පළකල දිනය : Sat, Mar 30th, 2019

අත් දෙකත් නෑ, කකුලකුත් නෑ, ඉතිරි කකුලෙනුයි පෑන ගත්තේ

රශ්මි ගැන ලියන්නට මා සිතට නැඟුණේ මෙයට දින කිහිපයකට උඩදීය. සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ දීප්ති මට දුන් තොරතුරක් නිසාය.

“මේ බලන්න මේ ළමයා, අත් දෙක විතරක් නොවෙයි කකුලකුත් නැහැ. ඒත් ඒකපුද්ගල සංගීත ප්‍රසංගයක් පවත්වනවා. ලියන්නකො ඒ ළමයා ගැන” දීප්ති මට ඒ තොරතුර දුන්නේ නෝක්කාඩු ස්වභාවයෙන් නෝක්කාඩුවකට මෙනි.

ඇගේ ඉල්ලීම මම සතුටින් පිළිගත්තත් අවිවේකී කම නිසාම දින දෙක තුනක් ප්‍රමාද විණි.

සිකුරාදා උදේම දීප්ති යළිත් මට දුරකථනයෙන් කතා කළාය.

“ඔයා ගියාද අර ළමයා හමුවෙන්න. ඔන්න එයා ගැන අද තවත් කතාවක්”

සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම පාස් ලු. ගියේ නැත්නම් දැන්වත් යන්න. ආබාධ ඇතිව ජීවිතය ජයගත් ඒ දරුවා රටටම නොවෙයි ලෝකෙටම වටිනවා”.

“අනේ මට යන්න බැරිවුණා. මම දැන්මම යනවා.”

ඇයට සමුදුන්නේ මාතින් සිදුවූ ප්‍රමාදය ගැන කනගාටුව ප්‍රකාශ කරමිනි.

නමින් රශ්මි නිමේෂා ගුණවර්ධන නම් වූ ඇය මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විෂයයන් නවයටම ‘ඒ’ සාමාර්ථ ලැබූ 9413ක් අතරට නොවූවත් ‘ඒ’ සාමාර්ථ අටක් සහ ‘බී’ සාමාර්ථයක් සහිතව සමත්ව සිටියාය. එසේ වුවද ඇය අතිශයින්ම සුවිශේෂීය. ‘බී’ සාමාර්ථය දෙමළ බස සඳහාය.

ඇය උපතින්ම ආබාධිතය. සුළුපටු ලෙස නොව බරපතළ ලෙසටය. දෙඅත් නැතිවා පමණක් නොව පා යුගලින්ද ඇත්තේ එකක් පමණය.

එහෙත් ඇය දෑත් දෙපා ඇති සිසු සිසුවියන් 556,984ටම වඩා සුවිශේෂී වූයේ ඇයට ඇවිද යන්නට බැරිවා විතරක් නොව ලියන්නටද දෙපයක් නොමැති වූ නිසාය.

ඇය ගතින් ආබාධිත වුවත් සිතින් හැමටම වඩා ක්‍රියාකාරීය. එනිසාම ඇය විභාගය පමණක් නොව ලොවම ජය ගන්නට තරම් දිරිය සිත් ඇත්තියකි. ඇයගේ පැතුමද ‘මම ලොව ජය ගනිමි’ යන්නය.

දීප්තිගේ දුරකථන ඇමැතුම ලද වහාම මම දෙවරක් නොසිතාම ඇය සොයා යන්නට තීරණය කළෙමි. මා ඇහැළියගොඩ ඇය ඉගෙනගත් ජාතික පාසලට යන විට තරමක් පමාව තිබිණි.

“රශ්මි දුවද? ආ.. එයා ඉඳලා දැන් ගෙදර ගියා. ගේ තියෙන්නෙ අවිස්සාවේල්ලේ ටවුමට ටිකක් මෙහා මා‍ෙදාළ. දැන්නම් ගෙදර ඇති.”

