පළකල දිනය : Sat, Mar 23rd, 2019

දඹුල්ලේ මැණික් කතාව

ආවරණයකින් තොර හිස් මතට ඊයම්බරු පරිද්දෙන් හිරු රැස් පතිත වේ. සිතෙහි ‍දොම්නස ඇතිකරවන භූමියේ තැනින් තැන වූ ගල්වලින්ද සුළඟේ බලපෑම නිසා නැවී ගිය කෙටි පඳුරුවලින්ද නැඟෙන්නේ කාෂ්ටක බවකි. කෙටි සහ දැඩි ඒ නමුත් බරැති වියළි තණකොළ විශේෂයක් බිම වැවී තිබිණි. පස බෙහෙවින් ශුෂ්කය, බොරලු සහිතය. කොතැනකවත් ජලය නොතිබිණි. සාමාන්‍ය කාලවලදී නිතර දෙවේලේ ගම්මුන් එහා මෙහා ගිය මහ පාර දැන් භාවිතයට ගන්නේ අල්ප පිරිසකි.

දඹුල්ලේ සිට බකමූණ දෙසට දුර පිළිබඳව නොපැහැදිලි හැඟීමකින් මෙම මඟේ ගමන් ගන්නා කාට වුව බලකොටුවක් පරිද්දෙන් අෑත පෙනෙන ගලක් වේ. ඒ වෙත ළඟා වීම සඳහා පැය කීයක් ඇවිදිය යුතුද යන්න ගණනය කළ යුතු නොවේ. අවට ගම්මු නම් කියන්නේ එහි ළඟා වීම සඳහා බැද්ද මැද්දෙන් වැටුණු කෙටි මං ඇති බවයි. මෙම භූමිය තවදුරටත් සුවිශේෂී වන්නේ මැඩගස්කර පොළොවෙන් හමුවුණු අකුමැරියන් වර්ගයේ මැණික් ගල්වලටත් වඩා මෙම පොළොවෙන් හමුවන අකුමැරියන් ගලට බොහොම හොඳ ඉල්ලුමක් ඇති නිසාය. අකුමැරියන් ගල හමුවීම ඉතා දුර්ලභය.

එහි ඇති සුමට, දෘඪතාව නිසා ජපානය සහ ඇමෙරිකාව ඊට අමතරව චීනය යන රටවලද අකුමැරියන් සඳහා වැඩිපුර ඉල්ලුමක් තිබේ. අකුමැරියන් ගල ගල් කුලයක් තුළට වද්දා ගත්තොත් අයත් වන්නේ බේරියල් කුලයටය. නිල් හා කොළ පාට මිශ්‍රිත නිසා මුහුදු වතුර යන්න ලතින් වචන මඟින් සම්පිණ්ඩනය වී අකුමැරියන් යන්න සෑදී ඇත. ලතින් භාෂාවෙන් ඇක්වා යන්න වතුරය. මැරියන් යන්න මුහුදය. නිල් සහ කොළ සම්මිශ්‍රණය වාග් මාලාව අතරින් පොළාපැන ඇත්තේ අකුමැරියන් ලෙසය. අප මේ සිටින බිම්කඩ අකුමැරියන් තිප්පොළකි.

ස්ථානය පිළිබඳ හැඳින්වීමක් කළහොත් දඹුල්ල, නිකවටවන, බඹරගලයාය ය. (ඊ-447). පට්ටම් වැටිච්ච පොලු කිහිපයක් සහ රවුම් අකුමැරියන් ගල් මෙම භූමියෙන් මතුවන්නට ගෙන දැනට මාස දෙකකට නොවැඩිය. කාෂ්ටක බව නිසා මෙම පොළොවේ අඟල් 6ක් දුරට ඇත්තේ පස් තට්ටුවකි. ඊට පස්සේ කළු කට්ට තට්ටුවකි. අඩි එකහමාරකින් අනතුරුව අකුමැරියන් මතුව තිබේ. මෙම ඉල්ලම අක්කර භාගයක් පුරා පැතිර ගොස් ඇතැයි පැවැසේ. මෙම භූමියෙන් අකුමැරියන් මතුවීම පිළිබඳව වෘත්තාන්තය සාධාරණීකරණය අයුරින් පහදන්න නම් අතීතයට යා යුතුය. අකුමැරියන් මැණික් හමුවීමේ වාසනාවන්තයා ආයුබෝ මුදලාලිය. ආයුබෝ මුදලාලි අවුරුදු ගණනාවක් තිස්සේ සිදු කළේ එළහරක් මස් කඩයට දැක්කීමය. එළහරක් මස් කඩයට දැක්කූ ආයුබෝ මුදලාලිගේ පෙර පින මතුව ඇත්තේ අකුමැරියන් හරහාය.

