පළකල දිනය : Thu, Jan 17th, 2019

දේව බලයෙන් ලෙඩ සුව කිරීමේ ඇත්ත මෙන්න බලන්න

”ආනන්ද ඔයා කොහේද අද ඉරිදා නිවාඩු දවසෙ මේ යන්න හදන්නෙ?” ”ඇයි ප‍්‍රියානි මතක නැද්ද මං ඔයාට කිව්වෙ.” ”අනේ මෙයා මට මතක නෑනෙ.” ”මං කිව්වෙ ආ රංගජීවගෙ ළමයගෙ වැඬේට යනව කියල මිනිහ හරි විශ්වාසෙන් ඉන්නෙ.””ඒයි අනේ මාත් එන්නද ඔයාලත් එක්ක.” ”ඒකට කමක් නෑ ඒත් වාහනේ ඉඩ මදිවුණොත් ඔයා රංගෙගෙ ගෙදර ඉන්න එයාගෙ අම්මයි, නංගියි ඉන්නවනෙ.” ආනන්ද හා ප‍්‍රියානි රංගජීවගේ නිවසට යන විට උදේ අටහමාර පමණ විය. ”අර උදෙන්ම ඇවිල්ල, ඔහෙ පලයං මේ ප‍්‍රියානිත් ඇවිත් තියෙන්නෙ” අමුත්තන් දුටු රංගජීව කීවේය. ”හා එමු එමු ගේ ඇතුළට.” අමුත්තන් ගෙය තුළට කැඳවාගෙන ආ රංගජීව ”මේ දෙන්නට උදේට කන්න ලේස්ති කරන්න” යැයි තම බිරිඳ යමුනාට කීවේය. ”කන්න ඕනෙ නැහැ අපි උදෙන්ම යමු නේද?” ආනන්ද කීවත් සියලූම දෙනා ගියේ කෑම මේසය වෙතට ය. රංගජීවත් ආනන්දත් එක්තරා ඇඟළුම් කර්මාන්ත ශාලාවක කළමනාකරුවෝ වෙති. රංගජීවට ඇවිදීමට නොහැකි දරුවෙක් සිටී. අත් පා නියමාකාරයෙන් පිහිටා තිබුණත් ඒවා හරිහැටි ක‍්‍රියාත්මක නොවේ. වෛද්‍යවරු කිහිප දෙනෙක් හමුවීමට ගොස් ප‍්‍රතිකාර ලබාගත්ත ද ඉන් පලක් වී නොමැත. පසුගිය සතියේ රංගජීවගේ නෙත ගැටුනේ අමුතුම තාලයේ පෝස්ටරයක් දෙසය. නාගරික රැස්වීම් ශාලාවේ පැවැත්වෙන විශේෂ දේව යාච්ඤාව මඟින් කොරුන් ඇවිද්දවීම, අන්ධයින්ට පෙනුම ලබාදීම, ගොළුවන් කතා කරවීම හා බිහිරන්ට ඇසීම ලබාදීම යන කරුණු ඉටු කරන බව එහි සඳහන් කොට තිබිණ. කිසිදු අයකිරීමකින් තොරව කෙරෙන මේ සත්කාර්යයට ආගම්, ජාති, කුලමල බේදයකින් තොරව සහභාගි විය හැකි බව ද පැමිණ සත්‍ය වටහා ගන්නා ලෙස ද එහි දක්වා තිබිණ. ආනන්ද නගර ශාලාවේ රථ ගාල් කරන ස්ථානයේ තම මෝටර් රථය නැවැත්වීය. ආබාධිත දරුවා වඩාගත් රංගජීව ඉස්සර විය. ප‍්‍රියානි හා යමුනා ඒ පිටුපසින් ගිය අතර ආනන්ද මෝටර් රථය අගුළු දමා පැමිණියේ ය. නගර ශාලාවට 150 ක් පමණ දෙනා රැස්ව සිටියහ. වේදිකාව ඉදිරිපස අසුන් පෙළෙහි ආබාධිතයන් හා ඔවුන්ගේ දෙමාපියන් භාරකාරයන් සිටි අතර නැරඹීමට පැමිණි අනෙකුත් අය පසුපස අසුන්වල සිටියහ. ප‍්‍රියානිට වාඩිවෙන ලෙස කී ආනන්ද යාබද අසුනෙහි ප‍්‍රියානිගෙ බෑගය තබා තමාට අසුන වෙන්කොට තබා ගන්නා ලෙස කීවේය.

