පළකල දිනය : Mon, Jan 7th, 2019

තාත්තාගෙ සමහර වෑඩ මම අනුමත කරන්නේ නෑ විජේවීර පුතා කියපු සුපිරි කතාව

කතිකාකරගත් පරිදි අපේ හමුව සිදුවූයේ කැලණිය රජමහ විහාරය ආශි‍්‍රතවය. නාවික හමුදාවට අයත් බොලෙරෝ වර්ගයේ ජීප් රථය ඉදිරියෙන් වූ මෝටර් රථයේ ඔහු විය. එයින් ලැබුණු සංඥාව ඔස්සේ අප ගේ මෝටර් රථය ඔවුන් පසුපසින් ගොස් කැලණි ගඟත් රජමහ විහාරයත් අතර ඇති උද්‍යානයේ නතර කළෙමු. ඒ ඔහුය. සිය ආදරණීය පියා මෙන්ම උපැස් යුවළකින්ද හිස් වැස්මකින්ද සැරසී සිටි ඔහුගේ පෙනුම මේ රටේ කිසිිදිනක වැළලිය නොහැකි අතීතයකට අප රැගෙන ගියේය. එහෙත් අප අසලින් ඔබ මොබ ගිය කිසිවෙකු හෝ මේ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර බව නොදත්හ. අපේ සාකච්ජා මේසය වූයේ කැලණි ගං ඉහත්තෑවේ නිසොල්මන් පරිසරයක වූ සිමෙන්ති පඩි පෙළකි.

ඔබේ පියා වන රෝහණ විජේවීර අත්අඩංගුවට පත්වන විට ඔබ අවුරුදු එකහමාරක පුංචි දරුවෙක්. ඒ නිසා ඔබට ඒ මොහොත පිළිබඳ මතකයක් නැතිව ඇති. නමුත් දැනුම් තේරුම් ඇතිවෙන කාලය වෙද්දි ඔබේ පියා ගැන දැනගත්තේ කෙහොමද? ජීවිතය තේරෙන කාලය වෙනකොට පටන් ගන්නෙ හමුදා කඳවුරු වලින්. මුලින්ම ගණේමුල්ල කොමාන්ඩෝ හමුදා කඳවුරෙන්. පස්සෙ ති‍්‍රකුණාමලය නාවික කඳවුර. වැලිසර නාවික කඳවුර. ඔය වගේ හමුදා කඳවුරු කිහිපයකම අපි හිටියා. තාත්තා ගැන දැනගෙන හිටියෙ අපේ අක්කල. එයාලා කීව කතා වලින් තමයි මුලින්ම තාත්තා ගැන මගේ මතකය ගොඩනැගෙන්නෙ.

ඔබේ පියා මේ රටේ ආන්දෝලනාත්මක චරිතයක් බව තේරුම් ගියේ” එය දැනගත්තේ කාගෙන්ද? දෙයාකාරයක් තියෙනවා. ගෙදරින් එන එකක් තියෙනවා. ඒ වගේම සමාජයෙන් එන එකක් තියෙනවා. හැබැයි ගෙදරින් එන එක දේශපාලනයෙන් තොරයි. අන්තිම කාලේ තාත්තා හැංගිලා ඉන්න කාලේ වෙද්දි වතු අධිකාරිවරයෙක් විදියට තමයි අක්කලත් තාත්තව දැනගෙන ඉඳල තියෙන්නෙ. දේශපාලනය කළා කියල දැනගෙන ඉඳලා නෑ. පසු කාලීනව තමයි අපිත් තාත්තා දේශපාලනය කළා කියල දැනගන්නේ. තාත්තගේ දේශපාලනය හොඳ විදියට වගේම නරක විදියට දකින පිරිසකුත් ඉන්නවා. ඒක සමාජයෙ එකිනෙකා තේරුම් ගන්න විදිය. මේ නිසා ගනේමුල්ල හමුදා කඳවුරේ ජීවත්වෙද්දි අපිට තාත්තා ගැන දෙවිධියකට තොරතුරු දැනගන්න ලැබුණා. ඒ කාලේ කා එක්කවත් කතා කරන්නවත්” පත්තරයක් බලන්නවත් අවසරයක් තිබුණෙ නෑ. කවුරු හරි නිලධාරියෙක් පත්තරයක් හරි අපිට දුන්නොත් ඔවුන්ට දඩුවම් ලැබෙනවා. නීතිමය රාමුව තද කරල තිබුණෙ. සමහරවිට ඒ අපේ ආරක්ෂාව නිසා වෙන්න පුළුවන්. නමුත් කෑම්ප් එකේදි අපිට කෑම ඔතල එවන පත්තර පිටු වල අපිට කියවන්න අවශ්‍ය දේ එවන්න ඇතැම් නිලධාරීන් කාරුණික වුණා. ඒ පත්තර පිටු වල ඔතල එවන්නෙ තාත්තා ගැන ලියවුණු ලිපි. අදටත් අපේ ගෙදර කෑම සුවඳ තියෙන එහෙම ලිපි ගොඩක් තියෙනවා එකතු කරපු.