දඹුල්ල, තමන්කඩුව කඳුවැටිය පාමුල පිහිටි කිරිඔය නිම්නයේ සුදු පඩියන් ගල් බහුල යැයි කියැවේ. මැණික් සඳහා ඉහළ මිලක් නොතිබූ අයුරු මුල් අවධියේදී පඩියන් ගල් කිලෝ එකක මිල රුපියල් හාරසියයකි. ඒ මීට වසර පහළොවකට පෙරාතුවය. දැන් වනවිට පඩියන් කිලෝ එකක් රුපියල් ලක්‍ෂ හතහමාරකට වැඩිය. ඒ පෙර සඳහන් කළ රටවල් මූලික කර ගනිමින් ලෝක වෙළෙඳපොළේ පඩියන් ගල්වලට ඇති ඉල්ලුම වැඩි නිසාය. ඒ නිසා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මැදිහත් වී මයිලැත්තාව කනත්තාව භූමිය වෙන්දේසියේ දමන්නේ සුදු පඩියන් ඉල්ලම මතු කර ගැනීමටය. ඒ මීට වසර තුනකට පෙරය.

වෙන්දේසි කළ මයිලැත්තාව කනත්ත භූමියෙන් ඊට පෙරාතුව හමුව තිබුණේ ග්‍රෑම් දහය, විස්ස අතර ප්‍රමාණයේ පඩියන් ගල්ය. වෙන්දේසියෙන් පසුව අඩි හැත්තෑ පහක් ගැඹුරට කැණීම් කළ විට කිලෝ 20, 30 ගල් හමුව තිබේ. සුදු පඩියන් එක්ක කහ පාට, කොළ පාට සෆායා ගල් ලැබුණද මයිලැත්තාව නිකවටවන මිනිස්සුන්ගෙන් මැණික් මුදලාලිලා ඒ ගල් මිලට ගෙන ඇත්තේ කහ පඩියන්, කොළ පඩියන් ලෙසය. ඒ එම පඩියන් කොරන්ඩම් කුලයට අයත් මැණික් කියා නොදැනගෙනය. මේ පිළිබඳව නිවැරැදි අවබෝධයක සිට ඇත්තේ ආයුබෝ මුදලාලි පමණි. පට්ටම් වැටිච්ච මේ අපූරු මැණික් පොලු ටික සුදු පඩියන්වලට වඩා වටිනවා යැයි කියා හරියටම දැනගත්තේ ඔහුය.

මීට වසර පහළොවකට පෙර මඩකළපුව ප්‍රදේශයේ සිට නිකවටවන ගමට පැමිණි ආයුබෝ මුදලාලිට මෙම මැණික් ඉඩම ලැබෙන්නේ සිය නැන්දම්මාගෙනි. ඉඩම සැබැවින්ම රජයේ ඉඩමකි. දිගු කලක් තිස්සේ එම ඉඩමේ ලොකු ලූනු වගාව සහ වෙනත් වගා සිදු කර තිබේ. වගා බිමේ පොළොවෙන්, පොළොව මතුපිට තිබී සුදු පඩියන් හමුවුණු පසු ඔහු ඉල්ලම් හෑරීම සිදු කර ඇත්තේ රාත්‍රි කාලයේය. රාත්‍රි කාලයේ හොර රහසේ සිදුවන එම කටයුත්ත සඳහා ඔහු තම අසල්වැසියන් හෝ මොහොමඩ් සල්මාන් සහ ඉල්ෆාන් සම්බන්ධ කර ගන්නේ කාෂ්ටක පොළොව මත පතල් බැසීම අසීරු නිසාය.