ආනන්ද ශාලාවෙන් එළියට බැස්සේ මෙහි සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීම පිණිසය. වයස අවු 18 ක් පමණ වන ඉතා කෙසඟ තරුණයෙක් ඔසවාගෙන එන අයෙක් ආනන්දගේ නෙත ගැටිණ. කිළිටි වී ගිය කමිසයත්, සරමත් ඔහුගේ දුප්පත්කම කියා පෑවේ ය. පාවහන් පැළඳ නොසිටි ඔහු දරුවා ශාලාවේ ඉදිරි පෙළ පුටුවක වාඩිකොට එළියට බැස්සේ ය. ඔහු ඉතා වටිනා අත් ඔරලෝසුවක් පැළඳ සිටි අතර ගෙල වටා රුපියල් ලක්‍ෂයක් පමණ වටිනා රන් දම්වැලක් ද තිබෙනු යන්තමට ආනන්ද දැක්කේය. ”දරුවට මොනව වෙලාද” ආනන්ද ඔහුගෙන් ඇසීය. කටේ තිබුණ බුලත් කෙළ එළියට දැමූ ඔහු ”දරුව උපන් දා ඉඳන් ඇවිදින්න බෑ නොවැ මහත්තයෝ, ඒ මදිවට කතා කොරන්නත් බෑ. නොබලපු දොස්තර කෙනෙක් නෑ මහත්තයෝ” යැයි ඉතා අහිංසක සිනාවක් පාමින් කීවේය. ”ඔයාගෙ රස්සාව මොකක්ද” ආනන්ද ඇසීය. ”අපි ඉතිං කුඹුරු වැඩ කුලී වැඩ එහෙම තමා කරන්නෙ” ඔහු පිළිතුරු දුන්නේ ය. ඔහුගේ දෑත් දෙපා දෙස හොරෙන් බැලූ ආනන්ද මොහු කුලී වැඩ හෝ කුඹුරු වැඩ කරන කෙනෙක් නොවන බව ප‍්‍රත්‍යක්‍ෂ කර ගත්තේ ය. ආනන්ද ගොස් එම දරුවා වාඩි වී සිටි අසුනට යාබද අසුනේ වාඩි වී දරුවාගෙන් නම ඇසීය. එහෙත් ඔහු කථන ආබාධයක් ඇත්තකු හෙයින් නම කියාගන්නට නොහැකි විය. ඔහුගේ සාක්කුවේ තිබූ හැඳුනුම්පත ඉල්ලාගත් ආනන්ද එහි දෙපැත්තේම ඡායාරූප තමාගේ කැමරාව සහිත දුරකථනයෙන් ලබා ගත්තේය. අනතුරුව දරුවාගේ ද ඡායාරූපයක් ගත් ඔහු ප‍්‍රියානි අසලට විත් අසුන් ගත්තේ ය.

