පළකල දිනය : Mon, Feb 25th, 2019

ආනන්ද මෛත‍්‍රිය මහනාහිමිගේ දියවැඩියාවට නොවරදින බෙහෙත

2017-08-13 වන දින මම සුපුරුදු පරිදි අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රය මහ නා හිමියන් විසින් වසර ගණනාවකට පෙර මා වෙත දෙන ලද උපදෙස් පරිදි නිදි යහනේදී මෛත‍්‍රී භාවනා මෙනෙහි කොට නිදි යහනට වැදුනෙමි. (මෙම පුරුද්ද පසුගිය වසර ගණනාව පුරාම සිදු කරන ලද හෙයින් නිදි යහනට වැදුණු වහාම නිරායාසයෙන්ම මට මෛත‍්‍රී භාවනාව සිහිපත් වෙයි.) මහ නා හිමියන් විසින් කරණීය මෙත්ත සූත‍්‍රය ඇසුරෙන් දෙසන ලද කරුණු සත්‍ය බව මට නම් ප‍්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වී තිබේ.සුවසේ නින්ද යෑම, සුවසේ අවදිවීම, දෙවියන්ට ප‍්‍රියවීම, මුහුණ ප‍්‍රසන්න වීම ආදී කරුණු මට මැනවින් ප‍්‍රත්‍යක්ෂ වී ඇත. නිදි යහනේදී මම සිහිනයක් දුටුවෙමි. සිහිනයෙන් මා දුටුවේ බලංගොඩ මහ නා හිමියන් අප නිවසේ ඉදිරි සාලයේ වැඩ සිටිනු අයුරුයි. උන්වහන්සේ අතින් සංඥා කොට තමන් වහන්සේ වෙත පැමිණෙන ලෙස මට කළ සංඥාවට අනුව මම ගෞරව පූර්වකව උන්වහන්සේ වෙත ළගා වීමි. උන්වහන්සේ මගේ දකුණු අත ගෙන පරීක්ෂා කරමින්ම මගේ වම් අත ද පරීක්ෂා කරමින් සිටින අතර මා බිරිද නන්දා ඒ අසලට පැමිණියාය.

ඒ සමගම නා හිමියෝ අතුරුදන් වූ සේක. තවත් මොහොතකින් නා හිමියෝ ප‍්‍රාදූර්භූත වී මගේ අත් දෙකම පෙර පරිදි පරීක්ෂා කිරීමට පටන් ගත්විට නන්දා නැවතත් මා අසලට පැමිණියාය. පෙර පරිදිම නාහිමියෝ අතුරුදන් වූ සේක. පසු ව මම නා හිමියන් සොයා මාර්ගයට ගිය සද නා හිමියෝ දුඹුරුවන් සිවුරු පොරවා ගත් මහ සග පෙරටු කොට උන් වහන්සේ වඩින අයුරු මම දුටුවෙමි. ක්ෂණයකින් මගේ සිහින ලොවෙන් උන් වහන්සේ අතුරුදන් වූ සේක. මෙම සිහිනය පිළිබද විස්තරය මා අවදි වූ සැනින් මා පුත් සපුමල් බණ්ඩාරට කීවෙමි. ඔහු කීවේ මා මේ දිනවල ආනන්ද මෛත‍්‍රය නා හිමියන් ගැන ලිපි ලිවීම හා උන්වහන්සේ සම්බන්ධව සිත යොමු කරන නිසා මෙසේ සිහිනයෙන් දකින්නට ඇති බවයි. එක් අතකින් ඔහුගේ කතාව නිවැරැදි වන්නට පුළුවන. එහෙත් ඔහු නොදත් තවත් කරුණු කීපයක් ඇත. එනම් නා හිමියන් කිසි දිනෙක මා සිහිනයෙන් දැක නොමැති බවයි. උන් වහන්සේ පළමු වරට මා දුටුවේ උන් වහන්සේ අනූ වන වියේ පසුවන සමයේදීය.

