පළකල දිනය : Mon, Mar 18th, 2019

මෙවර නොබෙල් සාම ත්‍යාගයට නම් ලද 16 හැවිරිදි පාසල් දැරිය

මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා ගියෙටා තන්බර්ග් (Greta Thunberg) නම් ස්වීඩනයේ 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකගේ නම ද යෝජනා වී තිබෙනවා.

ඇය මේ සඳහා යෝජනා කර ඇත්තේ දේශගුණ විපර්යාසයට (Climate change) එරෙහිව සටන් වදින ජාත්‍යන්තර ව්‍යාපාරයකට සිය දායකත්වය ලබාදීම වෙනුවෙනුයි.

ඇය ඒ සඳහා යෝජනා කර ඇත්තේ නොර්වේ රාජ්‍යයේ මන්ත‍්‍රීවරුන් තිදෙනෙකු විසින් වන අතර ඇය ජයග‍්‍රහණය කළහොත් නොබෙල් සාම ත්‍යාගය දිනාගත් ළාබාලතම පුද්ගලයා ඇය වනු ඇති.

පාකිස්තානයේ මලාලා යුසෆ්සායි නොබෙල් ත්‍යාගය දිනාගන්නා විට වයස අවුරුදු 17 කි.

ට්වීටර් පණිවුයක් නිකුත් කරමින් ගියෙටා තුන්බර්ග් පැවසුවේ සිය නම යෝජනා වීම ‘‘ගෞරවයක්” ලෙස සලකන බවයි.

දේශගුණ විපර්යාසයන්ට එරෙහිව ලොව පුරා රටවල් 100 කට වැඩි ප‍්‍රමාණයක පාසල් දරුවන් සිකුරාදා (මාර්තු 15) පන්ති වර්ජනයකට සූදානම් වන බව බිබිසි වාර්තා කර තිබුණා.

මෙම පාසල් දැරිය #FridaysForFuture ටැගය යටතේ අරඹන ලද ‘ත්‍රසාහි දෙර’ (Fridays for the Future) ව්‍යාපාරය මගින් එම පන්ති වර්ජනය සංවිධානය කර ඇති බව සඳහන්.

දේශගුණ විපර්යාසයන්ට එරෙහිව ජර්මනිය, බෙල්ජියම, එක්සත් රාජධානිය, ප‍්‍රංසය, ඕස්ටේ‍්‍රලියාව සහ ජපානය යන රටවල පාසල් දරු දැරියෝ විටින් විට පන්ති වර්ජන කරනු ලබනවා.

ඇය ප‍්‍රථම වරට පන්ති වර්ජනයක් සංවිධානය කළේ පසුගිය අගෝස්තු මාසයේ වන අතර එය පැවැත්වුණේ ස්වීඩන පාර්ලිමේන්තුව ඉදිරිපිටයි.

එතැන් සිට විටින් විට ඇය සිකුරාදා දිනවල පන්ති වර්ජනය කළා.

ඇය වෙත ලෝක අවධානය යොමු වූයේ පසුගිය දෙසැම්බර් මාසයේ පෝලන්තයේ පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ සාකච්ඡුා සහ ජනවාරියේ දී ඩාවොස් ආර්ථික සමුළුව ඇමතීමෙන් අනතුරුවයි.

ජාතික මට්ටමේ දේශපාලකයින්, ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති නිලධාරීන්, විද්වතුන් සහ මීට පෙර නොබෙල් සාම ත්‍යාගය ජයග‍්‍රහණය කළ පුද්ගලයන්ට එම ත්‍යාගය සඳහා නම් යෝජනා කිරීමේ හැකියාව තිබෙනවා.

මෙහි ජයග‍්‍රාහකයා ඔක්තෝබර් මාසයේ ප‍්‍රසිද්ධ කෙරෙන අතර ත්‍යාගය නෝර්වේ අගනුවර වන ඔස්ලෝ හීදී දෙසැම්බර් මාසයේදී ප්‍රදානය කරනු ලබනවා.

2019 නොබෙල් සාම ත්‍යාගය සඳහා 301ක් දෙනෙකු ගේ නම් යෝජනා වී ඇති අතරම ඒ අතර පුද්ගලයින් 223 දෙනෙක් සහ ආයතන 78ක් ඇතුළත් බව නොබෙල් ත්‍යාග කමිටුව පවසයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button