දේවගැතිතුමා තම දේශනය අරඹමින් දෙවියන් වහන්සේ ඉර, හඳ, තාරුකා, මහපොළොව, ගස්, ගල්, සතුන් හා මිනිසා මැවූ සැටිත් නොමඟ ගිය මිනිසා යහමඟට ගැනීමට ස්වකීය පුත‍්‍රයාණන් මෙලොවට එවූ සැටිත් ගැන සරලව විස්තර කළේය. වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමෝ ”මා පුංචි උදාහරණයක් කියන්නම්. එක් දිනෙක ජර්මන් ජාතික අඹුසැමි යුවළක් තම පොක්ස්වැගන් වර්ගයේ මෝටර් රථයේ නැඟී ගමනක් යන්නට පිටත් වුණා. අතර මඟදී මෙම රථය ක‍්‍රියා විරහිතව මහමඟ නතර වුණා. එවිට සැමියා ටික දුරක් ඇවිද ගොස් වාහන ගරාජයක කාර්මිකයකු කැඳවාගෙන ආවා. ඔහු සෑහෙන පමණ වේලාවක් දෝෂය නිවැරදි කරන්නට උත්සාහ කළත් එය කිරීමට නොහැකි වුණා. ඉන් පසු රථයේ හිමිකරු වෙනත් ගරාජයකට ගොස් වෙනත් කාර්මිකයකු කැඳවාගෙන ආවා. පෙර පරිදිම ඔහුට ද එම දෝෂය නිවැරදි කිරීමට පුළුවන් වූයේ නැහැ. ඒ අවස්ථාවේ ඒ අසලින් තවත් මෝටර් රථයකින් වැදගත් පෙනුමැති මහත්තයෙක් පැමිණියා. ඔහු තම මෝටර් රිය නවතා මෙම ආබාධිත මෝටර් රථය අසලට විත් සිදුවී ඇත්තේ කුමක්දැයි විමසුවා. එවිට වාහනයේ අයිතිකරු මෙය හදා ගැනීමට ඔහුගෙන් උදව් ඉල්ලූවා. එවිට ඒ මහත්මයා වාහනය පරීක්‍ෂා කොට ඉතා සුළු වේලාවකින් එම දෝෂය නිවැරදිකර දුන්නා. ඉන්පසු වාහනයේ හිමිකරු ඇසුවා ඔබ කවුද කියා. ”මා මෙම වාහන වර්ගයේ නිර්මාතෘවරයා” යනුවෙන් ඒ මහතා කියා සිටියා. එබැවින් මෙම වාහන වර්ගයේ දෝෂ හා ඒවා නිවැරදි කරන ආකාරය තමා මැනවින් දන්නා බව හෙතෙම ප‍්‍රකාශ කළා. එතකොට මනුෂ්‍යයා කියන්නේ දෙවියන් වහන්සේගේ නිර්මාණයක්. එතකොට මේ මනුෂ්‍ය ශරීරයේ ඇති වැරදි දෝෂ හදල දෙන්න පුළුවන් හොඳම කෙනා කවුද? දේවගැතිතුමා සභාවෙන් විමසීය. ”දෙවියන් වහන්සේ” සභාවේ බොහෝ දෙනෙක් කිවූ අතර පොක්ස්වැගන් එක හදපු කෙනා යැයි එක් තලතුනා අයෙක් කීවේය. එයට සභාවේ සිටි කණ්ඩායමක් සිනහසුන අතර තවත් කණ්ඩායමක් රවා බැලූහ. ඒ මහත්මයා අවබෝධයකින් තොරව තමාගේ දේශනයට සවන් දී ඇතැයි දේවගැතිතුමා කීවේය. වාහනය හදා දීමට ඉදිරිපත් වූ මහත්මයා කෙරෙහි වාහන හිමිකරු පූර්ණ විශ්වාසය තැබුවා සේ දෙවියන් වහන්සේ මඟින් තමන්ගේ ගැටලූ විසඳා ගැනීමට දෙවියන් වහන්සේ කෙරේ පූර්ණ විශ්වාසයක් ඇතිකර ගත යුතු බව දේවගැතිතුමා කීවේය. කලින් උදාහරණයේ කාර්මිකයන් ගෙන්වා රථයේ දෝෂය අලූත්වැඩියා කිරීමට යෑම මේ ආබාධිතයන් වෛද්‍යවරුන් වෙත රැගෙන යෑම හා සමාන කළ හැකි බව ද හෙතෙම කීවේය. ”හොඳයි සියලූ දෙනාටම