එහෙත් සිහිනයෙන් මා දුටු නායක හිමියන් පසු වූයේ වයස 60 හෝ 70 ඇති රූපකායෙනි. දුටු පමණින්ම මේ නා හිමියන් බව මට පසක් විය. එසේ වූයේ කෙසේ ද? නා හිමියන් කිසියම් පණිවුඩයක් දීමට උත්සාහ ගත්තේද? එය මට ගැටලූවකි.එහෙත් පෙර දිනයකදී මට කිසියම් උපදෙසක් දෙමින් උන්වහන්සේ කියා සිටියේ උන්වහන්සේ දෙන ලද කිසියම් කරුණක් පිළිබඳව උන් වහන්සේ ගෙන් මතු දිනයකදී සංඥාවක් ලැබෙන බවයි.උන් වහන්සේ මෙසේ පැමිණියේ එම සංඥාව දීම සදහාද?මෙම සිහිනය තහවුරු කිරීමට මට සාධක නැත. ඇත්තේ මගේ වචනය පමණකි.මේ අවස්ථාවේ පෙර භවය පිළිබඳව නා හිමියන් සමග මා කරුණු විමසමින් සිටින අවස්ථාවකදී පෙර භවය පිළිබඳව විවිධ ක‍්‍රම මගින් පෙර භවය තහවුරු කළ හැකි බවද පැවසූ උන්වහන්සේ බටහිර රටවල ඇතැම් උගතුන් පෙර භවය තහවුරු කරන ලෙසයි.

එවන් අවස්ථාවලදී උන් වහන්සේ ප‍්‍රකාශ කළේ ඇතැම් අය කොතෙක් සරලව මෙම කරුණ පැහැදිලි කළත් ඔවුන් එය පිළි නොගන්නා බවයි.”එහෙම අවස්ථාවකදී ඒ ඇත්තන්ගෙන් ම මම ප‍්‍රශ්න අහනවා.දවසක් මම එක්තරා විශ්වවිද්‍යාලයක දේශනයකට ගියා. එම ශාලාවේ හිටපු එක්තරා උගත් මහත්මයෙක් හැම කරුණක්ම මට ඔප්පු කරන ලෙස කියනවා.මම කීවා විශ්වයේ සමහර කරුණු තියෙනවා ඒ දේවල් සත්‍ය නමුත් භෞතික වශයෙන් ඔප්පු කරන්න බැරි බව. ඒ මහත්තයා මා කියන දේ පිළිගන්නේම නෑ.ඒ මහත්තයට මං කීවා මහත්මයා ඔබතුමා කරුණාකරල මොකක් හරි ගැන හිතන්න කියලා. ඒ මහත්තයට හිතන්න කියලා මම විනාඩියක් දෙකක් කල් දීලා මම ඇහුව්වා හිතුව ද කියලා.ඒ මහත්තයා කීවා ඔව් කියලා.එහෙනං කරුණා කරල තමන් හිතපු දේ මේ සභාවට කියන්න කියලා.ඒ් මහත්තයා තමන් හිතපු දේ සභාවට කීවා.

හොඳයි දැන් මහත්තයා හිතුව දේ ඔප්පු කරන්න කියලා ඒ මහත්තයාට මං කීවා. ඒ මහත්තයා නිරුත්තර වුණා.. මං කීවා විශ්වයේ තියෙන බොහෝ දේවල් සත්‍යය උනත් අපට භෞතික මිනුම් දඬුවලින් ඔප්පු කරන්න බැහැ කියලා’ ඒ වගේ මා දුටු මේ සිහිනයත් ඔප්පු කරන්න මට බැහැ. ඒත් මා දුටු සිහිනයේ කිසියම් වැදගත් පණිවුඩයක් දීමට උන්වහන්සේ පැමිණි බවයි මට නං සිතෙන්නේ.

අප බොහෝ වේලාවට ජීවිතයේ සිදුවන ඇතැම් සිද්ධීන් අහඹු සිද්ධීන් ලෙස සලකා අමතක කර දැමීමට පුරුදුව සිටින්නෙමු.එහෙත් එය එසේ නොවේ. අප දැන් ගෙවන දිවි ගමන භව ගණනාවකටම පෙරම සිටම සැලසුම් වී ඇති බව අප බොහෝ දෙනකු නොදන්නා කරුණකි. අභිධජ මහා රට්ඨ ගුරු අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රය මහ නා හිමියන් වහන්සේගේ ජීවිතය සේම අපගේ ජීවිත ගමන ද පෙර සැලසුමක ප‍්‍රතිඵලයක්. මෙම සිදුවීම් සමුදාය ඔබට කීමට පෙර මහ නා හිමියන් බලංගොඩදී හමු වූ අවස්ථාවක් පිළිබඳව කියනු කැමැත්තෙමි.

