පළකල දිනය : Sun, Mar 31st, 2019

නැව අල්ලපු මහ මුහුදු මෙහෙයුම

මෙරට මෑත ඉතිහාසයේ නෞකාවක් තුළ සොයා ගත් විශාලම කුඩු තොගය අල්ලා ගෑනීමට මෙහෙයුම පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකරන ලද්දේ ජාත්‍යන්තර හෙරොයින් ජාවාරම්කරුවන්ද මවිත කරමිනි. රට තුළට හෙරොයින් ඇතුළු විස මත්ද්‍රව්‍ය තොග පිටින් බහුල ලෙස ගෙනෙන්නේ හොර මුහුදු මාර්ග හරහාය. කුප්‍රකට පාතාල නායක සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්‍ෂිත නොහොත් මාකඳුරේ මධුෂ් විසින් සිය හෙරොයින් රට තුළට ගෙන්වා ගැනීමේ කාර්යය සිදුකරනු ලබන්නේද මුහුදු මාර්ග හරහාය.

මධුෂ් ඩුබායි සිරගත කළද ඔහුගේ හෙරොයින් ජාලය තවමත් මහ පරිමාණ ලෙස ක්‍රියාත්මක වේ.ජාත්‍යන්තර හෙරොයින් ජාවාරම්කරුවන් සමඟ එක් වෙමින් ලොව වනසන මෙම මහා පරිමාණ ජාවාරම ජාවාරම්කරුවන් විසින් සිදු කරනු ලබන්නේද ඉතා සූක්ෂම ලෙසය.මෙම ජාවාරම වෙනුවෙන් ඔවුහු කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරති.

මධුෂ්ට අයත් හෙරොයින් කිලෝ 500කට අධික තොගයක් සහිත කුඩා නෞකාවකට සමාන ට්‍රෝලර් යාත්‍රාවක් ගැන තොරතුරක් ලැබුණේ පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජගිරිය පිහිටි බුද්ධි කොට්ඨාසය වෙතය.එම තොරතුරෙහි සඳහන් වූයේ ඉරානයෙන් සති කිහිපයකට පෙර පිටත් වූ නෞකාවක් පාකිස්තානය, මාලදිවයින හරහා මෙරටට පැමිණෙමින් සිට ඇති බවයි. ඉරාන ජාතිකයන් පිරිසක් සිටින මෙම ට්‍රෝලර් යාත්‍රාව පකිස්තානයේ, කරාමි වෙත ළඟා වී ඉන් හෙරොයින් කිලෝ 500කට අධික තොග බහාලු පොහොර උර කිහිපයක් යාත්‍රාවට දමා පැමිණෙමින් සිටින බවද තොරතුරෙහි සඳහන් විය.

ට්‍රෝලර් යාත්‍රාව මාලදිවයින හරහා මෙරටට ළඟා වෙනු ඇති බවද ලද බුද්ධි තොරතුරු හරහා කියැවිණි.මාලදිවයින දූපත්වල හෙරොයින්වලට ඇබ්බැහි වූ විශාල පිරිසක් සිටිති. එම නිසා මුහුදු මාර්ග හරහා මාලදිවයින දූපත්වල හෙරොයින් ගබඩා කළ යාත්‍රා නිරන්තරයෙන් පැමිණේ.මෙම සියලු බුද්ධි තොරතුරු ඒකරාශි කළ පොලිස් විශේෂ කාර්ය බළකා සේනාධිනායක ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් කෙසේ හෝ මෙම නෞකාව නිරුපද්‍රිතව අත්අඩංගුවට ගැනීම සඳහා රහසිගත මෙහෙයුමක් සකස් කළේය.

මෙම ට්‍රෝලර් යාත්‍රාව අත්අඩංගුවට ගැනුණේ ඉකුත් 23 වැනිදා අලුයම් කාලයේදීය. ඒ ගාල්ල අකුරල ප්‍රදේශයට නාවික සැතපුම් දහයයි දශම පහක් දුරින් බටහිර දෙසට වන්නටය.මේ කතාව ඊට දින කිහිපයකට ඉහතදී පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ නිලධාරීන් විසින් සිදුකළ ක්‍රියාන්විතයය.රාජගිරිය බුද්ධි කොට්ඨාසයේ සිට බුද්ධි නිලධාරීන් කිහිප දෙනෙක් දකුණු පළාතට පිටත්ව ගියහ.

කොණ්ඩා, රැවුල් වවාගත් මොවුන් ධීවරයන් ලෙස වෙස් ගනිමින් ධීවර බෝට්ටුවල නැඟී ඔවුන්ට ලද පණිවුඩයේ සඳහන් කුඩා නෞකාවකට සමාන ට්‍රෝලර් යාත්‍රාව පරීක්‍ෂා කිරීමේ මෙහෙයුම ගොඩබිමට දුරින් වූ ගැඹුරු මුහුදේ සිට සිදුකෙරිණි.දින දෙක තුන ගත විය. කුඩා ධීවර බෝට්ටු, විශාල නෞකා පසු කරමින් මාලදිවයින දේශසීමා දක්වා වූ මෙරට මුහුදු කලාපය මෙම කණ්ඩායම විසින් පරීක්‍ෂාවට ලක් කරන ලදී.මොවුන්ගේ මෙම ගමනට නාවික හමුදාව පූර්ණ සහායක් ලබාදුන් බව කිව යුතුය. දිවා කාලයට ගිනි කාෂ්ටක අව්වේද, රාත්‍රි කාලයට මුහුදු සුළං සමඟ දැඩි සීතලේද ඔවුහු නිරීක්‍ෂණ කටයුතුවල නිරත වූහ.