දෙවියන් වහන්සේගේ පිහිටයි දැන් අපි යාච්ඤා කරමු” යැයි දේවගැතිතුමා කියත්ම බොහෝ දෙනා සාධුකාර දුන්හ. මින් පැමිණ සිටින වැඩි පිරිසක් බෞද්ධයෝ බව ආනන්දට තේරුම් ගියේය. ප‍්‍රියානිද දෑත ඔසවා සාධුකාර දෙන්නට සැරසෙද්දී දෑත් පහළට නැම්ම වූ ආනන්ද ප‍්‍රියානි දෙස රවා බැලීය. පැය භාගයක පමණ යාච්ඤාවකින් පසු ඉදිරි අසුනේ කෙළවරේ සිටි ආබාධිත තරුණයකු වෙත ගිය දේවගැතිතුමා මේ දරුවා මේ වගේ යාච්ඤාවට මීට කලින් සහභාගි වෙලා තියෙනවද? යනුවෙන් ඔහුගේ පියාගෙන් විමසීය. ”නෑ දේවගැතිතුමා” යනුවෙන් පිළිතුරු දුන් අතර දරුවාට ඇති ආබාධ මොනවා දැයි විමසා සිටියේය. ළමයාට කිසිසේත් ඇවිදීමට නොහැකි බවත් උපතේ සිටම ඔහු ආබාධිතයෙක් බවත් ඔහු ප‍්‍රකාශ කළේය. ඉන් පසු දරුවාගේ නළල ස්පර්ශ කරමින් විනාඩි 10 ක පමණ යාතිකාවක් කළ දේවගැතිතුමා ඇඟට වෙනසක් තේරෙනවා දැයි දරුවාගෙන් ඇසීය. ඇඟට යම් සුවයක් දැනෙන්නේ යැයි ඔහු කීවේය. පියාගේ මුහුණේ සතුට ඉතිරින. මින් පසු ළඟම ඇති පල්ලියට සෑම ඉරිදා දිනකම ගොස් යාතිකාවලට සම්බන්ධවන ලෙස ද තවත් මාස හතරකින් පමණ දේවගැතිතුමා මෙවන් විවෘත යාච්ඤාවක් කරන බවද එදිනට පැමිණෙන ලෙස ද කීවේය. මෙලෙස ආබාධිතයන් හතර දෙනකුට යාච්ඤා කිරීමෙන් අනතුරුව ආනන්ද කලින් හමු වූ තරුණයාගේ අවස්ථාව විය. ඔහුගේ පියාගෙන් විස්තර විමසූ දේවගැතිතුමාට කියා සිටියේ කලින් මෙවැනි යාච්ඤා මෙහෙයකට පැමිණි බවත් ඉන්පසු පල්ලියේ යාච්ඤා මෙහෙයන්ට ගිය බවත් ය. ”ඉතිං කොහොමද? දැන් ළමයට ගුණයක් තියෙනවද?” දේවගැතිතුමා විමසීය. ”එහෙමයි දේවගැතිතුමා ලොකු ගුණයක් තියෙනවා” ළමයාගේ පියා කීවේය. හොඳයි එහෙනං අපි මෙයාට සම්පූර්ණ සුවය පතල යාච්ඤා කරමු. විනාඩි 10 ක පමණ යාච්ඤාවෙන් පසුව මේ දරුවා ඇවිද්දවන්න බලන්න යැයි පියාට කීවේය. පුදුමයකි! දරුවා අපහසුවෙන් ඇවිදින්නට පටන් ගත්තේය. මෙයා ස්ටේජ් එකට නග්ගමුකො පියතුමා කීවේය. වේදිකාවේ පියගැට පෙළ දරුවා තනිවම හෙමිහිට නැංගේය.

ඔහුගේ ආරක්‍ෂාවට දේවගැතිතුමා හා දරුවාගේ පියා දෙපසින් සිටියෝ ය. වේදිකාව මත කිහිප වරක් එහා මෙහා ගිය දරුවා දෙස සියලූම අය විශ්මයෙන් බලා උන්හ.