දිනක් මා බම්බලපිටියේ පිහිටි නාඩි කියවන කාර්යාලයේ රැදී සිටින විට එක්තරා ජපන් ජාතික කාන්තාවක් ද තම නාඩි පත කියවා ගැනීම සදහා පැමිණ සිටියාය. නාඩි කියවන කාර්යාලයේ අධිපති ආචාර්ය ජයසංකර් මහතා මා ඇයට හඳුන්වා දෙමින් කියා සිටියේ මා මේ විෂය පිළිබදව විමර්ශනය කරන කෙනෙක් නිසා ඇයගේ නාඩි කියවීම පිළිබඳ තොරතුරු ඇය කැමති නම් පමණක් කියන ලෙසටය.
ඊට තම අභිමතය දැක්වූ ඇය තමා නවාතැන් ගෙන සිටි කොළඹ පිහිටි ප‍්‍රධාන පෙළේ හෝටලයට පැමිණෙන ලෙස මට ඇරයුම් කළාය. පසුදින මම ඇය සිටි හෝටලයට ගියෙමි.

ඈ පිළිබදව තොරතුරු විමසූ විට ඇය කියා සිටියේ තමා මෙම හෝටලයේ කාමරය මුළු වසර සඳහා මුදල් ගෙවා වෙන් කරවා ගෙන ඇති බවය. ඊට හේතුව ද කීමට තරම් ඇය කාරුණික වූවාය.

ඇය කියා සිටියේ එම හෝටලයේ ඇය සිටින කාමරයේ පිහිටි බැල්කනිය තමාට භාවනාව කිරීමට ඉතාම යෝග්‍යතම ස්ථානය බවයි. භාවනාවට හිඳගත් සැනින්ම තමා සමාධි ගත වන බවද පැවසු ඇය මෙවන් තැනක් තමන්ට ලෝකයේ කිසිම තැනක මෙතෙක් හමුවී නැති බව ද කීවාය.

(මේ මොහෙතේ විසුද්ධි මාර්ගයේ ඇති අප්පායවාස සප්පායවාස පිළිබඳව දක්වා ඇති අවස්ථාව සිහිපත් වෙයි. එහි සඳහන් වන්නේ කිසියම් යෝගියෙක් භාවනා අසපුවකට ගිය විට එම අසපුවේ අධිපති ස්වාමීන් වහන්සේගේ අවසරය ඇතිව දින කීපයක් කුටි මාරු කර ගැනීමෙන් තමන්ට සප්පාය වන කුටිය තෝරාගෙන භාවනාවේ යෙදීම ප‍්‍රතිඵලදායක බවයි.)

ඒ අතරතුර ඇය මගෙන් තවත් කාරුණික ඉල්ලීමක් ද කළාය. එනම් ඇය එම දිනවල බුදුදහම පිළිබඳව ජපන් බසින් ග‍්‍රන්ථයක් රචනා කරන හෙයින් ලංකාවේ වැඩ සිටින උගත් ධර්මධර ස්වාමින් වහන්සේලා වෙත ඇය කැඳවාගෙන යන ලෙසයි.

ඒ අනුව මම ඇය පළමුවෙන් නුගේගොඩ රත්තනපිටියේ පිහිටි සාසන අසපුවේ නා හිමියන් වෙත කැඳවා ගෙන ගියෙමි. ඉන් අනතුරුව ඇය තමන්ට බලංගොඩ නායක හාමුදුරුවන් වහන්සේ හමුවීමේ අවශ්‍යතාව ද හෙළි කළාය. අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රය මහ නා හිමියන් වහන්සේ ගෙන් දිනයක් හා වේලාවක් වෙන් කරවා ගෙන නියමිත දිනයේ දී අපි බලංගෙංඩ ගියෙමු. මෙම ගමන සඳහා මා මිත‍්‍ර රාජගිරියේ මාදින්නාගොඩ ආරිය බණ්ඩාර සමරකෝන් මහතා සමග ජපන් කාන්තාවගේ යහළුවකුද සහභාගී වූ අයුරු මතකයට එයි. නා හිමියන් අප වෙනුවෙන් වෙන් කළ වේලාවටම අපි බලංගෙඩ ශ‍්‍රී නන්දාරාම විහාරස්ථානයට ගියෙමු. ඒ වන විට උන් වහන්සේ වැඩ සිටියේ ජපන් ජාතික භාවනා යෝගියකු වන සෝකෝ අසහාර නමැති අය විසින් අලූතින් තනවා පූජා කරන ලද ආරාමයේය.