ඉඩමේ තැනින් තැන හාරා ගන්නා ලද ඉල්ලම් පස් අතරින් සොයාගන්නා කුඩා සුදු පඩියන් විකුණා මුදල් සොයාගෙන එම මුදල් සම සේ පිරිස අතර බෙදාගෙන ඉතාමත් සමඟියෙන් පඩියන් කැණීමේ ජාවාරම සිදු කිරීමට ආයුබෝ මුදලාලි දක්වා ඇත්තේ ඉමහත් සමත්කමකි. නමුත් හිටිහැටියේ මීට මාස දෙකකට පමණ පෙර, පෙර කිසිදා නොදුටු පාට ගල් කෑලි ටිකක් ලැබීමත් සමඟ ආයුබෝ මුදලාලි වෙනස්ම පුද්ගලයෙක් බවට පත්වේ. ගල් විකුණා ලැබෙන ලාභය සමව බෙදා දෙන බවට මොහොමඩ් සල්මාන් ඇතුළු සිය සගයන්ට ලබාදුන් පොරොන්දුව කඩකර ආයුබෝ මුදලාලි වෙනම ගමනක් යෑමට ලක ලැහැස්ති වේ.

‘මහත්තයා මම ගල්වල ෆොටෝ දෙන්නම්. මේවා හම්බ වුණේ අපි හාරනකොට තමයි. ඉඩමේ අයිතිකාර එක්කෙනා එක්ක තමයි අපි හෑරුවේ. මුලින්ම අපට කිව්වා මේ ඉඩමේ පතල් බහින්න ලයිසන් තියෙනවා කියලා. අන්තිමට බලනකොට පතල් බහින්න ලයිසන් එකක් නැහැ. කරන්න දෙයක් නැති වුණාම හම්බ වුණු ගල් ටික හොරෙන් විකුණුවා. ඊට කලින් හම්බ වුණු ගල්වලට ලක්‍ෂ 16ක් විතර ලැබුණා. අපි හාරද්දී හම්බ වුණු නිල් පාට, කොළ පාට ගල් කෝටි තුනකට මුදලාලිලා වික්කා කියලයි ආරංචිය. පොලු වගේ දිග මැණික් කෑලි. ඒවා ලෝකයේ මෙච්චර කාලයකට හම්බ වෙලා තියෙන්නේ මැඩගස්කරයෙන් විතරයි.

අපි හරක් වගේ වැඩ කරපු හින්දා මුදලාලි අපේ ගල් ටික හොරකම් කරලා කෝටිපති බයර් කෙනෙක් හරහා කෝටි තුනකට විතර විකුණලා කියලයි කියන්නේ. මොනවද ලියාපු පත්තර කෑල්ලක් තමයි අපට ලයිසන් එක කියලා පෙන්නලා තියෙන්නේ.’ ආයුබෝ මුදලාලිගේ රැවැටීමට හසුවීමෙන් පසුව කෝපයෙන් සිටි මොහොමඩ් සල්මාන් එලෙස පඩියන් පිළිබඳව කරුණු කාරණා පවසා සිටියේ රැවැටීමටත් වඩා එහාට ගිය සිද්ධීන්ටද ඔවුන්ට මුහුණ දීමට සිදුවූ නිසාය. එයින්ද එහා ගිය එක් සිදුවීමක් වන්නේ මොහොමඩ් සල්මාන් ඇතුළු පිරිස රාත්‍රි කාලයේ පඩියන් සොයා කැණීම් සිදු කරමින් සිටියදී ඔවුන්ද පොලිසියට හසුකර දීමට ආයුබෝ මුදලාලි කටයුතු කිරීමය.

මොහොමඩ් සල්මාන් එල්ල කරන චෝදනා ගැන ආයුබෝ මුදලාලිටද කියන්න යමක් තිබේ. ‘මම මේ ඉඩමේ අවුරුදු ගණනාවක් ගොවිතැන් කරනවා. මම ගොවිතැන් කරන මේ ඉඩම ශාන්ත මුදලාලිට උකස් කරලයි තියෙන්නේ. මගේ පවුල අසනීපයෙන් නිසා මම ඉඩම උකස් තිබ්බා. මොහොමඩ් සල්මාන්ලා මගේ ඉඩමේ ඉල්ලම් හාරන්න ආවේ බලෙන්. බිරිය අසනීපයෙන් හින්දා එහෙම දෙයක් කරන්න එපා කියලා මම සල්මාන්ට කිහිප වාරයක් කිව්වා. දඹුල්ල පොලිසියේ පැමිණිල්ලකුත් දැම්මා. බැරිම තැන තමයි පොලිසියේ ලොකු මහත්තයාට කතා කරලා ඒ අයව නීතිය ඉදිරියට පැමිණෙව්වේ.

