පළකල දිනය : Sat, Mar 9th, 2019

ජීවිතය දිනාගත්ත හිරු ස්ටාර් මංගල ඩෙනෙක්ස් රහස් හෙළි කරයි

හිරු ස්ටාර් කිරුළේ හිමිකාරයා ඔබ ඒ ගැන ලොකු සතුටකින් ඇත්තේ…?

මටත් වඩා ප්‍රේක්ෂක ජනතාව ඒ ගැන සතුටු වෙනවා. එයාලගේ සතුට මට ගොඩක් වටිනවා. ලොකු කුඩා හැමෝම මට ආදරය කළා. ඒ ආදරය ගැන අහිංසක සතුටක් මම භුක්ති විඳිනවා.

තරගයට එද්දිම කිරුළ ගැන බලාපොරොත්තුව තියාගෙනද හිටියේ…?

ජයග්‍රහණය කෙසේ වෙතත් මට නොලැබුණ ජීවිතය දිනන්න මම බලාපොරොතු වුණා. මම මේ වෙද්දි සෑහෙන දුරක් සාර්ථකව ඇවිත් තියෙනවා. මට මේ තැන හදාගන්න උදවු කරපු රෙනෝ සිල්වා මැතිතුමාට, ඒ වගේම හිරු ටී.වී. කණ්ඩායමට මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට උදවු කරපු සංගීත කණ්ඩායම් සහ මම වෙනුවෙන් උදවු කරපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා.

මංගලගේ හීනය සැබෑ කරගන්න හරිම පාර හිරු ස්ටාර් කියලා කලින්ම හිතුවද..?

ඔව්. මම ඒක විශ්වාස කළා. ඒ විශ්වාසය අද හැබෑ වෙලා තියෙනවා.

හිරු ස්ටාර් තරගයට ඔබව යොමු කළේ කවුද…?

මම මුලින් නම් රූපවාහිනිය එහෙම එතරම් බලන්නේ නැති කෙනෙක්. ශිරාන් මාධව සහ මනෝජ් සංජය තමයි මේ තරගය ගැන කිව්වේ. ඒ දෙන්නා ඇප්ලිකේෂන් දෙකක් දැම්මා. මගේ බිරියත් මං වෙනුවෙන් ඇප්ලිකේෂන් එකක් දැම්මා.

බොහෝ රියැලිටි තරගකරුවන් රසික ආකර්ෂණය අඩුවෙයි කියලා පවුල් ජීවිතයේ සමහර කාරණා වසන් කරනවා. හැබැයි ඔබ විවාහකයෙක් කියලා වසන් කළේ නැහැ…?

සැනසීම කියන දෙයට මම පුදුම විදියට පෙරේතයි. ඒකට හානියක් කරගන්න මට ඕන වුණේ නෑ. බොරුවෙන් කපටිකමෙන් දිනන්න මට ඕන වුණෙත් නෑ. එහෙම බොරුවෙන් වංචාවෙන් දිනන්න ඕන වුණා නම් අවුරුදු දහතුනක් කට්ට කන්න ඕනේ නෑ. බිරිය දුකේදි මගේ ළඟ හිටියා. ඉතිං ඇයි මම මගේ බිරිය දරුවන් ගැන හංගන්නේ. මගේ දරුවන්ගේ වාසනාවටත් එක්ක තමයි මේ ජයග්‍රහණය ලැබුණේ. මගේ දුවට අවුරුදු තුනක් වෙද්දි පුතාට අවුරුදු එකහමාරක් වෙද්දි එයාලා මේ දේ දැක්කා. ඒක ඇත්තටම වාසනාවක්.

හිරු ස්ටාර් කිරුළත් එක්ක ඔබට ලැබිච්ච ත්‍යාගවලිනුත් ඔබට ප්‍රතිලාභ එකතු වුණා නේද…?

මට ලක්ෂ හැටක් වටින අවුඩි මෝටර් රථයක් ලැබුණා. ඒක මම පදිනවා. රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක්. රුපියල් කෝටියක් වටිනා රූප රචනා සහිත ගීත ඇල්බමයක හිමිකම ලැබුණා. මෙච්චර කල් මම සිංදු කිව්වේ ප්‍රතිලාභයක් බලාගෙන නෙමෙයි. ප්‍රතිලාභ බලාගෙනම මේ ගමන ආවා නම් මම අකැමැති දේවලුත් කරන්න සිද්ධ වෙන්න තිබ්බා. මම මට ලැබිච්ච ත්‍යාග විකුණන්නේ නෑ. ඒවා මගේ ළමයින්ට අයිති දේවල්. මම හැමදාම ප්‍රේක්ෂකයාගේ හිත් සනසන්න සිංදු කියනවා. මගේ ජීවිතය වෙනස් කරපු මගේ දැනුම හදපු අයටත් මම උපරිම දේ කරනවා.

හිරු ස්ටාර් තරගයට එන්න කලින් මංගලට ජීවත් වෙන්න සිදුවුණ පසුබිම ගැන කිව්වොත්…?