සියල්ල සිදුවී අවසන්ව තිබියදී පවා හමුදා කඳවුරු තුළ තාත්තාට ආදරය කළ එහෙම පිරිසකුත් හිටියා… ඒ කියන්නේ…?ලොකු පිරිසක් හිටියා නැත්නම් තර්ජන තිබියදී පවා අපට මේ විදියට සුරක්ෂිතව ජීවත්වෙන්න පුළුවන් විධියක් නෑනෙ. ඒක විශේෂයෙන් මතක්කරන්න ඕන.

ඔබ කියන විදියට හමුදාව බාරයේ සිටියදී පවා තර්ජන තිබිලා තියෙනවා..? සමහර කාලවලදී පොඩි පොඩි ගැටීම් තිබුණා. සමස්තයක් ලෙස ගත්තාම ජ.වි.පෙ උදව් කරපු හමුදා නිලධාරීන් හිටියා. ඒ අතර පසු කාලීනව සිදුවෙච්ච ගැටුම් එක්ක සිත් බිඳි විරසකව සිටි පිරිසකුත් හිටියා. යම් නිලධාරීන් එක්කෙනෙක් දෙන්නෙක්ගෙන් පොඩි පොඩි ප‍්‍රශ්න වුණා වෙන්න පුළුවන්. නමුත් සමස්ථය ගෙන බැලූවොත් ඔවුන් අපිව හොඳින් බලාගත්තා.

මෙහෙම අහද්දි ඔබට එහෙම විශේෂ සිදුවීමක් මතක් වෙනවද? හමුදාව කළේ ඒගොල්ලන්ට එන නියෝග. කාමරයක දාල වහල තියන්න කියල කිව්වත් ඒක ඔවුන්ගෙ තීරණයක් නෙවේ. ඒක ඉහළින් එන දේශපාලන තීන්දුවක්. ඒ වගේ වෙලාවක වුණත් මානුෂියව හිතල හමුදාවෙන් අපට සහයෝගයක් තිබ්බා. හැබැයි ඒ සියල්ලත් එක්ක අවුරුදු 25-30 කඳවුරක ජීවත්වෙනවා කියන්නෙ ඉතින් සෑහෙන දුරට නිදහස අහිමි වීමක්.

මා අසා තිබෙනවා හමුදා අත්අඩංගුවට පත්ව ජීප් රියට නංවන අවසන් මොහොතේදී ඔබේ පියා එවකට ළදරුවෙක් වූ ඔබේ අතින් අල්ලා දරුවන්ට කොහොමහරි උගන්වන ලෙස මවගෙන් ඉල්ලීමක් කළ බව..? ඔව්. අපේ අධ්‍යාපන කටයුතු නිසා තමයි වැලිසර කඳවුරෙන් ති‍්‍රකුණාමල නාවික කඳවුරට යැව්වෙ. කඳවුරක් ඇතුළේ පාසලක් තියෙන්නෙ එහෙ විතරයි. මොකද ඒ වෙනකොට අපව දේශපාලන රැකවරණය දීල බාර ගන්න ප‍්‍රංශය වගේ ගොඩක් රටවල් ඉල්ලීම් කර තිබුණා.