ආයුබෝ මුදලාලිගේ සහ මොහොමඩ් සල්මාන්ලාගේ ගැටුම අතරේ සැඟවුණු රහස් ටිකක්ද තිබේ. ආයුබෝ මුදලාලිගේ කතාව ඇසූ විට ඔහු අහිංසක යැයි ඔබට සිතෙනවා ඇති. ඔහුව මුණගැසුණහොත් ඔබට නොවරදවාම එසේ සිතේවි. නමුත් වෙළෙඳ ඥානයෙන් තෙම්පරාදු වී ඇති ආයුබෝ මුදලාලි ඕනෑම පුද්ගලයෙක් ඇන්දවීම සඳහා උපන් හපන්කමක් ඇති පුද්ගලයෙකි. ඔහුගේ ඉඩමෙන් වටිනා මැණික් ගල් ලැබුණු පසු ඔහු ඉඩමේ මුරට රාත්‍රි කාලයේදී සේවකයන් හයදෙනකු යොදවයි. විදුලිජනක යන්ත්‍රයක් මඟින් හතර වටේට විදුලිය සපයා පතල් බිම ආරක්‍ෂා කර ගනිමින් සිටී. මැණික් ඉල්ලම් බලා ඒ මත මඩුවක් ඉදිකර රාත්‍රි කාලයේ ඉල්ලම් හෑරීමට තරම් ඔහු දක්‍ෂයෙක්ද වෙයි.

ආයුබෝ මුදලාලිගේ මේ අපූරු ඉල්ලම් හෑරීම ගැන දැනගන්නා මයිලැත්තාව ගමේ පතල්කරුවන් පිරිසක් රාත්‍රියේ පතල් භූමියට කඩාපැන මුරකරුවන් ගස් බැඳ ඉඩමේ ඉල්ලම් පස් රැගෙන ගියත් ආයුබෝ මුදලාලි ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කරන්න නොයන්නේ සිදුවූ පාඩුවට වඩා මෙම සිදුවීම පොලිස් පොතේ සටහන් වුවහොත් සිදුවීමට ඇති පාඩු ඉමහත් නිසාය. දඹුල්ල මෙම පතල් භූමියෙන් අකුමැරියන් වර්ගයේ ගල් හමුවී ඇති බවට මැණික් ගල් ගැනුම්කරුවන් අතර ආරංචිය පැතිර යන්නේ ඉතා ඉක්මනිනි. ඒ අනුව මහ පරිමාණ ගැනුම්කරුවන් සූක්ෂ්ම මෙහෙයුමක් සකසන්නේ මෙම පතල් භූමියට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හරහා කැණීම් බලපත්‍රයක් ලබාගැනීමටය.

ගැනුම්කරුවන් ඉතා විශාල මුදල් කන්දරාවක් විය පැහැදම් කර පතල් බිම මිලට ගැනීමට විමසනු ලබයි. ඔවුන් ලංකාවේ නම් දැරූ මැණික් මුදලාලිලාය. ඉඩමට කැණීම් බලපත්‍රයක් සාදනවා නම් ඒ සඳහා ඔප්පුවක් අවශ්‍යය. රජයේ ඉඩමක් නම් බලපත්‍රයේ පිටපතක් අවශ්‍යය. එම කරුණු දැනගැනීමට එක්තරා මැණික් ගැනුම්කරුවකුගේ මෙහෙයවීම මත අපූරු මෙහෙයුමක් දියත් වේ. ඒ නාවුල ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් මෙන් පෙනී සිටිමින් ආයුබෝ මුදලාලි බියවද්දා ඉඩමේ තොරතුරු ලබාගැනීමය.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිල රථයට සමාන රථයක් යොදා ගන්නා එම පිරිස අකුමැරියන් ඉල්ලම මතුවුණු භූමියට පැමිණ භූමි පරීක්‍ෂාව පවා සිදු කරන්නේ තමුන් ජාතික මැණික් ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් ලෙස හඳුන්වා දෙමිනි. ඒ සඳහා සැබැවින්ම පැමිණෙන්නේ රත්නපුර ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරියකුගේ මල්ලීය. ජංගම සේවා දිනවලදී දින රහිතව නිකුත් කරනු ලබන කැණීම් බලපත්‍ර මැණික් ව්‍යාපාරිකයන් සතුව ඇත. ඉඩමේ ලියැවිලි ඇත්නම් එම දින රහිතව නිකුත් කරනු ලැබූ කැණීම් බලපත්‍රයට දිනයක් දාගැනීම සරල කාරණයකි. නමුත් ආයුබෝ මුදලාලිගේ ඉඩමේ බලපත්‍රය ලබාගැනීමට තරම් රත්නපුරයෙන් පැමිණි පිරිස සමත්කමක් නොදක්වයි.

