පළකල දිනය : Sun, Mar 3rd, 2019

හොල්මන් කරන කවුරුද මේ නාරිලතා ඈත්ත කතාව මෙන්න

දැනට අවුරුදු දහයකට වැඩි කලක සිට අන්තර්ජාලයේ සැරිසරන විශේෂ ඡායාරූප තුනක් ගසක හටගත් නග්න කාන්තාවකගේ රුවකට අතිශයින් සමාන මල් හෝ ගෙඩි කිහිපයකින් යුතු එම ඡායාරූප සිංහල අන්තර්ජාල නරඹන්නන් අතරට පැමිණ ඇත්තේ ‘‘නාරිලතා’’ හෝ ලියතඹරා යන හැඳින් වූ සමගිනි. බැලූ බැල්මටම සොබා දහමේ විස්මිත නිමැවුමක් සේ පෙනෙන එම මල් හෝ ගෙඩි වර්ගය සම්බන්ධයෙන් අප රටේ බොහෝ දෙනකු අතිශය සංවේදීවීමට ප්‍රධාන හේතුවක් තිබිණ. එනම් නාරිලතා සහ ලියතඹරා යන වදන් අප ජන සංස්කෘතිය හා සෘජුව බැඳී තිබීමය. දහතුන් වන සියවසේ ලියැවුණු පූජාවලියෙහිද මෙම ‘නාරිලතා’ යන නම සඳහන්ව තිබේ. ඒ ස්ත්‍රී ස්වරූපයකින් යුතු මල් විශේෂයක් හඳුන්වා දීම පිණිසය.

දාහත් වන සියවසේ ලියැවුණු සුභාෂිතයෙහිද ලියතඹරා යන වදන සඳහන් වන අතර ඉන් පැවසෙනුයේ කාන්තාවන් වැනි මල් සහිත උත්පල නම් වැල් වර්ගයක් පිළිබඳවය. ඊට අමතරව මහනුවර යුගයට අයත් උඩරට සේම පහත රට විහාර චිත්‍රවල ද මකරා, ගුරුලා, ගජසිංහ, භේරුණ්ඩ පක්ෂියා යන රූප අතරට කාන්තා උඩුකයක් නිරූපණය කෙරෙන නාරිලතා සිත්තම් ද දක්නට ලැබේ. නමුදු නූතන ජන සමාජය අතර මෙම නාරිලතා සහ ලියතඹරා යන වදන් අතිශයම ප්‍රචලිත වීමට ප්‍රධාන හේතුව එම වදන් සහිත ගීත කිහිපයක්ම අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබීම බවද අප පිළිගත යුතුය.

ඉන්දියාවේ හිමාල වනයේ බවුන් වඩන තවුසන්ගේ ධ්‍යාන බලය සිඳලන එක්තරා පුෂ්පයක් පිළිබඳ පුරාවෘත්ත රැසක් තිබේ. සංස්කෘත පුරාණෝක්තිවල සඳහන් එවන් පුෂ්පයක් පිළිබඳව බෞද්ධ ජාතක කතා සාහිත්‍යයේ ද සඳහන්ව ඇත. කාලාන්තරයක් තිස්සේ මිනිස් වාසයෙන් අත්මිදී හිමාල වනයේ බවුන් වඩා ධ්‍යාන බල උපදවාගෙන සිටින තවුසෝ ස්ත්‍රී ස්වරූපයෙන් යුතු මෙම මල දැකීමෙන් රාගය උපදවා ගනිති. එයට ඔවුන්ගේ දැහැන් බිඳී යයි. නාරිලතා හෝ ලියතඹරා මල තවුසන්ගේ දැහැන් බිඳිනුයේ එලෙසිනි.

ඉහත පුරාවෘත්ත සහ පසුගිය කාලයේ අන්තර්ජාලයේ සැරිසැරූ එම නග්න කාන්තා රුව සහ මල් හෝ ගෙඩි සහිත ඡායාරූප ගලපා බලනවිට හැඟී යනුයේ තවුසන්ගේ දැහැන් බිඳීමට සමත් වූ ‘නාරිලතා’ හෝ ‘ලියතඹරා’ මල එය නම් එහි පුදුම වීමට කිසිදු හේතුවක් නොමැති බවය. මන්ද යත් එහි ස්වරූපය මුළුමනින්ම නග්න ගැහැනියකට සමාන නිසාය.

