පළකල දිනය : Mon, Jan 14th, 2019

ශ්‍රී ලංකන් එක යානාවකට සේවකයන් 333ක් ගොඩගන්න පුළුවන් වෙයිද?

ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් සේවාව දැනට පවතින්නේ, සෑම වසරකදීම විශාල වශයෙන් පාඩු ලබමිනි. දෙදහස් දහහතේදී එහි පාඩුව රුපියල් බිලියන විසිඅටක් වූ අතර, දෙදහස් දහසය වසරේදී එම පාඩුව රුපියල් බිලියන දහහතක් විය. සාමාන්‍යයෙන් අපේ රටේ සමෘද්ධි සහනාධාර ලබා දීම සඳහා වෙන් කරන්නේද වසරකට රුපියල් බිලියන හතළිහක් වැනි ප්‍රමාණයකි. ඒ අනුව ගත් කල, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ නොලැබුවත් පාඩු නොමැතිව පවත්වාගෙන යන්නේ නම්, එකී පාඩුව දරන මුදල සමෘද්ධි සහනාධාරය තවත් වැඩිකර දීමට වුවද ප්‍රමාණවත් බව පෙනී යයි. සරසවි සිසුන්ට ලබා දෙන මහ‍පොළ ශිෂ්‍යත්ව අරමුදල සඳහා හෝ මෙමගින් දරන පාඩුව තරම් මුදලක් වෙන් කරන්නේ නැත.

පසුගිය වසර දොළහ තුළ, එනම් ඉකුත් දෙදහස් පහළොවේ සිට පසුගිය දෙදහස් දහඅට දක්වා ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවත්වාගෙන ගියේ එලෙස රුපියල් බිලියන ගණනින් පාඩු ලබමිනි. එමිරේට්ස් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාලනය කරන සමයේ, එය යම්තාක් දුරකට ලාභ ලැබිමක් පෙන්නුම් කළද, ශ්‍රී ලංකන් සමාගම රජයට පවරා ගැනීමෙන් අනතුරුව දිගින් දිගටම පාඩු ලැබූයේ, ගුවන් යානාවක් පහළට කඩා වැටෙන වේගයකිනි. එමෙන්ම පසුගිය දිනෙක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසිවෙකුට හෝ විකුණන්නේ නම්, එම සමාගම සතු සම්පූර්ණ ණය ප්‍රමාණය රජය විසින් පවරා ගත යුතු බවයි. ඔහු දක්වා තිබූ පරිදි, මේ වන විට ශ්‍රී ලංකන් සමාගම ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන හාරසියයකි. එනම්, අපේ රටේ ජීවත් වන එක් පුද්ගලයෙක්, ඒ වෙනුවෙන් රුපියල් විසිදහසක පමණ මුදලක් ගෙවිය යුතු වේ. එමගින් පැහැදිලි වෙන්නේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම වී ඇති ණය ප්‍රමාණය සහ එම සමාගම ලබන පාඩුව එතරම්ම ගැඹුරු බවයි. ඒ අනුව බලන කල යම් කිසිවෙකු විසින් පාඩු හෝ ලාභ නොලබා මෙම සමාගම පවත්වාගෙන යන්නේ නම්, වසරකට සෑහෙන මුදල් ප්‍රමාණයක් එමගින් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙන බව පෙනීයයි.