ආරාමය ඉදිරිපිට සෝකෝ අසහාර විසින් තනවන ලද බවට නාම පුවරුවක් ද සවි කර තිබිණ. (මෙම ඉදිකිරීම පසු කාලීනව නා හිමියන්ගේ ජීවිතය පිළිබඳව මහත් බලපෑමක් කළ සිදුවීමක් බවට ද පත්විය.) ඒ වන විටත් දහවල් දානය රැගෙන ආ හතලිහකට වැඩි දායක පිරිස උන් වහන්සේගේ දෙපා අසල මහත් ගෞරවයෙන් ආදරයෙන් හා සෙනෙහසින් යුතුව මහ නා හිමියන් හා කතාබහේ යෙදෙන අපූරු දසුන අපි දුටුවෙමු. අපට නම් එම අපූරු දසුන ජීවිතයේ නොමැකෙන සිහිවටනයක් විය. ජපන් ජාතික කාන්තාව අසපුවේ සුන්දරත්වය නැරඹීම සඳහා ගියාය. ඒ සුන්දර අපූරු දසුන දුටු විට අපට සිතුනේ අප මේ සිටින්නේ ලෝක පූජිත මහා යතිවරයාණන් වහන්සේ නමක් ඉදිරියේද යනුවෙනි.

හේතුව බුද්ධ ධර්මය වැනි ගැඹුරු ධර්මයක් මුළු ලොවටම දේශනා කරන මුළු ලෝකයේ ම වියතුනගේ ගෞරව බුහුමන් ලබන ලෝක පූජිත මහා බුද්ධ පුත‍්‍රයාණන් වහන්සේ නමකගේ චාම් නිහතමානී ගුණ කදම්බය උන් වහන්සේ ගත කරන ජීවිතය තුළින් මොනවට විද්‍යමාන වූ අවස්ථාව අප දෑසින්ම දුටු හෙයිනි. අපි උන් වහන්සේට වැඳ නමස්කාර කොට පසෙකින් වාඩිවීමූ. කුඩා සාමනේර හිමි නමක් අපට තේ කෝප්ප දෙකක් පිරිනැමූහ. ”අනේ හාමුදුරුවනේ මම සීනි දාල තේ බොන්නෙ නෑ’ මම ඉතා සෙමින් පොඩි හාමුදුරුවන්ට කීවෙමි. ඒ දෙස බලා සිටි නා හිමියෝ ”ඇයි මුන්නැහේ සීනිවලට බයද? බය වෙන්න එපා මහත්තයෝ අපේ රටේ ඕවට හොඳ බෙහෙත් තියෙනවා. ඒත් අපේ රටේ මිනිස්සු හුග දෙනෙක් මේ ගැන දන්නෙ නෑ.

දැන ගත්තත් පිළි ගන්නේ නෑ. බටහිර වෙදකම එන්න කලින් පුරාණයේ ඉදලම අපේ රටේ තිබුණේ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය. මේ වෛද්‍ය ක‍්‍රමය ලෝකෙට ප‍්‍රකාශ කළේ මීට අවුරුදු පන් දහසකට හය දහසකට ඉස්සර හිටිය සෘෂීන් වහන්සේලා. පොඩි නම අර ගම්මාළු කිරි බෝතලෙන් පොඩි කුප්පියකට ටිකක් දාල ගේමුකෝ’ නා හිමියෝ පොඩි හාමුදුරුවන්ට කීහ.

මහත්තයෝ භික්ෂූන් වහන්සේලාට ගිහියන්ට වෙද හෙදකම් කිරීම විනය විරෝධියි. ඒත් මනුෂ්‍යයන් කෙරෙහි අනුකම්පාවෙන් බෙහෙත් ගැන කියා දෙන ක‍්‍රමයක් අපේ විනය පොත පතේ තියෙනවා. ඒ ගැන විස්තර කියා දෙන්න කාලය මදි. පොඩි හාමුදුරුවන් ගම්මාළු කිරි සහිත කුප්පිය දෑතින්ම නා හිමියන්ට පිළි ගැන්වීය.

