අතුල රන්සිරිලාල් මාමා යටතේ ළමා හඬ කැවීම් ශිල්පියෙක් විදියටත් කටයුතු කර තිබෙනවා. අධ්‍යාපනයට මුල් තැන දීපු හින්දා කාලයත් එක්ක ඒවායින් දුරස් වුණත් නීතිඥ වෘත්තියට එන්න කලින් ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටත් කටයුතු කළා. ඔය අතර කාලයේ ටෙලි නාට්‍යවලටත්, චිත්‍රපටවලටත් ආරාධනා ලැබුණා. හැබැයි එකක්වත් භාරගත්තේ නැහැ. හැබැයි එහෙම වුණා කියලා කලාවට ඇති ඇල්ම නම් බිංදුවක්වත් අඩුවෙලා නැහැ.

ආරියවංශ කුලතිලක

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button