මෙම සමාගම මේ ආකාරයෙන් දිගින් දිගටම පාඩු ලැබිමට මූලික වශයෙන් බලපා ඇත්තේ, මේ රටේ දේශපාලනඥයන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපයයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම පමණක් නොව, රජයට අයත් තවත් බොහෝ ආයතන මෙම දේශපාලනඥයන් විසින් තබා ගෙන ඇත්තේ, තමන්ට හිතවත් පිරිස් එම ආයතනවලට බඳවා ගෙන තමන්ට අවැසි පරිදි දූෂණ වංචා ක්‍රියාවල නිරත වීමේ අරමුණ ඇතිවය.ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළද මේ වන විට එම ආයතනයට දරා ගැනීමට නොහැකි තරම් සේවක පිරිසක් සේවය කරති. එය වෙනත් රටවල් හා සසඳන කල, ඉතා විශාල වැඩිවීමකි. සාමාන්‍යයෙන් ලොව බොහෝ ගුවන් සමාගම්වල එක් ගුවන් යානයක සේවය කරන සේවක සංඛ්‍යාව දෙසීයක් ඉක්මවන්නේ නැති තරම්ය. එමෙන්ම ගුවන් සමාගමකට බඳවා ගත යුතු සේවක සංඛ්‍යාව සම්බන්ධයෙන් යම් යම් අනුපාතයන්ද දක්වා ඇත. උදාහරණ වශයෙන් ගත් කල, ඇමෙරිකානු ගුවන් සමාගම තුළ සිටින සමස්ත කාර්ය මණ්ඩලය අසූහත්දහස් අටසිය අනූ හතක් වන අතර, එම සමාගම සතු ගුවන් යානා සංඛ්‍යාව හයසිය දහඅටකි. ඒ අනුව එහි එක් ගුවන් යානයක කාර්ය මණ්ඩලය වන්නේ එකසිය හතළිස් දෙදෙනෙක් පමණි.

චිකාගෝ මූලස්ථානය කරගත් ඇමෙරිකාවේ යුනිටඩ් ගුවන් සමාගම සතු ගුවන් යානා හත්සිය දහයටම සිටින සමස්ත කාර්ය මණ්ඩලය එක් ලක්ෂ පහළොස් දහස් එකසිය හතළිස් නවයකි. එක් ගුවන් යානයක සිටින්නේ එකසිය හැට දෙනෙකි. ඩෙල්ටා ගුවන් සමාගම සතු ගුවන් යානා හත්සිය විසි දෙකෙහි සේවය කරන සියලු පිරිස එක් ලක්ෂ හයදහස් දෙසිය දහසයක් වන අතර, එක් ගුවන් යානාවක සංඛ්‍යාව එකසිය හතළිස් හත් දෙනෙක් පමණි. ඕස්ට්‍රේලියානු ගුවන් සමාගමේ එක් ගුවන් යානාවක සේවය කරන්නේ එකසිය විසිනව දෙනෙක් පමණි. එහි ගුවන් යානා දෙසීය පනස් දෙකක් වන අතර සමස්ත කාර්ය මණ්ඩලය තිස් දෙදහස් පන්සීයක් පමණි. බ්‍රිතාන්‍ය ගුවන් සමාගම සතුව ගුවන් යානා දෙසිය තිස් අටක් ඇති අතර එක් ගුවන් යානයක සේවය කරන කාර්ය මණ්ඩලය එකසිය පනස් හතර දෙනෙකි. එහි සමස්ත සේවක පිරිස තිස් හය දහස් අටසිය තිස් දෙකකි. දකුණු අප්‍රිකානු ගුවන් සමාගම පමණක්, තමන් සතු ගුවන් යානා පනස් අටට සේවකයන් පනස් පන්දහස් පන්සිය දෙනෙකු බඳවා ගෙන ඇත. ඒ අනුව එහි එක් ගුවන් යානාවක සේවය කරන ගණන නවසිය පනස් හතකි.අපේ රටේද ඉහත කියූ ආකාරයේ විශාල සේවක පිරිසක් එක් ගුවන් යානයක් වෙනුවෙන් කටයුතු කරන්නේ, දේශපාලනඥයන් කාලයෙන් කාලයට තමන්ගේ ඡන්ද පදනම වැඩි කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අත්තනෝමතිකව සේවකයන් බඳවා ගත් හෙයිනි. කුමන ක්‍රමයකට සේවයට බඳවා ගැනුණද, ඒ සියලු සේවකයන්ට හිමි වැටුප්, වෙනත් දීමනා, වරප්‍රසාද මෙන්ම සියලු පහසුකම් සැලසීමටද එම ආයතනයට සිදු වේ. එය ඕනෑම ආයතනයක ආර්ථික තත්ත්වයට ඉතා අහිතකර ලෙස බලපාන බව අමුතුවෙන් කිවයුතු නැත.