මහත්තයෝ මේ කුප්පියේ තියෙන ගම්මාළු කිරි කිසියම් රෝගියෙක් පාවිච්චි කරනවා නං පාවිච්චි කරන්න ඕනෑ මෙහෙමයි. ඉරටු කෑල්ලක් අරගෙන හොඳට හෝදල කුප්පියේ තියෙන ගම්මාඵ කිරිවල තවරල හත් අට වතාවක් ගසා දමන්න ඕනෑ. ඉන් පස්සේ ඉරටු කෑල්ලේ තියෙන ප‍්‍රමාණය තමයි මාත‍්‍රාව. මේක මහා බලසම්පන්න බෙහෙතක්. කිසිම ලෙසකින් වත් මාත‍්‍රාව ඉක්මවලා ගන්න එපා කියලයි තියෙන්නේ. මේ බෙහෙත ගන්න කෙනා හිස් බඩට බෙහෙත බොන්න ඕනෑ. බෙහෙත බීලා පැය දෙකක් යනකල් කිරි බීම හෝ වෙනත් ආහාර ආදිය නොගත යුතුයි.

බෙහෙත නොකඩවා දින විසි එකක් ගත්තම රෝගියාට තමන්ටම ගුණ අගුණ දැන ගන්න පුළුවන් කියලයි සඳහන් වෙන්නේ. නා හිමියන් දෙන ලද ගම්මාඵ කුප්පිය මම ගෞරවයෙන් යුතු ව දෑතින්ම පිළි ගතිමි. ඔය වගේ අත් බෙහෙත් හුගාක් අපේ ගම්වල ඉන්න සිංහල වෙද මහත්තුරු දන්නවා.’ නා හිමියෝ පැවසූහ.

මේ විස්තරය අසා සිටි නා හිමියන් ඉදිරියේ වාඩි වී හුන් එක්තරා වයසක උපාසක මහත්තයකු නා හිමියන් වෙත තම රෝගී තත්ත්වය කියා සිටිමින් ඊට ප‍්‍රතිකර්මයක් නැතිදැයි විමසීය.

‘අනේ නායක හාමුදුරුවනේ මගේ වයස දැන් අවුරුදු හැත්තෑවයි. ගමනක් බිමනක් යන කොට හන්දිපත් ඔක්කෝම රිදෙනවා. කකියනවා. මේකට මොකුත් අත් බෙහෙතක් නැද්ද අපේ හාමුදුරුවනේ?”

උපාසක මහතා මහත් බය පක්ෂපාතීව නා හිමියන් වෙතින් විමසීය. නා හිමියන් සිනහමුසු මුහුණින් යුතුව දුන් පිළිතුර මට අද මෙන් සිහිපත් වෙයි. ” මේ ඇත්තගේ වයස දැන් අවුරුදු හැත්තෑවයි කීවනේ. මේකට හොඳම අවුසදය වේදනානුස්මෘති භාවනාවයි.

‘ඒත් අචුසදයක් අහන නිසයි මම මේ බෙහෙත කියන්නේ. මම කලක් ඉන්දියවේ සෘෂිකේෂි ආශ‍්‍රමයේ ඉන්දියානු භාවනා ක‍්‍රමය ඉගෙන ගන්න ගියා. ඔහොම ඉන්න අතරේ මම දැක්කා බටහිර රටවල සංචාරකයෝ විශාල පිරිසක් හිමාල කන්ද නගින්න යනවා එනවා.

ඒත් මේ ඇත්තන්ගේ බඩු පොදි ඔක්කොම උස්සගෙන යන්නේ ටිබෙට් ජාතික මිනිස්සු. සංචාරක ඇත්තෝ බඩු පොදි ටිකක් විතරයි ගෙන යන්නේ. දවසක් මට හිතුනා මේ කම්කරු ඇත්තන් හමුවෙලා මේ ගැන විස්තරය දැන ගන්න. ඒ ඇත්තෝ බොහෝම කැමැත්තෙන් මට තොරතුරු කීවා. මේ ඇත්තො හිමාල කන්ද නගින්න සතියකට ඉස්සෙල්ලා පොඩි අවුසදක් හදාගෙන බොනවා. ඒක ඉතාම සරල බෙහෙතක්. අවුසදය අපි කවුරුත් දන්නා කෝමාරිකා ගස්.

බදුල්ලේ මෛතී‍්‍ර රත්නායක

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button