පළකල දිනය : Mon, Feb 4th, 2019

පාඩුව මිලියන 20,000 විදුලිබල අලුත්ම සෙල්ලම මෙන්න

2009 අංක 20 දරණ විදුලිබල පණත සහ 2016 අංක 02 දරණ ප‍්‍රසම්පාදන පනත උල්ලංඝණය කරමින් ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසරයකින් තොරව හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදුකිරීම සඳහා කටයුතු කිරීම නීත්‍යානුකූල නොවන බවට එම කොමිසම විසින් කැබිනට් අනුමත ප‍්‍රසම්පාදන කමිටුව වෙත දැනුම්දී තිබේ.

විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්‍ය සුරේන් බටගොඩ මහතා විසින් මෙම හදිසි විදුලිය මිලදී ගැනීම සදහා ක‍්‍රියාකරමින් සිටින බව වාර්තා වනවා. 2019 ජනවාරි 21 වනදා පුවත්පත් දැන්වීමක් පළකරමින් මෙගාවොට් 100ක හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදුකිරීම සදහා විදුලි බල මණ්ඩලය විසින් ටෙන්ඩර් කැදවා තිබේ. පවත්නා කාළගුණ තත්වය සහ තාප බලාගාර වල ක‍්‍රියාකාරීත්වය අනුව මේ මොහොතේදී කිසිදු ආකාරයක හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා (30) ඇතුල්කෝට්ටේ පිහිටි විදුලිබල මණ්ඩලයට අයත් පද්දති පාලන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ප‍්‍රකාශ කලා.

අමාත්‍යවරයා විසින් හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදුකිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවට තැනින් තැන කියමින් ඔහුගේ අත්සනින්ම ඔහු විසින්ම විදුලිය හදිසි මිලදී ගැනීමක් සදහා කැබිනට් පත‍්‍රිකාවක් යොමුකලේ ඇයි? මෙගාවොට් 100ක හදිසි විදුලිය මිලදී ගැනීම සඳහා පසුගිය 22 වනදා විශයභාර අමාත්‍ය රවී කරුණානායක විසින් කැබිනට් මණ්ඩයට සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර එහිදී දින 10ක් ඇතුලත මෙම හදිසි විදුලිය මිළදී ගැනීම සදහා ටෙන්ඩරය පිරිනැමිය යුතු බවට. දක්වා ඇත. නමුත් කැබිනට් මණ්ඩලය තුලදී මෙම හදිසි මිළදී ගැනීමට එරෙහිව ඇතිවූ වාද විවාද හේතුවෙන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත එය දින 21ක් දක්වා කල් ගිය බවට මාධ්‍ය කිහිපයක් වාර්තා කරන ලදි.

මෙගාවොට් 100ක විදුලිබලයක් පෞද්ගලික අංශයෙන් හදිසි මිලදී ගැනීම සදහා යොමු වුවහොත් විදුලිය බල මණ්ඩලයට වසරක් තුලදී දැරීමට සිදුවන අතිරේඛ වැයබර රුපියල් බිලියන 20ක් වේ. අමාත්‍ය රවී කරුණානායක ප‍්‍රකාශ කරන අන්දමට මේ වසරේදී විදුලිය බල මණ්ඩලය රුපියල් බිලියන 80ක අලාභයක් ලබනු ඇතැයි ගණනය කර ඇති අතර උක්ත හදිසි විදුලිය මිලදී ගැනීම සදහා යොමු වුවහොත් එම පාඩුව රුපියල් බිලියන 100ක් දක්වා වැඩිවනු ඇතැයි බලශක්ති විශේෂඥයෝ පෙන්වා දෙති. පසුගිය සමයේදී විදුලිබල අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ විසින් මේ වනවිට ඉදිකිරීම් අවසන් විය යුතුව තිබූ නව බලාගාර ඉදිකිරීම් රැුසක් සිය පරිපාලන බලතල යොදා ගනිමින් උපක‍්‍රමිකව ප‍්‍රමාද කල අතර දැන් එළඹ ඇත්තේ එම ප‍්‍රමාදයන්හී ප‍්‍රතිපල උදාවීමේ සමයයි. ක‍්‍රමක‍්‍රමයෙන් ඉහළ යන විදුලි ඉල්ලූම සපුරාලීම සදහා ඉතා ඉහළ ඒකක මිළක් ගෙවමින් හදිසි විදුලිය මිලදී ගැනීම් සිදුකිරීම හෝ විදුලිය කපා හැරීම විනා රටට වෙනත් විකල්පයක් නොමැත.