නියෝජ්‍ය විදුහල්පති විජේරත්න මහතා මට ඒ තොරතුරු දුන්නේ රශ්මිගේ පියාගේ දුරකථන අංකයද සමඟිනි.

මම ඇය සොයා අවිස්සාවේල්ල මා‍ෙදාළ ජනසළු මාවතේ වූ ඇයගේ නිවෙස සොයා ගියෙමි.

අෑත සිටම මට ඇසුණේ සර්පිනාවක් වයනා හඬකි.

රසාලිප්ත වූ සර්පිනා හඬටද රසවත්ව නැඟෙන්නේ දැරියකගේ ගී හඬකි.

“ඒ ඇහෙන්නෙ රශ්මිගෙ ගෙදරින්. එයාගෙ ප්‍රසංගයක් තියෙනවා ළඟදි දවසක. ඒකට පුරුදු වෙනවා.”

එසේ කීවේ රශ්මිගේ නිවෙසට පාර පෙන්නන්නට මට එකතු වුණු පුංචි ගැටයාය.

සරත් ගුණවර්ධන රශ්මිගේ පියා අෑත සිටම අප එනු දැක ඉදිරියට ආවේ මුව පුරා සිනාවක් පාමිනි.

“මට විජේරත්න සර් කිව්වා. අපි ටිකක් ඉක්මනට ආවා. දුව මේ දවස්වල එයාගෙ ප්‍රසංගයකට පුරුදු වෙනවා. ඒකයි අපි ඉස්කෝලෙන් ඉක්මනට ආවේ.”

“එන්න අපි ගෙට යමු’ ඔහු සුහද සිතින් ඇරැයුම් කළත් අපි මඳකට ඉවසුවේ එය රශ්මිගේ සංගීත පුහුණුවට බාධාවක් විය හැකි නිසාය.

“කමක් නැහැ, අපි මෙතැන ටිකක් හිටිමු. පස්සෙ දුවට කතා කරමු” මම ඔහුගේ ඇරැයුම පිළිගනිමින්ම ඉස්තෝප්පුවේ අසුන් ගත්තෙමි.

රශ්මි මගෙ පොඩි දුව. අම්මා තමයි සර්පිනාව ගහන්නෙ. දුව සින්දු කියනවා. එයා ඒක හුඟ කාලෙක ඉඳලාම කරනවා. දුව ගායනයට හරි දක්ෂයි. දැන් ප්‍රසංග තුනක්ම කළා.

එතකොට එයාගෙ වයස. දැන් එයාට 16 වුණා විතරයි. උපන්නෙ 2002 දෙසැම්බර්.

“අපේ ගම දෙහිඕවිට දෙල්ඔළුව. දුව උපතින්ම ආබාධිතයි. අත් දෙක විතරක් නොවෙයි එයාට උපතින්ම කකුලකුත් තිබුණෙ නැහැ. මමත් ගුරුවරයෙක්. අම්මා සංගීත ගුරුවරියක්”

“ඒ නිසා දුව පුංචි කාලෙ ඉඳලම සංගීතයට ආසා වුණා.”

“දුවට අත් දෙකම නැතිව ලියන්න පුළුවන් වුණේ කොහොමද?”

“ඒක නම් දුවගේ උනන්දුව. ඉස්සෙල්ලාම එයා කළේ කකුලෙන් එක එක ක්‍රියාකාරකම් කරපු එක. පුංචි සන්දියේ ඒ කියන්නෙ වයස අවුරුදු තුනහමාරෙදි විතර ගෙදරට මිස් කෙනෙක් ආවා දුවට උදවු කරන්න. එයා දුවට එක එක දේවල් කරන්න කියලා දුන්නා. කකුලෙ ඇඟිලි හසුරුවලා කොළ ඉරන්න, නවන්න, උණ්ඩි කරන්න කියල දුන්නා. එයා බිම වාඩිවෙලා ඒවා කළා.

