පළකල දිනය : Tue, Jan 8th, 2019

ආණ්ඩුවට කරන්න ඔනේ වෑඩක් ජනපති කියයි

මෙම වසරේදී මැතිවරණයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළදී හා ඉන් පිටතදී ආණ්ඩුවට අඛණ්ඩව බලපෑම් කළයුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා (07) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප‍්‍රකාශ කර තිබේ.

එමෙන්ම මෙම වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ ගතයුතු යැයිද ජනාධිපතිවරයා පවසා ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් (07) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

මේ වන විට ස්වාධීන රූපවාහිනී ආයතනයේ සිදුව ඇති ප‍්‍රශ්නය පිළිබඳව තමන් දැඩි අවධානය යොමුකර ඇති බවත් එම ආයතන පරිශ‍්‍රයට කැරළි මර්ධන ඒකකය කැඳවීම සම්බන්ධයෙන් තමන් විශේෂයෙන්ම විමර්ශණයක් පවත්වන බවත් ජනාධිපතිවරයා මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී පැවසූ බව සන්ධානයේ ප‍්‍රකාශකයකු පැවැසීය.

ආණ්ඩුව විසින් රාජ්‍ය ආයතන තුළ දේශපාලනික පළිගැනීම් සිදුකරන බවට මන්ත‍්‍රීවරුන් මෙහිදී ජනාධිතිවරයා දැනුවත් කර ඇත. ඒ සම්බන්ධයෙන් විස්තර තමන්ට ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී මන්ත‍්‍රීවරුන්ට දැනුම් දී ඇති අතර එම පළිගැනීම් නතර කිරීමට තමන් මැදිහත්වන බවද පවසා තිබේ.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරන අපේක්‍ෂකත්වය සම්බන්ධයෙන් කරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකුගේ සිත් රිදීමක් සිදුවීනම් තමන් සමාව ඉල්ලා සිටින බවත් එම ප‍්‍රකාශකයා කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්වරයා ප‍්‍රකාශ නිකුත් කිරීමේදී පරිස්සම් විය යුතු බවත් කඩාකප්පල්කාරීන්ට වාසි සහගතවන ලෙස ප‍්‍රකාශ නිකුත් නොකළ යුතු බවත් විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසා තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා සහභාගී නොවූ බවද එම ප‍්‍රකාශකයා වැඩි දුරටත් පැවැසීය. මේ අතර තමන් විසින් කරන ලද ප්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ සංස්කරණය කළ විකාශය කිරීම මගින් යම් සිත් රිදවීමක් වුණි නම් ඊට තම කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පවසා තිබේ.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී හමුවේදීය. තමන් විසින් ප්‍රශ්න හතරකට දෙන ලද පිළිතුරු එම ප්‍රාදේශීය මාධ්‍යවේදියා විසින් වෙනත් ප්‍රශ්න සමඟ අමුණා සියලුම විද්‍යුත් නාලිකා වලට මුදා හැර ඇති බවත් ඒවා විකාශය කර ඇත්තේ එම මාධ්‍ය නාලිකා වල වරදකින් නොව ඒවා මාධ්‍ය නාලිකා වලට ලබා දුන් එම ප‍්‍රාදේශීය මාධ්‍යවේදියා විසින් හිතාමතා සිදුකරන ලද සාහසික සංස්කරණය මගින් බව ද මහ ලේකම්වරයා කියා ඇත.

මේ සම්බන්ධයෙන් තමන් එම මාධ්‍යවේදියා අමතා දැඩි ලෙස දෝෂාරෝපණයක් කළ බවද පවසා ඇති දයාසිරි ජයසේකර මහලේකම්වරයා තමන් දිගින් දිගටම කටයුතු කළේ ශ‍්‍රීලනිප දෙපාර්ශවය එක් වීමටත් බිඳුණු සිත් සෑදීමටත් මිස පක්‍ෂය වෙන් කිරීමට භේද භින්න කිරීමට නොවන බව සඳහන් කර ඇත.

යකුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැතැයි ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදකාරී අවස්ථාවක එහි මහලේකම් ධූරය භාරගැනීම අර්බුදයක් නොවේ දැයි මාධ්‍යවේදියා විසින් කළ විමසීමකට බවත් පසුව එය මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමකට අමුණා සංස්කරණය කර ඇති බවත් මහ ලේකම්වරයා සඳහන් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙම සිදුවීමක් කුමක්දැයි වේලාසනම විමසූ බවත් තමන් සිදුවීම ජනාධිපතිවරයාට පැහැදිලි කළ බවත් ජයසේකර මහතා එහිදී කියා ඇත. කෙසේ නමුත් මේ සියල්ල සාවධානව අසා සිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ‘දයාසිරි ජයසේකර මහතා දැන් මන්ත්‍රීවරයෙකු පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා නිසා වඩාත් පරිස්සමෙන් සහ සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button