ඉල්ලම් හාරමින් සිටියදී පොලිසියේ අතටම අල්ලා දුන් මොහොමඩ් සල්මාන් ඇතුළු පිරිසගේ අරමුණ හීන් නූලෙන් ඉල්ලම් ගොඩදාගෙන තනිපංගලමේ ව්‍යාපාරය සිදු කරනා ආයුබෝ මුදලාලි කොටුකරගැනීමය අදාළ බලධාරීන්ට මොහොමඩ් සල්මාන් ඇතුළු පිරිස අවශ්‍ය තොරතුරු ලබාදුන්නද ආයුබෝ මුදලාලිට නීතිය ක්‍රියාත්මක වන්නේ මන්දගාමීවය. මේ අතර පොලිසියේ ඉහළ නිලධාරියකුගේ ආරක්‍ෂාව යටතේ ඩිෆෙන්ඩර් රථ කිහිපයකින් මහනුවර ප්‍රදේශයේ සිට එක්තරා ප්‍රභූවරයකු ඉල්ලම් පෑදී ඇති භූමියට පැමිණ ඇති බව දැනගන්නා පසු තොරතුරු ලබාදෙන පිරිසද ඉන්පසු පොලිසිය දෙස බලන්නේ සැකයෙනි.

මීට සති කිහිපයකට පෙර තමන් ඇතුළු පිරිස හාරමින් සිටි ඉල්ලම් පස් ගෝනි හය ගැන මොහොමඩ් සල්මාන් ඇතුළු පිරිසට සැකසංකා ඇති වන්නේ මෙම ඉහළ පොලිස් නිලධාරියාගේ මැදිහත්වීම සමඟය. ඉල්ලම් පස් ගෝනි හයම උසාවියට ඉදිරිපත් කර ඇද්දැයි සොයා බලන මොහොමඩ් සල්මාන්ට දැනගන්නට ලැබෙන්නේ ප්ලාස්ටික් බෝතලයක බහා මැණික් කිහිපයක් පමණක් උසාවියට ඉදිරිපත් කර ඇති බවය.

කරුණු කාරණා නිවැරැදිව පෙළගස්වා ගන්නා විට මෙම අතිදුර්ලභ මැණික් ඉල්ලම මතු වී ඇති ඉඩම රජයේ ඉඩමකි. එම ඉඩම් හුඹස්ගමුව ජනපදය යටතේ ඉඩම් කච්චේරි පවත්වා 1983 වර්ෂයේ බෙදා දුන් ඉඩම්ය. ඉල්ලම මතු වී ඇති ඉඩම තම බිරියගේ අසනීප තත්ත්වය මුල්කර ගනිමින් යැයි පවසා ආයුබෝ මුදලාලි උකස් තබන්නේ ව්‍යාජ ඔප්පුවක් සකස් කරගෙනය. හුඹස්ගමුව ජනපදයේ රජයේ ඉඩම් විකුණා ඇති බැව් මූලික විමර්ශන වාර්තාවෙන්ද තහවුරු වී තිබේ. එම ඉඩම් සංචාරක හෝටල්කරුවන්ට හා මහ පරිමාණ වගාකරුවන්ට ව්‍යාජ ලේඛන මඟින් ලබාදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (පී.ඒ./ඩී.සී.එල්./පී./6273/16) මාතලේ පොලිස් අධිකාරි කාර්යාලය (එස්.පී./එම්.එල්./1013/2016) යටතේ පරීක්‍ෂණ පැවැත්වේ. මෙවැනි පසුබිමක් තුළ මැණික් ඉල්ලම් මතු වී ඇති භූමිය පරීක්‍ෂා කිරීමට දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පැමිණ ඇතත් එම පරීක්‍ෂාවෙන් අනතුරුව එම මැණික් ඉල්ලම ගැන භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශයට හෝ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත දැනුම් දීමට ඔවුන් කටයුතු කර නැත.