ඒ පසුබිම නම් හරිම අන්තිමයි. මගේ ජීවිතය බින්දුවේ තිබ්බේ. මගේ හදවතේ තිබ්බ ශක්තිය මගේ නෝනා, මගේ දරුවෝ දෙන්නා මගේ වටේ හිටපු අය තමයි මට විශ්වාස කරන්න පුළුවන් වුණේ. මම මුලින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රැකියාවක් කළා. සංගීතය නිසා මම ඒ රැකියාවත් කාලයකට කලින් අතහැරියා. අවුරුදු ගාණක් කට්ට කෑවා මේ තැන හදාගන්න.

දැන් ඔබට බොහෝ පිරිසක් ආදරය කරනවා…?

ඇත්තටම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්ටත් නැති තරමේ ආදරයක් මට ලැබෙනවා. මට කවදාවත් වීරයෙක් වෙන්න ඕන වුණේ නෑ. මට දැනෙන දේ ප්‍රේක්ෂක ජනතාවට දැනුණා. ඒ ගැන සතුටුයි.

ගමෙනුත් ලොකු පිළිගැනීමක් ලැබෙන්න ඇති….?

ඔව්. ඒ පිළිගැනීම මට කියලා නිම කරන්න බෑ. මාර සතුටුයි. මට ඒ පිළිගැනීම දකිද්දී ඇස්වලට කඳුළු ආවා. මම කඳුළු හංගන්න කැමැති කෙනෙක්. ඒ ආදරය මාරයි. එයාලා මගේ නමට මුලින් ගායකයා කියන කොටස දාලා එයාලගේ ආදරය ප්‍රකාශ කළා. මට එක පාටක් නැති නිසා හැමෝගෙම ආදරය මට ලැබුණා.

මංගල බටපොළින් කොළඹට එන එකක් නැද්ද…?

මගේ කකුල් දෙක රිදෙනකල් මං කොළඹ ඇවිද්දා. මේ තරගයේ මුල ඉඳලම බස් එකේම කොළඹ ආපු ගිය කෙනා මම. කොළඹ කොච්චර දුෂ්කරයිද කියලා මගේ දෙපයට දැනිලා තියෙනවා. ගම පුළුවන් තරම් කොළඹ වගේ කරන්න උත්සාහ කරනවා. ගම දාලා මම කොළඹට එන්නේ නෑ.

රියැලිටි තරගවලින් ගායකයෝ බිහිවෙනවා. හැබැයි ක්ෂේත්‍රයේ රැඳෙන්නේ ඒ අතරින් කිහිපදෙනයි. මංගලට ක්ෂේත්‍රයේ ගායන තරුවක් ලෙස රැඳිලා ඉන්න පුළුවන් වෙයිද..?

මම තරුවක් නෙවෙයි. මාව තරුවක් විදියට අනෙක් අය දකින එකට කරන්න දෙයක් නෑ. නමුත් මගේ තරු ලකුණු තියෙන්නේ මගේ ගායනයේ. මම සාමාන්‍ය මනුස්සයෙක්. කලා ලෝකයේ පවතින නිර්මාණ ටිකක් කරලා ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න පුළුවන් කියලා හිතනවා.

මංගලගේ අලුත් ගීතයක් අහන්න තව කොච්චර කල් යයිද…?

මගේ ගීත නවයක් විතර දැනට තියෙනවා. උඩුගම් බලා යන නිර්මාණ කළේ. ඉදිරියේදී අහස් මාලිගා නාට්‍ය වෙනුවෙන් ගයපු තේමා ගීතයත් අහන්න ලැබෙයි. ඉදිරියටත් හොඳ වටිනාකමක් තියෙන ගීත මගේ හඬෙන් ඇහෙයි.

මංගල රසිකයෝ ඉල්ලන දේවල් දෙන ගායකයෙක් වෙයිද..?

මෑත කාලයේ ගොඩක් අහන්න ලැබුණේ රසිකයෝ ඉල්ලපු නිර්මාණවලට වඩා මාකටින්වලට කරපු නිර්මාණ. ඒ ගීත රසිකයන්ට බලෙන් අහන්න වුණා. ඒකට ඉතිං කාටවත් වැරැද්දක් කියන්න බෑ. මම ගායනයෙන් තරු ලකුණක් තියලා නිර්මාණ කරනවා.

මංගල දැන් තියෙන ප්‍රේක්ෂක ආකර්ෂණය අවස්ථා සහ ලැබෙන දේවල් නිසා වෙනස් වෙන චරිතයක් වෙයිද..?

මංගල ඩෙනෙක්ස් එහෙම කවදාවත් වෙනස් වෙන්නේ නෑ. ගායනයේ වෙනස්කම් තියෙයි. මට ඕන චරිතයක් වෙන්න නෙවෙයි. විශේෂිතයෙක් වෙන්න. මම මෙච්චර දේවල් කළේ උඩුගම් බලා යන්න. එවැනි නිර්මාණ එක්ක මම ප්‍රේක්ෂකයන් අතර ඉන්න උත්සහ කරනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button