එම ඉල්ලීම කි‍්‍රයාත්මක නොවුණේ ඇයි? අධ්‍යාපනයක් නෑ කියන සාධකයත් එක්ක තමයි එම ඉල්ලීම් කෙරුණෙ. ඒ වටපිටාව තුළ හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහත්තයා අපිව අධ්‍යාපනය සඳහා ති‍්‍රකුණාමලයට යවල දැන් එහෙම ප‍්‍රශ්නයක් නෑ කියල පෙන්නුවා. මට මතකයි පේ‍්‍රමදාස මහත්තයා අපේ අම්මට කියල තිබුණෙ මේ රටේ මිනිස්සුන්ට අවුරුදු 5ක් යද්දි ඔය ඔක්කෝම අමතක වෙනවා. ඒක තමයි ලංකාවෙ හැටි. මම ඔය කඳවුරු ඇතුළෙ ඉන්න ප‍්‍රශ්නය අවුරුදු 5න් ඉවර කරනවා කියලයි පේ‍්‍රමදාස මහත්තය කිව්වෙ.

මවගෙ උත්සාහයක් තිබ්බද විදේශ රටක දේශපාලන රැකවරණය ලබාගන්න? උත්සහ කළා. නමුත් තිබුණ දේශපාලන වාතවරණයත් එක්ක එවකට රජය අපව නිදහස් නොකිරීමත් වැනි හේතූන් මත අපට යන්න බැරි වුණා.

මර්දනයෙන් පසු 1994 වෙනකොට ජවිපෙය යළි දේශපාලන ප‍්‍රවාහයට පිවිසෙනවා. පක්ෂය ඔබල ගැන බැලූවෙ නැද්ද? ති‍්‍රකුණාමලය කඳවුරේ ඉද්දි කිසි කෙනෙක් එක්ක අපේ සම්බන්ධයක් තිබ්බෙ නෑ. කාටවත් අපව හමුවෙන්නවත් දුන්නෙ නෑ. තනි තනිව විදේශ වල හිටපු සාමාජිකයන් උදව් කරන්න උත්සාහ කළා. ඒ කාලෙ පක්ෂය ගොඩනැගී තිබුණෙත් නෑ. සියලූ සම්බන්ධකම් ඇතිවුණේ 98 න් පස්සෙ. පසුකාලීනව ජවිපය අම්මගෙන් අහල තියෙනව උදව් කරන්න. නමුත් අම්ම ඒකට කැමති වෙලා නෑ. මේ කාලෙදි අපට ගොඩක් උදව් කළේ ඩොක්ටර් චන්ද්‍රා ප‍්‍රනාන්දු කියන අපේ මාම. ඔහු අපිව එංගලන්තයේ රැගෙන යන්නම් කියල ලියවිල්ලක් රැගෙන ආවා. ඒකෙ තිබුණෙ පක්ෂයේ නායකත්වය ඔහුට දෙන්න කියල. තාත්තා එහෙම කිව්වයි කියල අම්මට අත්සන් කරන්න කිව්වා. නමුත් තාත්තා එහෙම කියල නැති නිසා තමන්ගේ අයියා ගෙනාව වුණත් ඒ ලිපියට අම්මා අත්සන් කළේ නෑ. ඒ නිසා අපි එංගලන්තයට යන එක දෙවැනි වතාවටත් නතර වුණා. අනෙක් පැත්තෙන් සෝමවංශ අමරසිංහ මහත්තයා ඒ වෙනකොට පක්ෂය ගොඩනගමින් හිටියා.

යළි කොළඹ එන්න උදව් කළේ කව්ද? හැබැයි අපි ඉල්ලීමක්වත් නොකර මහින්ද රාජපක්ෂ මහත්තයා කුමන හෝ මාර්ගයකින් අපිව බලන්න ආවා. ඒ කාලෙ ඔහු මන්තිී‍්‍රවරයෙක් විතරයි. ගමේ කමට බලල යන්න ආව කියල ඔහු කීවෙ. එදා අම්මා ඉල්ලීමක් කළා අපේ අධ්‍යාපන කටයුතු තවදුරටත් මෙහෙ ඉඳන් කරන්න බෑ අපට කොළඹට යන්න සලස්වන්න කියල. ඊට වසර කිහිපයකට පස්සෙ මහින්ද මහත්තයා නිසා තමයි අපි යළි කොළඹට ආවෙ. ඒ ඇවිත් වසරක් විතර යනකන් ආරක්ෂක හේතූන් මත පාසලක් නැතිව හිටියා. පස්සෙ ඞී. එස්. සේනානායක ඇතුල්වෙන්න පුළුවන් වුණා.