පැන්සල, පොත පුරුදු කළේ ඊට පස්සේ. මමත් පුහුණු ගුරුවරයෙක් නිසා මටත් පුළුවන් වුණා දුවට උදවු කරන්න.

ඔහොම ඉන්දැද්දි අපි දුවට කකුලක් අරගෙන දුන්නා. ටික දවසකින්ම දුව ඒ කකුල හයිකරගෙන එහෙ මෙහෙ ඇවිදින්න පුරුදු වුණා.

ඒත් එක්කම දුවගෙ සිතුම් පැතුම්වල ලොකු වෙනසක් අපි දැක්කා.

හොඳට අකුරු ලියන්න පොත පත කියවන්න එයා ඉගෙන ගත්තා.

අපි එතකොට හිටියේ කාන්තිමාලා දුවගේ උදව්වට ඇවිත් එයාට හොඳටම අකුරු වගේම වෙනත් දේවලුත් ඉගැන්නුවා.

මුලින්ම එයා ගියේ දෙහිඕවිට දෙල්ඔළුව කනිෂ්ඨයට. 2012දී ශිෂ්‍යත්වය ලිව්වා. ලකුණු 153ක් ලැබුණා. ඒකෙන් තමා ඇහැළියගොඩ කනිෂ්ඨයට ආවේ.

දුවට අත් දෙකම නැති වුණත් කෘත්‍රිම පාදය දැම්මට පස්සේ ලොකු උදේ‍යාගයක් දැනුණා. තනිවම ඇවිද ගන්න පුළුවන් වුණා. අපි දෙන්නා ගුරුවරු වෙච්ච එක විතරක් නොවෙයි එයා ඉගෙන ගත්ත පාසලටම පත්වීම ලැබුණු එක ලොකු වාසියක් වුණා.

විදුහල්පතිතුමාගේ ඉඳලා පන්ති භාර ගුරුවරු පන්තියේ යාළුාවෝ විතරක් නෙවෙයි මඟ තොටේ දකින අයත් එයාට උදවු කළා. අපි එළිමහනේ කතා කරමින් සිටින අතරතුර සර්පිනාවත් ගී නදත් නතර විය.

මුලින්ම අප හමුවට ආවේ රශ්මිගේ අම්මාය.

“මේ “මව්බිම” පුවත්පතෙන් ඇවිත් දුව ගැන හොයන්න. දුවව එක්කරගෙන එන්නකෝ. රශ්මිගේ පියා සරත් මහතා තම බිරියගෙන් ඉල්ලා සිටියේය.

ඒ වන විටත් පාසල් ඇඳුමින් සිටි රශ්මි මවත් සමඟම ඉදිරියට ආවේ සතුට ඉතිරෙන සිනාවක් පාමිනි.

පියා සමඟ කළ කතාබහ හමාර කරමින් අපි නිවෙස තුළට ආවේ රශ්මිගෙන්ම ආගිය තොරතුරු විමසමිනි.

“හුඟක්ම සතුටුයි. මම හිතුවේ නැහැ මේ වගේ ප්‍රතිඵලයක් මට ලැබෙයි කියලා. ඒත් මම මහන්සි ගත්තා උසස් ප්‍රතිඵලයක් ලබන්න. අම්මා, තාත්තා, අක්කා, වගේම මගේ ගුරුවරු මට ඒක ලබන්න උදවු කළා. ඒ වගේමයි විභාග දෙපාර්තමේන්තුව මට ලොකු අනුග්‍රහයක් දැක්වූවා. විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් ලෙස සලකලා හැම විෂයකදීම මට විනාඩි 15ක අමතර කාලයක් ලබාදුන්නා. ඒකත් මට ලොකු අනුග්‍රහයක් වුණා.

ඒ වගේමයි මට තිබුණ අධිෂ්ඨානය. මම කොහොම හරි මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා කියලා මම හිතුවා.

