පළකල දිනය : Sat, Mar 30th, 2019

රඟපෑමට ඇවිත් මාස 2යි – ජනපි‍්‍රය නළු ලැයිස්තුවේ 2කට ආවේ කොහොමද?

දෙරණ සිහින තරු මාවතේ ඇවිද ආ නවකයන් අතර ඇතැම් අය අද වෙද්දී විවිධ භූමිකා නිරූපණය කරනවා. ඇතැමුන් ජනපි‍්‍රය ගායකයන් වෙද්දී තවත් අය ජනප‍්‍රිය නළුවන් බවට පත්වෙලා. දෙරණ නාලිකාව මේ විදියට රංගනයට එකතු කළ සිහින තරු අතර අලූත්ම සිහින තරුව වන්නේ ලවන් අභිෂේක්.

Derana Dream Star හය වැනි අදියර සඳහා තරග වැදුණු ලවන්ගේ Dream Star සිහිනය එදා අවසන් 14 අතරේදී බොඳව ගියා. හැබැයි මේ දිනවල විකාශය වන ”සංගීතේ” ටෙලි නාට්‍යය හරහා නළුවෙකු විදියට කළඑළි බහින්නට ඔහුට ටී.වී. දෙරණ නාලිකාව විසින් අවස්ථාව ලබාදී තිබෙනවා.

ලවන් අභිෂේක් කතාබහට එකතු වන ප‍්‍රථම අවස්ථාව තමයි මේ. ඒ නිසා මුලින්ම ”ලවන්” ගැන පුංචි හැඳින්වීමක් කරලම මේ කතාව පටන් ගමු.

මගේ ගම ගම්පොළ. ඉගෙන ගත්තේ ගම්පොළ සහිරා විදුහලේ. දැන්නම් ඉන්නේ මහරගම. Dream Star 6 වැනි අදියර තමයි මගේ පළමු හා එකම රියැලිටි තරගය වුණේ. ඉන්පසුව මම වෙළෙඳ දැන්වීම් කිහිපයකට පෙනී සිටියා. පෞද්ගලික ආයතනයක රැකියාවකුත් කළා. දැන්නම් රැකියාවට යන්න කාලයක් නැහැ. සම්පූර්ණ කාලය වෙන්කරලා තියෙන්නේ ”සංගීතේ” ටෙලි නාට්‍යය වෙනුවෙන්.

ඔබේ පවුල් පසුබිම තුළත් සංගීතයට නැඹුරු වූ පරිසරයක් තිබුණාද?

මගේ තාත්තා (සුමිත් ආනන්ද) සංගීතයට ගොඩක් ළැදියි. තාත්තට බෑන්ඞ් එකකුත් තිබුණා. හැබැයි ගමෙන් කොළඹ ඇවිත් එය දියුණු කරගන්න වැඩිය උනන්දු වුණේ නැහැ. අම්මා (නයනි) නම් සාමාන්‍ය කෙනෙක්. මගේ අයියලා දෙන්නාත් (ශානක උදිෂ සහ දිනිත්) සංගීතයට දක්‍ෂයි. Dream Star තුන්වැනි අදියරේ දෙවැනි ස්ථානය හිමිවුණේ ශානක උදිශ කියන මගේ අයියට. ”සංගීතේ” ටෙලි නාට්‍යයේ ”රොකී” කියන චරිතයට රඟපාන්නෙත් මගේ අයියා.

ගායකයෙක් වෙන්න ඇවිත් නළුවෙක් වෙන්න ලැබුණු එක ගැන අද මොකද හිතෙන්නේ?

Dream Star තරගයේ අවසන් 14න් ඉවත් වුණාට පස්සේ මම ඊළඟ අදියරට උනන්දු වුණේ නැහැ. හැබැයි වෙළෙඳ දැන්වීම් නම් කීපයක්ම ලැබුණා. ඔය අතරේ දෙරණ නාලිකාවෙන් මට කතා කළා ටෙලි නාට්‍යය තිර පරීක්‍ෂණයකට. තිර පරීක්‍ෂණයෙන් තේරිලා ටෙලි නාට්‍යයේ මහීගේ චරිතයට මාව තෝරා ගත්තා. මම ඒ වෙලාවේ දැනගෙන හිටියේ නැහැ ඒ ප‍්‍රධාන චරිතය බව. පස්සේ තමයි ඒක දැනගත්තේ. එ් වෙලාවේ නම් මට කියාගන්න බැරි විශාල සතුටක් ඇති වුණා.

රයිගම් ටෙලි සම්මාන උළෙලේදී ඔබ ජනපි‍්‍රය නළුවාටත් නිර්දේශ වුණා නේද? කොහොමද මේ තරම් කෙටි කාලයක් තුළ ඒ වගේ ජනපි‍්‍රයත්වයක් ලැබුවේ?

”සංගීතේ” විකාශය වෙන්න පටන් අරන් තවම මාස දෙකකට වඩා නැහැ. ඒ කෙටි කාලය තුළ ජනපි‍්‍රය නළුවන්ගේ ලැයිස්තුවට ආව එක ගැන ඇත්තටම මට සතුටුයි. එ් වගේම පුදුමයි.

ඔය කියන පුදුමය නිසා නේද සමාජ මාධ්‍ය ජාලා තුළ ඔබව විවේචනයට ලක්වී තිබුණේ?

මමම එස්.එම්.එස්. ගහගෙන මේ විදියට ඉදිරියට ආවා කියලා සමහරු ෆේස්බුක් එකේ දාලා තිබුණා. හැබැයි එහෙම එස්.එම්.එස්. ගහන්න තරම් මහා ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි මම. තවත් අය කියලා තිබුණා මෙයාට වඩා දක්‍ෂ නළුවෝ ඉන්නවා කියලා. ඇත්ත මට වඩා දක්‍ෂ නළුවොත් ගොඩක් ඉන්නවා. එ්ත් මේ එස්.එම්.එස්. ලැබුණේ දක්‍ෂතම නළුවට නෙවෙයි ජනපි‍්‍රය නළුවාට. මේ කෙටි කාලය තුළ ”සංගීතේ” ටෙලි නාට්‍ය වටා ගොඩක් අය එකතු වුණා. එ් අයගේ මනාපය තමයි මට ලැබුණේ.

එ්ත් ජනපි‍්‍රය නළු සම්මානය ඔබට ලැබුණේ නැහැ.

එය රවින් අයියට ලැබෙන බව මම කලින්ම දැනගෙන හිටියා. මොකද එයාට මට වඩා ලොකු පේ‍්‍රක්‍ෂක ආකර්ෂණයක් තියෙනවා.

සංගීතේ රූගත කරන අතරතුර සිදුවූ අමතක නොවන අත්දැකීම් එහෙම තිබෙනවාද?

මහී සහ කලණ අතර ඇතිවන සටන රූගත කරද්දී කලණගේ චරිතයට රඟපාන ප‍්‍රමොද්ටයි මටයි දෙන්නටම ඇත්තටම පහරවල් වැදුණා. එ් වෙලාවේ එයාගේ පහරකට මගේ තොල පුපුරලා ලේ පවා ආවා.

පුංචි තිරයට එක්වූ අලූත්ම පේ‍්‍රමවන්තයෝ සැබෑ චරිතයේදීත් පේ‍්‍රමවන්තයකු කියලා දැනගන්න රසික පිරිස කැමැති වෙයි.

දැනට ඒක රහසක්. ඉදිරියේදී ඒ ගැන කියන්නම්.

– ආරියවංශ කුලතිලක

  • 1.7K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button