ලංකාවේ විශ්ව විද්‍යාලයකට යන්න සුදුසුකම් මදි වුණාද? ඔව්. නමුත් විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදය හදාරන්න මම යොමු වුණා. ඒත් මම කව්ද කියල දැනගත්තම දේශපාලන ප‍්‍රශ්න වගේ විවිධාකාර ප‍්‍රශ්නත් එක්ක ඒ අදහස අත් හැරල ඉද්දි ඉන්දියාවේ අන්ද්‍රා පළාත් විශ්ව විද්‍යාලයකට යන්න ශිෂ්‍යත්වක් ලැබෙනවා. එහෙදි මම වසර හතරක් දේශපාලන සහ ආර්ථික විද්‍යාව හැදැරුවා

රුසියාවේ උසස් අධ්‍යාපනය සඳහා යන්න ඔබේ පියා රෝහණ විජේවීර වීම හේතුවක් වුණාද..? මම මුලින්ම රුසියාවෙ ගියේ මුදල් වියදම් කරල. මොකද රුසියානු මධ්‍යස්ථානයට සම්බන්ධවෙලා ඒ වෙනකොට මම රුසියානු භාෂාව ඉගෙන ගනිමින් හිටියෙ. මගේ රුසියානු භාෂා ගුරුවරිය සහ බුද්ධපි‍්‍රය රාමනායක මහත්මයා තමයි මට උදව් කළේ. හැබැයි ඒ මගේ දක්ෂතාවයට. පස්සෙ තමයි ඔවුන් මම කව්ද කියල දැනගත්තෙ. ලංකාවෙන් නෙවෙයි රුසියානු විශ්ව විද්‍යාලයෙන් තමයි මට ශිෂ්‍යත්වය ලැබුණෙ. අදටත් මම ඉගෙන ගන්න යූරල් විශ්ව විද්‍යාලයේ කවුරුවත් මම කව්ද කියල දන්නෙ නෑ. මගෙත් එක්ක එහෙ ඉගෙන ගන්න ලංකාවෙ ශිෂ්‍යයින් පස් දෙනෙක් ඉන්නවා. ඔවුන් පවා මම කව්ද කියල දැනගත්තෙ මේ මෑතකදි

ඔබ එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමේ සභාපති බව සඳහන්ව තිබුණා. ඒ තැන ලැබුණෙ කොහොමද? රුසියානු රජයෙන්ම විදේශ ශිෂ්‍යයන් වෙනුවෙන් සංගමයක් පිහිටුවල තියනවා. ඒක මුලූ රටේම පළාත් අනුව කොටස් 8ක ට කඩලා තියනවා. මම ඉන්නෙ සවුත් යුරල්වල. රටවල් 50 ක විවිධ ජාතීන්ට අයත් ශිෂ්‍යයින් ඒ කොටසෙ ඉගෙන ගන්නවා. ඔවුන් වෙනුවෙන් කාලයක් මම වැඩ කළා. ඔවුන් තමයි මාව තෝරා ගත්තෙ. හැබැයි ලංකාවෙන්ම ඉන්නෙ ශිෂ්‍යයෝ පස්දෙනයි.