අම්මා, තාත්තා මා වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළා. ඒ ගොල්ලගේ මහනසියේ කැපවීම මට හොඳට දැනුණා.

මම විෂය කරුණුවලට විතරක් නෙවෙයි විෂය පරිබාහිරවත් හැකි හැම විටම ඉදිරිපත් වී දක්‍ෂකම් පෙන්නුවා.

මට තරමක් අමාරු වුණේ ධ්ඊ විෂයයි. දෙමළ විෂයයි. ඒත් ධ්ඊ වලට “ඒ” තියෙනවා. දෙමළ විෂයටත් “බී” එකක්. ඒ නිසා මම හිතුවටත් වඩා හොඳ ප්‍රතිඵලයක් මට ලැබිලා.

අනාගතය ගැන දුව මොකද හිතන්නේ. උසස් පෙළට මොනවද කරන්න හිතන් ඉන්නේ?

මම හිතාගෙන ඉන්නේ වාණිජ විෂයන්ගෙන් උසස් පෙළ හදාරන්න.

මම විශ්වාස කරනවා උසස් පෙළ විභාගයටත් මේ වගේ ඉහළ ප්‍රතිඵල ලබන්න. මට පුළුවන්. මට විශ්වාසයි ඒක එහෙම වෙයි කියලා.

මගේ බලාපොරොත්තුව කළමනාකරණය හදාරලා එතැනින් යමක් කරන්න. මම ඒ අධිෂ්ඨානයෙන් වැඩ කරනවා. මට වරදින්නේ නැති බව මට විශ්වාසයි.

මම එහෙම කියන්නේ අත්දැකීම් ඇතිව. මම ජයගත්තා. ඒ අධිෂ්ඨානය නිසායි. ඒ වගේම මගේ අරමුණ ජය ගන්න මට ඕන කමක් තිබුණා. මම එතැනට ගියා. හැමෝටම මම කියන්නෙ ගතින් දුබල වුණත් හිතින් දුබල වෙන්න එපා. අවශ්‍ය වෙන්නේ අරමුණ හා අධිෂ්ඨානය. මම එතුළින් ලොවම ජය ගන්නවා.

අපි ගෙදරට එද්දී ලස්සන කට හඬකින් සින්දු කියනවා ඇහුණා කව්ද ඒ?.

ඇය එයට එකවරම පිළිතුරු නොදුන්නාය. ඒ වෙනුවට ඇය නිරහංකාර ලෙස සිනාසුණාය.

පිළිතුරු දුන්නේ ඇගේ මවයි. දුව තමා සින්දු කිව්වෙ. එයාගෙ ඒකපුද්ගල ගීත සන්දර්ශනයක් තියෙනවා අප්‍රේල් 4 රත්නපුර පුස්තකාල ශාලාවෙ. දුව ඒකට පුරුදු වෙනවා.

මෙයට කලිනුත් එයා සංගීත වැඩසටහන් තුනක් කළා. එයාගෙම සින්දු එයාගෙ හඩින්ම කියනවා.

මහින්ද බණ්ඩාර, නදීක ගුරුගේ, නවරත්න ගමගේ, රුවන් දිසානායක වගේ ප්‍රවීණයෝ තමා එයාට සංගීතය සපයන්නෙ.

ඇගේ ගායන හැකියාව තවත් පිටුවකට ගෙනයායුතු කතාවකි. එනිසා අපි ඇයට සමුදුන්නේ ඇය වැනි දරුවන් ලොවටම ආදර්ශයක් බවට පසක් කර ගනිමිනි.

රශ්මි නිමේෂා ගුණවර්ධන දියණියනි, ඇත්තෙන්ම ඔබ දිරිය දියණියක්මය. ඔබගේ සිතුම් පැතුම් ඉටුවේවා!

– ධර්මප්‍රිය ලියනආරච්චි
(මව්බිම)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button