දරුවාගේ පියාට මයික්‍රොෆෝනයක් දුන් දේවගැතිතුමා ”මේ මහත්මයාගේ නම මොකක්ද?” ”මම විජේපාල” යනුවෙන් කෙටි පිළිතුරක් දුන්නේය. ”මේ දරුව මේ විදියට ඇවිදින්න බැරුව කොච්චර කල්ද?” ”දැනට අවුරුදු දහ අටක්, උපන් දා ඉඳන් ඇවිදින්න බෑ දේවගැතිතුමා” පියා කීවේය. ”හරි දැන් දරුවට මයික් එක දීල අහන්න ඒ දරුවාගෙන් දැන් මොනවද දැනෙන්නෙ කියල දේවගැතිතුමා කීවේය. ”එයාට කතා කරන්න බෑ දේවගැතිතුමා එයා උපතින්ම ගොළුවෙක්” ළමයාගේ පියා කනගාටුවෙන් කීවේය. ”බලමු දේව කරුණාවෙන් ඒකත් සනීප වෙලා තියෙන්න පුළුවනි, පුතාට දෙන්නකො මයික් එක” ”පුතාගෙ නම මොකක්ද?” දේවගැතිතුමා ඉතා කරුණාවෙන් විමසීය. එයට ඔහු හිස වැනුවා පමණකි පිළිතුරු දුන්නේ නැත. මෙසේ කිහිප විටක් එම ප‍්‍රශ්නයම ඇසූ දේවගැතිතුමා ”පුතාට කතා කරන්න පුළුවන් පුතා කතා කරන්නකො” යැයි කීවේය. එවිට දරුවා ගොත ගසමින් තමාගේ නම රොෂාන් බව කීවේය. පියාගේ මුහුණේ සතුට උතුරා ගියේය. ඔහුගේ දෑසින් කඳුළු බිඳු කඩා වැටිණ. දැන් ඉතිං පුතත් එක්ක කතා කරන්න යැයි නැවත මයික් එක පියාට දුන්න ද ඉතා හැඟීම්බරව සිටි ඔහුට කතා කරගත නොහැකි විය. තවත් මෙවන් සුව වූ දරුවන් දෙදෙනෙක් එහි සිටි අතර රංගජීවගේ දරුවාට යාච්ඤා කළත් ඒ අවස්ථාවේ සුවයක් නොලැබිණ. එහෙත් දිගටම පල්ලියේ ඉරිදා යාච්ඤාවන්ට සහභාගි වන්නට රංගජීව තීරණය කළේය. යාච්ඤා මෙහෙය අවසානයේ සියලූ දෙනාම මෝටර් රථයේ නැඟී ආපසු එන්නට පිටත් වූහ. ”රංගේ එන බදාදා පෝය දවසනේ. මාත් එක්ක ගමනක් යන්න එන්න ඕනේ” ආනන්ද කීවේය. ”ඒ කොහේද මචං” රංගජීව ඇසීය. ”එතනට යන තුරු අහන්න තහනම්” ආනන්ද කීය.”හරි හරි උඹත් එක්ක අපායට යන්න වුණත් මං එන්නං” රංගජීව තම විශ්වාසය පළ කළේය. ගෙදරට යන තුරුම හැමෝම කතා කළේ දේවගැතිතුමා කරන සේවාව ගැනත් හා එම ආගමේ ඇති විශ්මිත ස්වභාවය ගැනත් ය. ආනන්ද මේ ගැන කිසිවක් කීවේ නැත.

”මොකද ආනන්ද කතා නැත්තෙ” රංගජීව ඇසීය. ”මෙයා යථාර්ථවාදියනෙ ඇස් පනාපිට පෙනුණත් පිළිගන්නේ නැහැ.” පිළිතුරු දුන්නේ ප‍්‍රියානි ය. එම සතියේ බදාදා දින පොහොය දිනයකි. රංගජීව ආනන්දගේ ගෙදරට ආවේ කතා කරගත් ගමන යන්නට ය. ප‍්‍රියානි ද ගමනට එකතු වන්නට ඇසුව මුත් ”මේ ගමනට ඔයා ආවෙ නැත්තං හොඳයි” යැයි ආනන්ද කීවේය. කි. මී. 40 ක් පමණ දුර පිහිටි තල්පත් යාය ගමේ හන්දිය වෙත යෑමට ඔවුන්ට ගූගල් සිතියම උපකාරී විය. තල්පත්යාය හන්දියේ ඇති තේ සහ සිල්ලර කඩය වෙත ගිය ආනන්ද ”මුදලාලි මේ හරියෙ මෙන්න මේ අංකෙ තියන ගෙදර කොහෙද තියෙන්නෙ” ”අංකයක් කිව්වට අපට නිච්චියක් නෑ මහත්තයෝ ඔය ගෙදර නම හරි ගෙදර කෙනෙක්ගෙ නම හරි කියන්න ඇහැකිද මහත්තයෝ?” මුදලාලි ඇසීය. ”ගෙදරට කියන්නෙ පහළවත්ත ඒ ගෙදර ඉන්නෙ විජේපාල කියල කෙනෙක්” ආනන්ද කීවේය. ”ආ විජේ අයියලගෙ ගෙදර, හොයාගන්න