පළකල දිනය : Thu, Mar 21st, 2019

කව්ද මේ නාගානන්ද

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥභාවය වසර තුනකට අත්හිටුවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ නිවේදනය කරනු ලැබුවේය. පසුගිය වසර කිහිපය තුළ ඔහු ප්‍රසිද්ධියට පත් වූයේ අසාධාරනයට එරෙහිව හඬ නගන නීතිවේදියෙකු වශයෙනි.

2015 මැයි 21 වෙනිදා එවක අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විජිත් මළල්ගොඩ ඉදිරියේ පැවති නඩු විභාගයකදී නීතිඥවරයෙකුට නොගැලපෙන අයුරින් හැසීරීම සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු වැරදිකරු බව අධිකරණය තීන්දු කළේය.

ඔහුගේ හැසිරීම සලකා බලා, අධිකරණය කෙරෙහි පවතින විශ්වාසය පළුදු විය හැකි බැවින් ආචාර ධර්ම සංග්‍රහයේ 60 සහ 61 වගන්ති උල්ලංඝනය කිරිම හේතුවෙන් ඔහුට නීතිඥ වෘත්තියේ නියැලීම වසර තුනකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. අදාළ තීන්දුව ලබා දෙනු ලැබුවේ අගවිනිසුරු නලින් පෙරේරා, සිසිර ද ආබෘ සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.

නාගානන්ද කොඩිතුවක්කු ප්‍රසිද්ධියේම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සමහර ක්‍රියාකාරකම් පිළිබඳව විවේචනයට ලක් කළේය.

‘මන්ත්‍රී වාහන බද්ද බිංදුවයි – පොඩි මිනිසාට ලක්ෂ විස්සයි’

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් (ජනතා විමුක්ති පෙරමුණ හැර) නීතිවිරෝධී ලෙස සිය බලපත්‍ර විකුණා ඇති බව සඳහන් කරමින් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වා තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හත් දෙනෙකු අදාළ නඩුව විභාග කිරීමෙන් ඉවත්ව ඇති බව නාගානන්ද කොඩිතුවක්කු පවසයි. අදාළ පෙත්සම මැයි 02 වෙනිදා යළි සළකා බැලීමට නියමිතය.

විනිසුරුවන් “හත් දෙනෙකු” ඉවත් වූ නඩුව

පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද යටතේ ගෙන්වන ලද තීරු බදු රහිත වාහන බලපත්‍ර නීති විරෝධී ලෙස අලෙවි කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විධිමත් විමර්ශනයක් සිදු නොකරන බවට චෝදනා කරමින් නාගානන්ද කොඩිතුවක්කු විසින් 2017 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරනු ලැබීය. ඔහු පවසන පරිදි තීරු බදු රහිත වාහන බලපත්‍ර විකිණීම මගින් සිදුව ඇති බදු වංචාව රුපියල් බිලියන 07කි.

විනිසුරුවන්ට එරෙහි විචේචන සහ නඩු පැවරීම
හිටපු අග්‍ර විනිශ්චයකාරවරුන් මෙන්ම දැනට සේවයේ නිරත ඇතැම් විනිශ්චයකාරවරුන්ගේ නම් සඳහන් කරමින් නාගානන්ද කොඩිතුවක්කු අවස්ථා ගණනාවකදී ඔවුන්ගේ ක්‍රියාකලාපය ප්‍රසිද්ධියේ විවවේචනය කළේය.

ඔහු විසින් සංවිධානය කරන ලද රැස්වීම්, මාධ්‍ය සාකච්ඡා සහ රූපවාහිනී වැඩසටහන්වලදී ඉදිරිපත් කරන අදහස් අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් මෙන්ම ඉන් අධිකරණය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වීමට ඉඩ ඇති බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සමාජිකයන් අදහස් දක්වා තිබුණි.

විල්පත්තු වන සංහාරය

විල්පත්තු ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටි විලත්තියිකුලම් රක්ෂිතයේ සිදුවන බව පැවසෙන වන විනාශය සම්බන්ධයෙන් රට තුළ විශාල වශයෙන් කතාබහක් ඇති විය. එහිදී අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට ද බරපතල චෝදනා එල්ල විය.