2008 වසරටත් පෙර සිට අන්තර්ජාලයේ සැරිසරන මෙම ඡායාරූප තුන කුමන ස්ථානයක කවරකු විසින් කැමරාවට හසු කර ගන්නා ලද්දක්ද යන්න නිශ්චිතව සඳහන්ව නැත. එය තායිලන්තයේ පෙඩාබුන් ප්‍රදේශයේ (Phetohbun Province) හිදී ඡායාරූපයට නංවන ලද බවක් පවසා ඇති අතර එම මල් හෝ ගෙඩි වර්ගය හිමාලයේ සහ ශ්‍රී ලංකාවේද දක්නට ඇති බවද එහි සඳහන්ව තිබේ. නමුදු ඊට වඩා ඒ සම්බන්ධයෙන් විමසුම් කරන්නකු හට ඒ සම්බන්ධයෙන් මතු දැක්වෙන තොරතුරු සොයා ගැනීමද අසීරු නොවේ.

අන්තර්ජාල තොරතුරුවලට අනුව නාරිපෝන් (Nariphon) මක්කලිපෝන් (Makkaliphon) ආදී නම්වලින් හැඳින්වෙන එය වසර විස්සකට වරක් පමණක් හටගන්නා දුර්ලභ පලයකි. ඉහත සඳහන් වදන්වල සිංහල අරුත නාරි පල වශයෙන් ගත හැකි වීමෙන් සනාථ වනුයේ එය ගෙඩියක් මිස මලක් නොවන බවකි.

කෙසේ නමුදු තායිලන්තයේ එන මෙම ‘නාරිපල’ වෘත්තාන්තය බෞද්ධ පුරාවෘත්තයක් හා බැඳී පවතී. එහෙත් එය ඔවුන්ගේ ජන ආගමින් ප්‍රබන්ධය වූ කතාවක් නමින් ත්‍රිපිටක සාහිත්‍යයට අයත් වූවක් නොවේ.

මතු බුදු බව පතා තම බිසව හා දරු දෙදෙනා ද කැටුව බවුන් වැඩීම පිණිස හිමාලයට ගිය වෙස්සන්තර රජුගේ කතාව අප ජන සමාජයේද අතිශයින් ජනප්‍රියය. එම තායිලන්ත පුරාවෘත්තයට අනුව එසේ වනගතව වෙස්සන්තර රජතුමාගේ බිසව (මන්ද්‍ර දේවිය) පලවැල නෙළීම පිණිස හිමාල වනයට යාම එහි බවුන් වඩමින් සිටි ධ්‍යාන බල සහිත තවුසන්ට මහත් ප්‍රශ්නයක් වී තිබේ. ඒ එම රජ බිසව අතිශය රූමත් තරුණ කාන්තාවක වූ බැවිනි. එහිදී එලෙස ධ්‍යාන බලය බිඳගත් තවුසන්ගෙන් රජ බිසවට කිසියම් අන්තරායක් සිදුවිය හැකි බව ඉන්ද්‍ර දෙවියාට (අපගේ සංස්කෘතියට අනුව ශක්‍රයාට) වැටහිණි.

එබැවින් ඔහු තම බිසවගේ නග්න රූපකාය සහිත ගෙඩි හට ගන්නා ගස් දොළහක් එම තවුසන් වැඩ සිටින හිමාල වනපෙත තුළ මැවීය. ඉන්පසු ඒ ගෙඩි වර්ගය දැක ඒවාට ලොබ බඳින තවුසෝ මාස හතරක කාලයක් දක්වා දිගු නින්දකට පිවිසුණහ. කාන්තාවක නොමැති විට ඇය සම්බන්ධ සංකේත හෙවත් අර්ඛනකයන් (Fetish) මුල් කොට වුව පිරිමියකු තුළ කාමරාගය පිබිදීම මනෝ විද්‍යාත්මකවද ඉතා සරල සාමාන්‍ය සංසිද්ධියකි. ඒ අනුව ඉන්ද්‍ර දෙවියා හෝ ශක්‍රයා එම ‘උප්පරවැට්ටිය’ යොදා ඇත්තේ නවීන මනෝ විද්‍යා සිද්ධාන්ත අනුව යමින් බව පෙනෙයි.