හරි ලේසියි මහත්තයො. තව පොඞ්ඩක් දුර ගියාම පන්සල හම්බුවෙනව පන්සල පහුවුණු ගමන්ම ඒ පැත්තට තියෙන අඩි පාර කෙළින්ම විජේ අයියලගෙ ගෙදරට” මුදලාලි කීවේය. ”ඒ ගෙදර ඉන්නව නේද රොෂාන් කියල ළමයෙක් අර මෑතක් වෙන තුරුම ඇවිදින්න බැරුව හිටියෙ” ආනන්ද කීය. රොෂාන් කියල අවුරුදු දහ අටක විතර ළමයෙක් ඉන්නව. හැබැයි ඒ ළමයට ඇවිදින්න බැරි කමක් තිබුණෙ නැහැ. අනික මේ පැත්තෙ නං එහෙම ඇවිදින්න බැරි කෙනෙක් නැහැ. මහත්තයල වෙන තැනක් ගැන වෙන්නැති ඔය හොයන්නෙ. මුදලාලි කියත්ම තම දුරකථනයෙන් එදා ගත් ඡායාරූපය පෙන්වා මුදලාලි මම කියන්නෙ මෙන්න මේ දරුව ගැන යැයි කීවේය. ”හරි හරි මහත්තය ඔය දරුව තමයි ඒ ළමය හැමදාම හොඳට ඇවිද්දනෙ” මුදලාලි කීවේය. ”එහෙනං මට වැරදීමක් වෙන්න ඇති කෝකටත් මං ඒ ගෙදරට ගිහිං එන්නංකො” කිවූ ආනන්ද ඒ කඩයෙන් විස්කෝතු පෙට්ටියක් හා කෙසෙල් ඇවරියක් ගත්තේ ය.

රොෂාන්ගේ ගෙදරට ආනන්ද හා රංගජීව යන විට මිදුලේ බංකුවක් මත ඔහු පාඩම් කරමින් සිටියේය. ”ආ… මේ එදා අර යාච්ඥාව සූදානම් කරපු අංකල් නේද? අංකල් මේව මුකුත් අපේ ගෙදර අයට කියන්න එපා” රොෂාන් කීවේය. හරි පුතා බය වෙන්න එපා මං මේ ආවෙ ආයෙත් එන්න පුළුවන්ද කියල අහන්න වෙන තැනක තියෙන එහෙකට” ආනන්ද යාච්ඤාව සූදානම් කළ කෙනකු සේ පෙනී සිටිමින් ඇසුවේය. ”කොහොමද අංකල් මගේ රඟපෑම රොෂාන් ඇසීය.” ඒක නම් නියමයි ඒකනෙ මං ආයෙත් ඔයා හොයාගෙන ආවේ. ආනන්ද කීවේය. ”අනේ බෑ අංකල් එදා කවුරු හරි ගමේ කෙනෙක් හිටිය නං මං ඉවරයි. අනෙක මට රුපියල් 20,000/- ක් දෙන්නං කියල දුන්නෙ 2000/- එදා ආපු මගේ යාළුවොත් කිව්ව ආයෙනං එන්නෙ නෑ කියල” රොෂාන් කීවේය. එවිට හේනට කුඹුරට සිරුර දිරාගිය කෙසඟ පුද්ගලයෙක් ඉක්මනින් එතැනට ආවේය. ”මේ මගේ අප්පච්චි” රොෂාන් කීවේය. අපි මේ දරුවගෙ ඉස්කෝලෙට අලූතින් ආ ගුරුවරු ළමය නිවාඩු කාලෙ වැඩ කරන හැටි බලන්න ආවෙ” එවර ආනන්ද රඟපෑවේය. ”එන්න මහත්තය ගෙට මේ එළියෙම ඉන්නෙ මට මේ මුදලාලි පණිවුඬේ එවපු ගමන් දුවල ආවෙ. මහත්තයලට තැඹිලි ගෙඩියක් කඩන්නං.” ළමයාගේ පියා කීවේය. ”අනේ එපා අපිට තවත් තැන් කීපෙකට යන්න තියෙනව” දෙමිතුරෝ එතැනට සමු දුන්හ. ආනන්දට හා රංගජීවට එදා දේවගැතිවරයා කළ වංචාව හොඳින් අවබෝධ විය. දරුවා සනීප කරගැනීමේ තවත් බලාපොරොත්තුවක් බිඳ වැටුණු රංගජීවගේ සිතට මහත් තෝන්තුවක් දැණින.

චිත‍්‍රාන් මොරාකන්ද ගමගේ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button