නාගානන්ද කොඩිතුවක්කු විසින් ඊට අදාළ නඩුවක් අභියාචනාධිකරණයේ ගොනු කරනු ලැබූ අතර එය මාර්තු 22 වෙනිදා යළි විභාගයට ගැනීමට නියමිතය..

මොහාන් පීරිස්ට එරෙහිව පරීක්ෂණයක්
මොහාන් පීරීස්, කේ ශ්‍රීපවන්, ප්‍රියසාද් ඩෙප්, විජිත් මළල්ගොඩ සහ ඊවා වනසුන්දර යන විනිශ්චයකාරවරුන්ට එරෙහිව තමන් නඩු පවරා ඇති බව නාගානන්ද කොඩිතුවක්කු පැවසීය.

මහින්ද සහ ජනාධිපතිවරණය

මහින්ද රාජපක්ෂට තෙවෙනි වරටත් ජනාධිපතිවරණයට තරග කිරීමට නොහැකි බව පවසමින් නාගානන්ද කොඩිතුවක්කු 2014 වසරේදී අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළේය. ඔහු එහිදී අධිකරණයෙන් ඉල්ලා තිබුණේ අදාළ නඩුව විභාග කර අවසන් වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන ලෙසය. කෙසේ වෙතත් 2015 ජනවාරී 08 ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී නාගානන්ද කොඩිතුවක්කු එම නඩුව ඉල්ලා අස් කර ගත්තේය.

ඔහු එහිදී මාධ්‍ය වෙත කියා සිටියේ ජනාධිපතිවරණය පරාජයට පත්වන බව එවක ආණ්ඩුවේ ප්‍රධානීන් අවසන් මොහොතේ දැනගත් බැවින් මෙතෙක් විභාගයට නොගත් නඩුව හදිසියේ ම විභාගයට ගැනීම සඳහා බල කෙරී ඇති බවකි. උපක්‍රමශීලි පියවරවක් ලෙස තමා අදාළ නඩුව ඉල්ලා අස් කර ගනිමින් මහින්ද රාජපක්ෂට පරාජය වීමට ඉඩ සැලසූ බව ඔහු පවසයි. එම නඩු ගොනුව කලක් සඟවා ගෙන සිටි බවට ඔහු විනිශ්චයකාරවරයාට ද චෝදනා කළේය.

නීතිපතිට එරෙහිව නඩු පැවරීම

නීතිපතිවරයාගේ ක්‍රියා කලාපය අභියෝගයට ලක් කරමින් ඔහු චූදිතයෙකු ලෙස නම් කර නාගානන්ද කොඩිතුවක්කු විසින් නඩු කිහිපයක්ම ගොනු කරනු ලැබ ඇත. පළාත් සභා ඡන්දය පැවැත්වීම කල් දැමිය හැකි බව පවසමින් ව්‍යවස්ථාදායකයට වැරදි උපදෙස් දීම, බැඳුම්කර වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සහ ධූරයේ ගරුත්වයට හානි වන ලෙස තනතුර අවභාවිත කිරීම එම චෝදනා අතර වේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ එම පෙත්සම් විභාගය තවමත් අවසන් වී නැත.

පාම් තෙල් කන්ටේනර් නිදහස් කිරීම

මිනිස් පරිභෝජනයට නුසුදුසු පාම් තෙල් කන්ටේනර් 24 ක් ශ්‍රී ලංකාවට අනයනය කිරීම සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු විසින් 2018 වසරේ දී අභියාචනාධිකරණයේ නඩුවක් පවරන ලදි. එම කන්ටේනර් නිදහස් නොකරන ලෙස අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර තිබියදී එම කන්ටේනර් නිදහස් කර ඇති බවට පසුව මාධ්‍ය වාර්තා පළවිය. ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි අවධානයක් යොමු වූ අතර ශ්‍රී ලංකාවේ වෙළඳපොළේ ඇති තෙල් වර්ග පරීක්ෂාවක් ද සිදු විය.

බීබීසී සිංහල සංදේශය ඇසුරෙනි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button