පළකල දිනය : Mon, Apr 1st, 2019

වීසා නැතිව දිගුකලක් මෙරට රැඳී සිටි පාකිස්තානුවා

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි පාකිස්තාන ජාතිකයකු පෙරේදා (30දා) දකුණු කළුතර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

“අපට ළමයින් පස්දෙනකු ඉන්නවා. මොහුව රටින් යවන්න එපා’ යැයි කියමින් ඔහුගේ ශ්‍රී ලාංකික බිරිය පොලිසියේදී හඬා වැලපුණාය.

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර වෙට්ටුමකඩ කලීල් පෙදෙසේ නිවෙසක සිටියදීය.

මොහු 1997 වසරේදී මුලින්ම මෙරටට පැමිණ ඇති අතර ඉන්පසු 2007 වසරේදී පැමිණ ශ්‍රී ලාංකික කාන්තාවක සමඟ විවාහ වී තිබේ.

රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින ළමයකුද, පාසල් යන වයසේ ළමයින් දෙදෙනකු සහ කුඩා ළමයින් දෙදෙනකුද ඔහු නිසා තමාට සිටින බව ඔහුගේ බිරිය දකුණු කළුතර පොලිසියේදී හඬා වැටෙමින් ප්‍රකාශ කර ඇත. මොහු දීර්ඝ කාලයක් ප්‍රදේශයේ නිවාස වයරින් කරමින් විදුලි කාර්මිකයකු ලෙස රැකියාව කර ඇතැයි පොලිසිය කියයි.

මොහු රටින් පිටුවහල් කළහොත් තමාටත් දරු පස්දෙනාටත් ජීවත් වන්නට ක්‍රමයක් නැති වන බව ඔහුගේ බිරිය පොලිසියට ප්‍රකාශ කර ඇත.

උප පොලිස් පරීක්ෂක විතාන මහතා විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂකවරුන් වන තෙන්නකෝන් හා විතාන, පොලිස් කොස්තාපල් ගුණරත්න (55301) යන මහත්වරු මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

පයාගල – සුජිත් මාරියෝ
(මව්බිම)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button