ලංකාවෙ ශිෂ්‍ය ව්‍යාපාරය ඔබේ පියාගේ දේශපාලනයට සමපාතකමක් පෙන්වනවා. ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ කි‍්‍රයාකාරීත්වය ඔබ කොහොමද දකින්නෙ? ලංකාවේ ශක්තිමත් ශිෂ්‍ය ව්‍යාපාරයක් තියනවා. නමුත් රුසියාවෙ තිබෙන ශිෂ්‍ය ව්‍යාපාරයයි මෙහේ තිබෙන ශිෂ්‍ය ව්‍යාපාරයයි බොහොම වෙනස්. අපි ඉන්න ශිෂ්‍ය ව්‍යාපාරයේ අපට ප‍්‍රශ්න අඩුයි. ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය තාම ඉන්නෙ ගැටුම් යුගයක. තමන්ගෙ අයිතීන් දිනාගන්න ආණ්ඩුවත් එක්ක ඔවුන්ට සටන් කරන්න වෙලා තියෙන්නෙ. නමුත් රුසියාවෙ ශිෂ්‍ය ව්‍යාපාරය . ලබාගන්න ඕන අයිතීන් ජයග‍්‍රහණය කරල ඉවරයි. ඒ නිසා එහෙ ශිෂ්‍ය සංගම් බලන්නෙ කොහොමද නැනෝ තාක්ෂණයෙන් ඉස්සරහට යන්නෙ” කොහොමද ඊළග රොකට්ටුව අහසට අරින්නෙ. ඕවා තමයි එහේ ශිෂ්‍ය සංගම් වලට තිබෙන ප‍්‍රශ්න.

ඒ හැර දේශපාලන ප‍්‍රශ්න වලට ඔවුන් මැදිහත් වෙන්නෙ නැතිද? ඒවා ගොඩක් විසඳිලා. ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ගොඩක් අරගල වුණාට තාමත් ඉන් එහාට ගිහින් නෑ. ඒකනෙ එකම තැනම මේ රට පල් වෙන්නෙ. මොකද විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙ හඩට සමාජය ඇහුම්කන් දෙන බවක් පෙන්නෙ නෑ. නමුත් එහේ ඉදිරියෙන්ම ඉන්න ශිෂ්‍යයන්ට රජයෙන් හරි තැන දෙනවා. අවශ්‍ය පහසුකම් දෙනවා. ඒ රටවල් දියුණු වෙන්නත් හේතුව ඒකනෙ.

මේ ක‍්‍රමය වෙනස් කරන්න ගිහින් ඔබේ පියාගෙත් බුද්ධිමත් තරුණයින් විශාල ප‍්‍රමාණයකගේත් ජීවිත රටට අහිමිව ගියා. පවතින ක‍්‍රමය වෙනස් කිරීම සඳහා ඔවුන් ගේ දේශපාලන භාවිතාව පිළිබඳ ඔබට ඇත්තෙ මොනව ගේ අදහසක්ද?

එක එක යුගවල එක එක විදියට ඒක පැන නගිනවා. ඉතිහාසයේ එකඑක යුගවල සමාජක‍්‍රමය වෙනස් කරන්න හරි” පාලනය වෙනස් කරන්න හරි අරගල සිද්ධ වෙලා තියෙනවා. ඒක ජවිපෙය හරි රෝහණ විජේවීර හරි තනි සාධකයක් නෙවෙයි. විවිධ අයුරින් අරගල ඉතිහාසයේ සිදුවුණා. කන්ද උඩරට කැරැල්ල එනකොට ඒක විශේෂ අවස්ථාවක්. ඒ අවස්ථාව එනකොට කැප්පෙටිපොල අරගලයක් කළා. ගත්ත කි‍්‍රයාමාර්ග වල අඩු පාඩු තියෙන්න පුළුවන්. ඒ අවස්ථාවෙත් දේපළ හානි වුණා. හාමුදුරුවරු අපවත් වුණා. මිනිස්සු මැරුණා. ඒ මොහෙතේ ඔවුන් ද්‍රෝහින්. ගොන්ගාලේ ගොඩ බණ්ඩල තමන්ම තමන්ගෙ කුඹුරු ගිනිතිබ්බා. ඒ මොහොතේ ඔවුන් ද්‍රෝහීන්. ඒක ඒ මොහෙතෙදි මිනිස්සු කියව ගන්න විදිය. අරගලයේ අඩු පාඩු තිබෙන්න පුළුවන්. හැබැයි ඇයි අරගලයක් ඔවුන් කළේ්. අරගලයක්වත් නොකර හිටියනම් අපි කොතනද ඉන්නෙ. 71 කැරැල්ල නොකෙරුවානම් ලංකාව අර්ධ යටත් විජිතයක්. මේක කව්රුවත් කතා කරන්නේ නෑ. පූර්ණ නිදහස අපට ලැබුණෙ පස්සෙ. මම කියන්නෙ මේවා දේශපාලනික කාරණා. කෙනෙක් ඒක වැරදි විදියටත් තව කෙනෙක් ඒක හරි විදියටත් දකින්න පුළුවන්. ඒක ඒ අයගෙ අයිතිය. නමුත් දැන් මිනිස්සු තොරතුරුත් එක්ක බද්ධ වෙලා ඉන්නෙ. මෙතනින් එහාට වෙන අරගලය සන්නිවේදනයත් එක්ක වෙන අරගලයක්. ඕනම රටක් දියුණු වෙලා තියෙන්නෙ අරගල කරලා. අඩුපාඩු තියනවා. විජේවීර මගේ තාත්තා කියල ඔහුගෙ කි‍්‍රයාමාර්ග සර්ව සම්පූර්ණයි කියන තැනක මම නෑ.