දඹුල්ල සහකාර පොලිස් අධිකාරි එස්.බී. හීන්කෙන්ද මහතා පවසා සිටියේ නිකවටවන ගමේ අනවසරයෙන් කැණීම් කටයුතු සිදුවන බවට ලැබුණු මහජන පැමිණිලි මත ඒ සම්බන්ධයෙන් තම නිලධාරීන් විශේෂ විමර්ශනයක් සිදු කළද එම කැණීම් කටයුතු සිදුවන භූමිය රජයේ ඉඩමක් බවට මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවය. රජයේ ඉඩමක මතුවන මැණික් ඉල්ලම් ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කර, වසරක උපරිම කාලයක් යටතේ පතල් කැණීමකට අවසර ලබාදීම නීත්‍යනුකූල ක්‍රමවේදය වේ. එම ක්‍රමවේදය කඩිනමින් ක්‍රියාත්මක නොවන පසුබිමක මේ වන විට නිකවටවන ගමේ ජනයා අතර හටගෙන ඇති සැකය වන්නේ මෙම වටිනා මැණික් නිධිය සහිත ඉල්ලම කෝටිපති ව්‍යාපාරිකයකුට මිලදී ගැනීමට අවශ්‍ය පසුබිම සකසා දී අදාළ බලධාරීන් එම ව්‍යාපාරිකයාගෙන් එකවර මුදල් කුට්ටියක් ලබාගැනීමට කටයුතු කරනවා යන්නය.

මේ අතරතුර මෙම මැණික් ඉල්ලම සඳහා පාතාල සාමාජිකයන්ගේ අනුදැනුම යටතේ තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක වේ. ඒ සඳහා පෙරමුණ ගෙන සිටින්නේ දඹුල්ල ප්‍රදේශයේ පාතාල නායකයකු වන කුඩු මංජු නමැත්තාය. කුඩු මංජු නමැත්තා මාකඳුරේ මධුෂ්ගේ අතිශය හිතවතෙකි. කුඩු මංජු සහ මාකඳුරේ මධුෂ් කලක් නව මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඩ් රැඳවියන් ලෙස සිට තිබේ. එම දැනහැඳුනුම්කම මත ක්‍රියාත්මක වන කුඩු මංජු සහ ඔහුගේ සහචරයන් මෙම පතල් භූමිය කරා පැමිණෙන කෝටිපති මැණික් ව්‍යාපාරිකයන්ගෙන් අයුතු ලෙස මුදල් කප්පම් ලෙස ලබාගැනීමට කටයුතු කරමින් සිටී.

මහ පරිමාණ මැණික් ව්‍යාපාරිකයන් මෙම කප්පම්කරුවන්ගෙන් ගැලවීම සඳහා උසස් පොලිස් නිලධාරීන්ගේ සහාය අපේක්‍ෂා කරනවා යැයි කියැවේ. සුදු පඩියන් පාට පඩියන් පත් බවට පත් කිරීමේ තාක්‍ෂණය ලංකාව තුළ නොමැති විටෙකදී මෙතෙක් කල් හමුවූ සුදු පඩියන් පාට පඩියන් බවට පත් කර ඇත්තේ ඇමෙරිකාවට රැගෙන ගොස්ය. එලෙස ඇමෙරිකාවට රැගෙන යන සුදු පඩියන් කාන්තාර භූමියක වළ දමා ලේසර් තාක්‍ෂණය මඟින් පාට පඩියන් බවට පත් කරනවා යැයි පැවැසේ. සුදු පඩියන් ඇමෙරිකාවට රැගෙන ගොස් පාට පඩියන් බවට පත් කිරීමේ ජාවාරමේ අතරමැදියා බවට පත්ව සිට ඇත්තේ ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන දේශපාලනඥයෙකි.

අධික මුදලක් වියදම් කර සුදු පඩියන් පාට පඩියන් බවට පත් කිරීම පසෙකලා දඹුල්ලෙන් මතු වූ මේ ස්වාභාවික පාට පඩියන් ඉල්ලම කෙරේ ඔහුගේ අවධානයද යොමුව ඇතැයි පැවැසේ. මහ පොළොවෙන් මතුවුණු ධන නිධානයක් තමන් සතුකර ගැනීම සඳහා වලිකන පාතාලයන් හා දේශපාලනඥයන්ගේ කියුම් කෙරුම් එළැඹෙන දින කිහිපයේදී නිවැරැදිව දැනකියා ගැනීමට හැකි වේ යැයි යන්න දඹුල්ල කළුගඟ මුල් කරගෙන මැණික් කර්මාන්තයේ නිරත සාමාන්‍ය පතල් හිමියන්ගේ අදහසය.

– ප්‍රභාත් අත්තනායක (මව්බිම)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button