දැනටද හිමාල වනයේ ඉතා කලාතුරකින් දක්නට ලැබෙන එම ගස් වැනසෙනුයේ බුදු සසුනේ පරිහානියත් සමග බවද එම තායිලන්ත පුරාවෘත්තයේ සඳහන් වෙයි. මෙම පුරාවෘත්තයට අනුව එම වෘක්ෂයේ ගෙඩි වශයෙන් සැලකෙන යම් යම් වියළි ද්‍රව්‍ය දැනුදු තායිලන්තයේ පැරණි බෞද්ධ විහාරස්ථානවල ඇතැයි කියනු ලැබේ. එහෙත් මෙම ගෙඩි අප රටේ අදටත් ඇතැයි සැලකෙන රාම කුමරුගේ හීතල පත්තිනි දෙවඟනගේ සළඹ වැනි පසුව එම වෘත්තාන්ත මුල් කොට කෘත්‍රිමව තනාගත් සංකේත බව මගේ වැටහීමය.

ඉහත සඳහන් පුරාණෝක්ති කෙසේ වෙතත් මෙවන් මල් හෝ ගෙඩි සහිත ශාකයක් මෙලොව ඇති බවට ඉහත සඳහන් ඡායාරූප තුන අන්තර්ජාලය මගින් ප්‍රසිද්ධ වන තුරුම කිසිවෙක් දැන සිට නැත. එමෙන්ම එම ශාකය සහ මල් හෝ ගෙඩි වර්ගය අන්තර්ජාලය මගින් ලොව පුරා පැතිර ගියද එ් පිළිබඳ උද්භිද විද්‍යාත්මක විස්තරයක් දීමට කිසිදු උද්භිද විද්‍යාඥයකු සමත්ව නැත. මේ සම්බන්ධයෙන් පේරාදෙණියේ ජාතික ශාකාගාරයෙන් කළ විමසීමකදී අපට දැනගත හැකිවූයේ එම ඡායාරූපය හුදෙක් ව්‍යාජ මවා පෑමක් බව පැවසීමට වැඩි යමක් කිව නොහැකි බවය. එමෙන්ම ගත වූ දස වසරකටත් වැඩි කාලයක් අන්තර්ජාලයේ සැරිසැරූ මෙම ඡායාරූප තුනට අමතරව එම ශාකය මල් හෝ ගෙඩි සහිත තවත් එකම ඡායාරූපයක්වත් ඉන්පසුව අන්තර්ජාලයට එක් නොවීම ද බලවත් සැකයකට තුඩු දෙන්නකි.

එමෙන්ම එවන් අරුම පුදුම මල් හෝ ගෙඩි සහිත ශාක විශේෂයක් තායිලන්තයේ තිබේ නම් කවරකු හෝ පිළිබඳ තොරතුරු සඟවා තැබීමට හේතුව කුමක්ද? ඒ සම්බන්ධයෙන් අන්තර්ජාල බ්ලොග් අඩවියක් මගින් අදහස් පළ කළ තායිලන්ත ජාතිකයකුට පවසා ඇත්තේ මෙය හුදෙක් පැරණි පුරාවෘත්ත මත පදනම් නොවූ කල්පිතයක් නොවී නම් තායිලන්තයේ ඇතැයි පැවසෙන මෙම ශාකය ජපානයේ සකුරා ශාකයටත් වඩා සංචාරක කර්මාන්තයට ඉවහල් කරගත හැකි බවකි. බැලූ බැල්මටම තරමක් පළල් පත්‍ර සහිත නිවර්තන කලාපීය ශාකයක් වන මෙය හිමාල අඩවියේ ඇතැයි කියනු ලැබේ. එසේ නම් එය මුහුදු මට්ටමේ සිට මීටර් 350-1500 දක්වා උසින් යුතු හිමාලයේ පහළම කොටස වන ශිවල්ක් කඳු ප්‍ර‍දේශයේ විය යුතුය.

ඒ මීටර් 8850ක් උසින් එවරස්ට් කඳු ශිඛරය දක්වා වන හිමාලයේ ඉහළ කොටස් නිවර්තන දේශගුණයට අයත් නොවන බැවිනි. අන්තර්ජාලය පුරා සැරිසැරූ මෙම ඡායාරූප තුන පැරණි තායිලන්ත පුරාවෘත්තයක් මුල් කොට ගත් ව්‍යාජ මවා පෑමක් බව මුල්වරට ලෝකයා හමුවේ ප්‍රකාශ කරන ලද්දේ නාගරික පුරාවෘත්ත සහ සමාජයේ පවත්නා සාවද්‍ය මත පිළිබඳ විශ්ලේෂණය කරන හෝක්ස් ස්ලේයරි (Hoax Slawer) වෙබ් අඩවිය සඳහා එහි හිමිකරු බ්‍රීට් එම් ක්‍රිස්ටන්සන් (Brett M Christensen) විසින් ඉදිරිපත් කරන ලද ලේඛනයක් මගිනි.