ඔබේ පියාත් සමග මේ රටේ 60”000 වන තරුණ තරුණියන් පිරිසක් ජිවිත සහතිකයක් නැතිව තවමත් සිටින්නෙ අතුරුදන් ලැයිස්තුවේ. සත්‍ය වශයෙන්ම ඔබේ පියාට සිදුවූයේ කුමක්ද කියා සොයා බලන්න ඔබට දහසක් නැතිද? අපේ තාත්තා විතරක් නෙමෙයි.. මේ රටේ මරණ සහතිකයක් නැතිව අතුරුදන් වූ ඒ සියලූ දෙනාට මොකක්ද වුණේ කියල දැනගන්න එයාලගෙ දරුවන්ට මව්වරුන්ට අයිතියක් තියනවා. නමුත් මේ පවතින ක‍්‍රමය තුළ ඒකට සාධාරණයක් ඉෂ්ඨ වෙයිද කියල විශ්වාසයක් නෑ.

පවතින ක‍්‍රමය හොඳ නෑ කියලද ඔබ කියන්නෙ.? ඕක මම තනිව පිළිතුරු දෙන්න ඕන ප‍්‍රශ්නයක් නෙමෙයි. මම ජීවත්වෙන්නෙත් මේ සමාජ ක‍්‍රමය තුළ. ඒ සමාජයේ ජීවත්වන මිනිස්සු ජීවත්වෙන්නෙ සතුටින්ද..? හොඳට කාල” බීල” ඇඳල ගෙදරට ඇවිත් සතුටින් ජීවත් වෙන්්න පුළුවන්ද? එහෙම නැත්නම් ගෙදරක ඉන්න පුතා හිතන්නෙ හොරෙන් බෝට්ටුවකින් හරි ඉතාලියට යන්න. මව සැලසුම් කරන්නෙ කීයක් හරි හොයාගන්න මැද පෙරදිගට යන්න..? ඉතින් මම පෙරළා ප‍්‍රශ්න කරන්නෙ” ඔවුන් ඉන්නෙ සතුටින්ද?

සමාජවාදය පිළිබඳ ඔබේ තිබෙන අදහස? මම ලොකුවට දේශපාලනය කතාකරන්න කැමති නෑ. එක එක කාල වකවානුවල එක එක රටවලට එක එක ක‍්‍රම ගැළපෙනවා ප‍්‍රශ්නය තියෙන්නෙ සමාජවාදය හරි ධනවාදය හරි ඒ ක‍්‍රමය ක‍්‍රියාත්මක කරන මිනිස්සු ඒක හරියටම කරනවද කියන එකයි. සමාජවාදය පෙන්නල මිනිස්සුන්ගෙ බදු මුදල් හොරා කනවනම් වංචා කරනවනම් ඒ රටට දියුණු වෙන්න බෑ. ලොකුවට හිතන්න ඕන නෑ කෙටියෙන්ම කිව්වොත් මිනිස්සු බලන්න ඕන තමන් පත්කරපු කෙනා හරියට වැඬේ කරනවද නැද්ද? හොරෙක්ද නැද්ද කියල විතරයි. දෙශපාලනයට බැනලා වැඩක් නෑ. වෙනස් කරන්න ඕන මිනිස්සුන්ගෙ ඔලූ.