තත්වය එසේ වන නමුත් මේ මොහොතේ රටේ හදිසි විදුලිය මිලදී ගැනීමක් සදහා යොමුවිය යුතු මට්ටමේ ඉල්ලූමක් නොමැති අතර ඉල්ලූම සහ සැපයුම කළමනාකරණය කල හැකි මට්ටමක පවතී. එසේ කළමනාකරණය කල හැකිව තිබියදී මෙම හදිසි විදුලිය මිලදී ගැනීම සදහා ටෙන්ඩර් කැදවීම සිදුකරනු ලබන්නේ ඇයි? රුපියල් බිලියන ගණනක වටිනාකමකින් යුතු මෙම ගණුදෙනුව පසුපස විශාල කොමිස් මුදලක්ද තිබීම මෙම ගැටලූවට ප‍්‍රධාන හේතුව වී ඇතැයි තතුදත් ආරංචිමාර්ග වාර්තා කර තිබේ. කොමිස් ගැන කියවෙන විගසම අමාත්‍ය රවී කරුණානායකගේ නමද කියවෙන බැවින් රවී – බටගොඩ දෙපළගේ සංධානය ඉදිරියේදී හොද හොද සෙල්ලම් පෙන්වනු ඇතැයි විදුලිබල සේවකයෝ ප‍්‍රකාශ කරති.

කෙරවලපිටියේ ටෙන්ඩරයෙන් තවත් බිලියන 75 ක පාඩුවක්….

මේ අතර පසුගිය සමයේ දැඩි ලෙස කතාබහට ලක්වූ කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාරය ඉදිකිරීම සම්බන්ධ ටෙන්ඩරය ඊට අදාළ අවම ඒකක මිල ඉදිරිපත් කල සමාගම ඉවත් කර චීන සමාගමකට ලබාදීම සදහා වන ටෙන්ඩර් පත‍්‍රිකාවක්ද අමාත්‍යංශ ලේකම්වරයා විසින් අමාත්‍යවරයා හරහා එළඹෙන සතියේදී කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට සූදානම් වන බව වාර්තා වනවා. එම ගණුදෙනුව සිදුවුවහොත් බලාගාරය ක‍්‍රියාත්මකව පවතින කාල සීමාව තුලදී රුපියල් බිලියන 50ක පමණ අලාභයක් සිදුවන බවද ඇමරිකානු ඩොලරය තවදුරටත් ඉහළ යාම මත එම අලාභය බිලියන 75 පමණ දක්වා ඉහළ යා හැකි බව බලශක්ති විශේෂඥයින්ගේ මතයයි.

2015 වසරේ සිට මේ දක්වා විදුලිබල අමාත්‍යංශය අමාත්‍යවරුන් 4 දෙනෙකු යටතේ පාලනය වූ අතර අමාත්‍යංශ ලේකම්වරයා කිසිදු ලෙසකින්වත් වෙනස් වූයේ නැත. එහි අවසාන ප‍්‍රතිපලය වූයේ බටගොඩගේ පාලනය යටතේ විදුලිබල මණ්ඩලය බිලියන 80 – 100 පමණ පාඩු ලබන අරාජිකත්වයකට යොමු වීමයි. 2015 සිට මේ දක්වා ජාතික ජනන සැලසුමේ අඩංගු කිසිදු බලාගාරයක් ඉදිකිරීම සදහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමටවත් බටගොඩ ලේකම්වරයා ක‍්‍රියා නොකල අතර එහි ප‍්‍රතිපලයක් ලෙස ශ‍්‍රී ලංකාව දරුණු බලශක්ති අර්බුදයක් කරා ගමන් කරමින් සිටියි. රටේ ජාතික ධනය සිය සාක්කුවට කාන්දු කරගන්නා මෙවන් රාජ්‍ය සේවකයින් සමඟ ක‍්‍රියාකිරීම හරහා බැදුම්කර වංචාවට සම්බන්ධ වූ නිසා එක් වරක් අමාත්‍යධූරය අහිමි වූ රවී කරුණානායක අමාත්‍යවරයාට නුදුරේදීම සිය අමාත්‍යධූරය යලිත් අහිමි වනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ මතය වී තිබේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button