දින කිහිපයක් ගැඹුරු මුහුදේ කරක් ගැසූ පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරීන් සොයා යමින් සිටි ට්‍රොලර් යාත්‍රාව දිස් විණි.සැකකටයුතු ලෙස ගාල්ල වරාය ප්‍රදේශයට යාත්‍රා කරමින් සිටි ට්‍රෝලර් යාත්‍රාව පසුපස හඹා ගිය බුද්ධි නිලධාරීහු මේ පිළිබඳව නාවික හමුදාව දැනුවත් කළහ. දිනය 23 වැනිදාය. ඒ හෝරාව අලුයම් කාලය බැවින් මුළු පළාතම අඳුරය.බුද්ධි නිලධාරීන් තවදුරටත් ට්‍රෝලර් යාත්‍රාව මෙයම යැයි තහවුරු කර ගනිමින් රහසිගත ලෙස එය පසුපස හඹා ගොස් මුහුදු සැතපුම් කිහිපයක් යාත්‍රා කර ඇත.අනතුරුව ට්‍රෝලර් යාත්‍රාවේ බලය ඔවුන් සතු කර ගැනීමේ මෙහෙයුම ආරම්භ කෙරිණි.

ඒ සඳහා නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රා කිහිපයක්ද සහාය ලබාදුනි.නාවික යාත්‍රා විසින් ප්‍රහාරක යාත්‍රා කිහිපයකින් ට්‍රෝලර් යාත්‍රාව වට කරනු ලැබිණි.වේලාව පෙරවරු 6.20ට පමණය.අෑත තියා නාවික හමුදා යාත්‍රා ට්‍රෝලර් යාත්‍රාවට ළඟා වන බව දුටු ජාවාරම්කරුවෝ යාත්‍රාව තුළ වූ හෙරොයින් තොගය බහාලු මලු මුහුදට විසි කළහ.කෙසේ වෙතත් නාවික හමුදා සෙබළුන් සමඟ ආයුධ සන්නද්ධව පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරීන් ට්‍රෝලර් යාත්‍රාවට ගොඩ වැදිණි. එහි ධීවරයන් ලෙස වෙස්වළා ගත් විවිධ වයස් සීමාවන්වල පසු වූ ඉරාන ජාතිකයෝ නව දෙනෙක් සිටියහ.

ඔවුන්ගේ දෑත් උඩට තබා සිටින ලෙස නියෝග කළ බුද්ධි නිලධාරීහු යාත්‍රාවම දැඩි පරීක්‍ෂාවට ලක් කළහ.එන්ජිමට ආසන්න කොටසක ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ පොහොර උර හතරක් බුද්ධි නිලධාරීන්ට නිරීක්‍ෂණය විය.එම පොහොර උර හතරෙහි හොරොයින් බහාලු පාර්සල් 99ක් සොයා ගනු ලැබිණි. හෙරොයින් තොගයේ බර කිලෝ 107යි ග්‍රෑම් 220ක් බවට සටහන් විය.මෙම තොගයේ වටිනාකම රුපියල් කෝටි 120කට අධික බවද පොලිස් විශේෂ කාර්යය බළකාය සඳහන් කරයි. ට්‍රෝලර් යාත්‍රාවේ සිටි අධි තාක්‍ෂණික සැටලයිට් දුරකථනයක්, තවත් විශේෂිත වූ දුරකථන නවයක්, දින පහළොවකට පමණ කාලයකට සරිලන වියළි ආහාරපාන සහ ජලයද සොයාගනු ලැබීය.එසේම ජාවාරම්කාරයන් අත්අඩංගුවට පත්වීමට මත්තෙන් යාත්‍රවේ සියලු දත්ත ඇතුළත් ට්ර්ථීඉ පද්ධතියට හානි කර එය විනාශ කර ඇත.

කෙසේ වෙතත් නාවික හමුදාව විසින් මෙම යාත්‍රාව ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා දකුණේ සිට කොළඹ වරාය බලා රැගෙනවිත් ඇත.අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය සහ ඉරාන ජාතික සැකකරුවන් නවදෙනා ඉදිරි විමර්ශන සඳහා ඒ වන විට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබේ.ඉරාන ජාතිකයන් නවදෙනාට වෙනත් කිසිදු භාෂාවක් හැසිරවීමට නොහැකි නිසා මෙරට පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ සහාය මත ඉරාන භාෂා පරිවර්තකයකු මාර්ගයෙන් ඔවුන්ගෙන් මේ වන විට ප්‍රකාශ ගනිමින් සිටී.මීට අදාළව දීර්ඝ සහ ඉතා රහසිගත විමර්ශනයක් මේ වන විටත් පොලිස් විශේෂ කාර්ය බළකා සේනාවිධායකවරයාගේ සෘජු අධීක්‍ෂණය මත සිදුවෙමින් පවතී.එම නිසා මීට අදාළ තොරතුරු හෙළි කිරීමට නොහැකිය.ඉරාන ජාතිකයන් හරහා මීට සම්බන්ධ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හඳුනා ගැනීම පොලිස් විශේෂ කාර්ය බළකායේ ඊළඟ අභියෝගයයි.

චාමර අමරසූරිය
මුලාශ්‍ර – මව්බ්ම පුවත්පත

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button