සාමාන්‍යයෙන් ලොව බොහෝ රටවල එවැනි ව්‍යාපාරවලට සම්බන්ධ වීමක් නැත. මන්ද යත් ඒ සඳහා පෞද්ගලික අංශය අවශ්‍ය තරම් මැදිහත් වෙන බැවිනි. අපේ රටේ වුවද රටින් එළියට යාමට අවශ්‍ය නම්, ඒ සඳහා අවැසි තරම් ගුවන් යානා පෞද්ගලික ගුවන් සමාගම් සතුව පවතී. අප සතුව ඉඩකඩ තිබූ පමණින් සියලු දෙනා හේන් වගා කිරීමට හෝ කුඹුරු වගා කිරීමට පෙළඹෙන්නේ නැත. ඒවා වගා කරන පුද්ගලයන්ගෙන් අවශ්‍ය දෑ මිලදී ගන්නවා පමණි. මෙම ව්‍යාපාරද ඒ අයුරුමය. එහෙත් අපේ පවතින ඇතැම් ආකල්ප හේතුවෙන් අපි මෙම ව්‍යාපාර කොතෙක් පාඩු ලැබුවද ඒවා වෙනත් කෙනෙකුට පවරන්නට පෙළඹෙන්නේ නැත. බොහෝ අය සිතන්නේ මේ සියල්ල අප සතු ජාතික සම්පත් බැවින් ඒවා වෙනත් කෙනෙකුට පැවරීම අපරාධයක් බවයි. එහෙත් ඕනෑම ආයතනයක් දිගින් දිගටම විශාල වශයෙන් පාඩු ලබමින් පවතින්නේ නම් එය තවදුරටත් ජාතික සම්පතක්ද යන ගැටලුව මෙහිදී මතුවේ.

ඒ අතරේ, මෙම සමාගම්වල පාලකයන් කටයුතු කරන්නේ අදාළ සමාගම යළි ලාභ ලබන තත්ත්වයකට පත් කිරීමට වඩා එමගින් තමන්ගේ සුඛ විහරණය සලසා ගන්නේ කෙසේද යන්න මූලික කරගනිමිනි. ආයතනය කොතෙක් පාඩු ලැබුවද ඔවුන් කල්පනා කරන්නේ, තමන්ගේ වැටුප් වැඩි කර ගැනීමත් වෙනත් දීමනා ලබා ගැනීමත් පිළිබඳවය. එහෙත් මේ සියල්ලෙන් අවසානයේ බැට කන්නේ සාමාන්‍ය ජනතාවයි. මන්ද යත් මෙම සමාගම නඩත්තු කෙරෙන්නේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදලින් වන බැවිනි. එවිට එම ජනතාවට සිදුවෙන්නේ, තම ජීවිත කාලය පුරාම බදු ගෙවමින් මෙවැනි පාඩු ලබන ආයතන නඩත්තු කිරීමටය.

මෙම තත්ත්වයෙන් මිදීමට නම්, දැන් කළ යුතු වෙන්නේ රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව මෙම සමාගම පවත්වාගෙන යාමය. එහෙත් පසුගිය කාලය තුළ එලෙස හවුල් ව්‍යාපාරයක් සඳහා හෝ පෞද්ගලික අංශ මේ සඳහා කැමැත්තක් දැක්වූයේ නැත. ඊට හේතුව වූයේ මුලින් කී පරිදි, ආයතනයකට දරන්නට බැරි තරම් ණය ප්‍රමාණයක ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිරවී සිටීමය. එසේ නොමැති නම් මෙම සමාගම තවදුරටත් පවත්වා ගෙන යාමට කඩිනම් ප්‍රතිව්‍යුහගත කිරීමකට යටත් කළ යුතු වේ.

ගයාත්‍රි ගීගනආරච්චි

  • 863
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button