ඒ මීට වසර එකොළහකට පෙර 2008 වසරේ අප්‍රේල් පළමු වනදා මෝඩයාගේ දිනයේදීය. එහෙත් ඔහු මෝඩයාගේ දිනයේ අන්තර්ජාලයට මුදා හළ එම විස්තරයට පසුව එදා මෙදා තුර ශ්‍රී ලාංකීය අන්තර්ජාල නරඹන්නවුන් තවදුරටත් එය සත්‍ය ඡායාරූප වශයෙන් පිළිගැනීම ශ්‍රී ලාංකීය ජන විඥානයේ විචාරශීලී බව කදිමට හුවා දක්වන්නකි.

යම් යම් හැඩතලවලින් යුතු භෞතික සහ ස්වාභාවික වස්තූන්ට ඒ හැඩතලවල මුල් ස්වරූපයේ නම් ආරූඪ කිරීම ලොවපුරා කවදත් සිදුවන්නකි. ගෝනුසුමල්, උඩරට නැට්ටුවා යන උඩවැඩියා විශේෂ ඒ සඳහා අප රටින් ගත හැකි සරල හා පහසු නිදසුන්ය. එමෙන්ම කාන්තා රූපයකට යම් සමාන බවක් ඇති නිසා ‘නාරිලතා’ යනුවෙන් හැඳින්විය හැකි උඩවැඩියා විශේෂයක් ද අප රටේ තිබේ. එය විද්‍යාත්මකව හැඳින්වෙනුයේ habenaria Crinifera යනුවෙනි. බෝනිකි උඩවැඩියා (doll orchid) යන්න ඒ සඳහා ලැබී ඇති ඉංග්‍රීසි නමය.

ඒ කෙසේ හෝ අන්තර්ජාලයේ සැරිසරන ඉහත සඳහන් මල් හෝ ගෙඩි සහිත ඡායාරූප තුන තායිලන්ත බෞද්ධ පුරාණෝක්තියක් මුල් කොට ගත් කල්පිත වෘක්ෂයක් සත්‍යයක් ලෙස ගෙන හැර පෑමට කිසිවකු විසින් දරා ඇති සට කපට උත්සාහයක් බව නිසැකය. එහෙත් මෙය ‘ෆොටෝෂොප්’ වැනි අන්තර්ජාල මෘදුකාංගයක් මගින් සිදු කරන ලද ඇස් බැන්දුමක්ද නොවේ. මෙහිදී සිදු කොට ඇත්තේ ඉහත සඳහන් පුරාණෝක්තියේ එන කාන්තා රූපවලට ගැළපෙන සේ කෘත්‍රිමව නගන ලද ‘බෝනික්කන්’ කිහිප දෙනකු කිසියම් ගසක අතු පතර එල්ලා ඡායාරූපයට නැංවීමය.

එළවළු සහ පලතුරු කැටයම් කලාව සම්බන්ධයෙන් පාරම්පරික හිමිකමක් තායිලන්ත වැසියන්ට තිබේ. ඔවුන් මුලදී මෙම කලාවට පිවිසෙනුයේ තායිලන්ත රජ පවුලේ කෑම මේස සැරසීම පිණිස එළවළු, පලතුරු කැටයම් කැපීමෙනි. අද වන විට එම තායිලන්ත එළවළු, පලතුරු කැටයම් කලාව එක් පැත්තකින් එරට ග්‍රාමීය මට්ටම දක්වාද ව්‍යාප්ත වී තිබේ. මගේ පෞද්ගලික විශ්වාසය අනුව එම කැටයම් කලාව දන්නා අයකුට යම් එළවළුකින් හෝ පලතුරකින් මෙබඳු බෝනින්කන් කිහිප දෙනකු කැපීම ‘සිල්ලර’ වැඩකි. ගත වූ දස වසරකටත් වැඩි කාලයක් තුළ අප රටේ අන්තර්ජාලය පරිහරණය කරන ලක්ෂ ගණන් පිරිස් ‘අර කාවදෝ’ ඇන්ද වූ මෙම නාරිලතා ඡායාරූප තුනේ සැබෑ පසුබිම් කතාවට මීට වඩා දිග පළලක් හෝ ගැඹුරක් ඇත්තේම නැත.

තිලක් සේනාසිංහ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button