ඔබේ පියා ගොඩනැගූ පක්ෂය දැන් කොටස් දෙක තුනකට කැඞී ගිහින්. මොකද ඔබ හිතන්නෙ මේ බෙදී වෙන්වීම ගැන? ජ. වි. පෙ. යත් පෙරටුගාමීනුත් ජාතික නිදහස් පෙරමුණත් කියන්නෙ එකම ගහේ මුලයි කඳයි අතුයි ලෙයසි මම දකින්නෙ. මේ ගස සම්පූර්ණ වෙන්න ඒ හැම දෙනාම එකතුවෙන්න ඕන

මේ කාගෙන්හරි ඔබට දේශපාලනය සඳහා ආරාධනයක් ලැබිල තියෙනවද? මේ තුන්ගොල්ලම මම ආශ‍්‍රය කරනවා. මම නිහඩ ප‍්‍රතිපත්තියක ඉන්නෙ මගේ අධ්‍යාපන කටයුුතුත් එක්ක. එහෙම ප‍්‍රසිද්ධියේ අරාධනයක් කරල නෑ. තීරණාත්මක වෙලාවක ඔබට ආරාධනයක් ලැබුණොත්? දේශපාලනය කරනවද නැද්ද කියන එකට සිනහවෙන් තමා උත්තර දෙන්න වෙන්නෙ.

රෝහණ විජේවීරගේ චරිතය අලලා නිර්මාණය වූ චිත‍්‍රපටය ඔබ නැරඹුවා. චිත‍්‍රපටයෙන් සාධාරණයක් වුණා කියල ඔබ හිතනවද? විජේවීර කියන්නෙ දේශපාලන චරිතයක්. මිනිස්සුන්ට අයිතියක්් තියනවා ඔහු හරි පුද්ගලයෙක්ද වැරදි පුද්ගලයෙක්ද කියල දකින්න. මම දකින විදියට චිත‍්‍රපටය තුළ දේශපාලනය නෙමෙයි වැඩිපුර තියෙන්නෙ. අන්තිම කාලය තුළ හැංගිල ඉද්දි සිදුවූ සහ පවුලේ සම්බන්ධය පෙන්වන්නෙ. නමුත් අවසන් මොහොතේ සිදුවෙන තැන යම් යම් කාරණා වගයක් තියෙනවා. ඒක ඇතුල් වුණානම් හොඳයි. හැබැයි අධ්‍යක්ෂක තුමා හොඳ රිසච් එකක් කරල තියනවා.

මොකද්ද ඒ කාරණාව? ජානක පෙරේරාත් අම්මත් තාත්තත් දන්න සිද්ධියක් තියනවා. ඒක මට එළි කරන්න බෑ. අම්ම දැනට තීරණය කරල තියනවා එ්ක සමාජයට එළි නොකරන්න. ඇය කිසියම් දවසක ඒක එළි කළොත් ප‍්‍රශ්නයක් නෑ. මොකද ඒ තුන්දෙනෙක්ම අද ජීවතුන් අතර නෑ.

හොඳයි… ඉදිරියේදි රට වෙනුවෙන් මොනවත් කරන්න අදහසක් නැද්ද? දැනටත් මම රුසියාවෙ හිටියත් රට වෙනුවෙන් කළ හැකි දේ කරනවා. සෑම සති අන්තයකම මම ඒ රටේ පාසල් දරුවන්ට ලංකාව කියන්නෙ මොනවගේ රටක්ද… අපේ සංස්කෘතිය” බුදු දහම ගැන උගන්වනවා. ලංකාව කියල රටක් තියෙනවද කියලවත් නොදැන හිටපු ඒ ළමයින්ට දැන් සිංහල අකුරු පුලූවන්. කවදහරි රුසියාවෙ තැනකට එන්නෙ ඒ ළමයි. අඩුම ගානේ දැන් මම ලංකාව ගැන ඔවුන්ගෙ ඔලූවට දාල තියන නිසා මේ රටේ සංචාරක කර්මාන්තය කරන පිරිසකට හෝ කවදා හරි ඒක උපකාරී වේවි.

තිස්ස ගුණතිලක

  • 454
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button