පළකල දිනය : Mon, Jan 7th, 2019

ටෙනීට නෑති ලෙඩක් හදපු ඈත්තම කතාව මෙන්න

ටෙනිසන් කුරේ පිළිබඳ පසුගිය දවස්වල පැතිරිලා ගියේ අසුබවාදී කටකතාවක්. වකුගඩු ආබාධයක් ඇතිවෙලා ටෙනීව සැත්කමකටත් භාජනය කරලා තියෙන බව තමයි ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබුණේ. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අලුත් අවුරුද්ද ලබද්දීම අපි ටෙනීට කතා කළා.

ටෙනී අසනීප වෙලා සැත්කමටත් භාජනය කරලා කියලා ආරංචි වුණා ඇත්තද ඒ කතාව?

ඔව්නේ පිත්තාශයේ ගලක් තිබුණා ඕක තියාගෙන වැඩක් තියෙනවද? ඉතින් ඒක මම අරන් දැම්මා. එහෙම කියලා ටෙනී හරිම සැහැල්ලු විදිහට හිනාවුණා. ඊට පස්සේ ඔහු ආයෙම මෙන්න මෙහෙම කිව්වා.

මම දවස් 4ක් ඩර්ඩන්ස් රෝහ‍ලේ නතරවෙලා ඉඳලා තමයි ඔය ඔපරේෂන් එක කළේ. ඊට පස්සේ ටිකට් කපාගෙන ගෙදර ආවා. වෛද්‍යවරු කිව්වා නුවරඑළිය වගේ පැත්තකට ගිහින් දවස් කිහිපයක් විවේක ගන්න කියලා. නුවරඑළිය යන්න කම්මැලි හින්දා මම හිතුවා නුවරඑළිය අපේ ගෙදරට ගෙන්න ගන්න. ඒ දවස් කිහිපය තුළ මම මිනිස්සු දම්මලා අපේ වත්තේ එළවළුයි, මලුයි වැව්වා. දැන් කාමරේ ජනේල් ඇරලා බලද්දී නුවරඑළිය අපේ වත්තේ. ඔන්න ඕකයි ඇත්ත කතාව. ඒත් කටකතා පැතිරිලා ගියේ මම දරුණු ආබාධයකට ලක්වෙලා කියලා.

ඇත්තටම මොකද වුණේ?

මීට මාස කිහිපයකට කලින් හිටිහැටියේ මට කෑම අරුචියක් ඇතිවුණා. කෑම කන්නම බැහැ. ඒ හින්දා මම වෛද්‍යවරයකු හමුවුණා. ඒ වෙලාවේ කරපු පර්යේෂණවලදී තමයි මගේ පිත්තාශයේ ගලක් තියෙන බව සොයා ගත්තේ. ඒක සැත්කමක් කරලා ඉවත් කළා.

එතකොට ටෙනීට වකුගඩු ආබාධයක් කියලා කටකතා පැතිරුණේ කොහොමද?

ඉස්සර ඉඳන් මගේ වකුගඩුවක යම් ප්‍රශ්නයක් තියෙනවා. ඒක රෝගී තත්ත්වයක් නෙමෙයි. වකුගඩුවේ යම් පැල්ලමක් වගේ දෙයක්. කාලයක ඉඳන් මම ඒකට ප්‍රතිකාර කරනවා. පිත්තාශයේ රෝගී තත්ත්වය හින්දා කෑම අරුචිය ඇතිවෙලා මම ටිකක් කෙට්ටු වුණාම කතාව පැතිරුණේ වකුගඩු ආබාධයක් කියලයි.

ඇතිවූ රෝගී තත්ත්වය ඔබේ කලා දිවියට කොයි විදියටද බලපාන්නේ?

වේදිකා නාට්‍ය හැම එකක්ම සති දෙක තුනකට, මාසෙකට වගේ කල් දැම්මා. ඔය අතරේ සිසිල් ගුණසේකරගේ රැල්ල දික්වැල්‍ලේ පෙන්නන්න නියමිතව තිබුණා. ඒක නියමිත දිනට පෙන්විය යුතුම හින්දා මම වගේම කෙනෙක් දාලා නාට්‍ය පෙන්නුවා. එදා ප්‍රේක්ෂකාගාරයම ලොකු කලබලයක් ඇති කරලා. මම ‍පොල්ල තිබ්බා කියලා හිතපු ප්‍රේක්ෂකයෝ මටත් කෝල් කළා. හැබැයි දැන් මට සනීපයි. ආයෙත් රැල්ල නාට්‍යයත් එක්ක රට වටේ යනවා.

ඒ කියන්නේ ඔබ දැන් සම්පූර්ණ සුවයෙන්?

අ‍පොයි ඔව් හොඳටම හොඳයි අලුත් අවුරුද්දේ සිවම්මා ධනපාල නාට්‍යයත් ආයෙම පටන් ගන්නවා.

ආරියවංශ කුලතිලක

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button