පළකල දිනය : Thu, Apr 11th, 2019

සමනලයකු අතේ අම්මාට පණිවිඩයක් එවූ පුතු

මියගිය පුතු මියගොස් පැය 24 ක් වත් ගත වන්නට පෙර සමනළයෙක් හරහා අම්මාට නිවසටම පණිවිඩයක් එවු මහා පුදුම කතාන්දරයක් මේ. ගාල්ල අක්මීමන, මානවිල, මීපාවල ගම්මානයෙන් අසන්නට ලැබෙන්නේ මහා පුදුම කතාන්දරයක් ලෙසයි.

මේ කතාන්දරය සත්තකින්ම සුන්දර වු මහා පුදුව කතාවකි. මෙය තවත් එක් සුරඟන කතාවක් හෝ මවාගත් කතාවක් හෝ කෙටි කතාන්දරයක් හෝ නව කතාවක් හෝ චිත‍්‍රපට කතාවක් හෝ නැතිනම් ටෙලි කතාවක් හෝ වේදිකා කතාවක් හෝ ගම කතාවක් හෝ නොව සත්‍යම කතාවකි.

අපේ කතාන්දරයේ මිය ගිය සමනලයාගේ නම තත්සරයි. තත්සර වෙත්තසිංහයි. වයස අවුරුදු දහසයයි. ඕ ලෙවල් වලට පෙනි සිටියා පමණි. ගම ගාල්ල, අක්මීමන, මානවිලයි. පාසල මානවිල උපනන්ද විද්‍යාලයයි.

අපේ කතාන්දරයේ දෙවියන් විසින් දුන් දුන්න නම් වු දේදුන්න බදු වු රසාලිත්ත දේදුනු හැඩයෙන් රුවැති තත්සර මිහිරි තණුවක් සේ සමනලයෙක් මෙන් අහිංසක ළමයෙක් විය.

පවුලේ වැඩිමලා වු හෙතෙම තුරුණ වියේ පසුවු තවමත් 16 වැනි වියට ළංවූවා පමණි. තත්සරට රිද්මා නම් වූ සහෝදරියක්ද වුවාය. ඇය තවමත් දෙවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන්නීය. අම්මා ගෘහණියකි. ඇය නමින් මනෝරි වෙත්තසිංහ නම් වුවාය. (39) පියා පාසල් ළමයින් ප‍්‍රවාහනය කරන වෑන් රථයක සේවය කරමින් පවුල රැක ගත්තාය. හෙතෙම 42 හැවිරිදි සම්පත් වෙත්තසිංහ විය.

අපේ කතාන්දරයේ තත්සර පසුගිය පළමු වැනිදා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කරන්නේ හදිසි අසනීප තත්ත්වයක් නිසාය. නමුත්, පැය දින කිහිපයක් ගත වුවද හරිහැටි හෙද හෙදි උපකාරයක් හෝ වෛද්‍ය සේවාවක් නිසි පරිදි සිදු නොවූ නිසා පුතු මියගිය බවට දෙමාපියෝ පවසති.

නමුත් ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍යවරු පවසනුයේ නියමිත පරිදි වෛද්‍ය සේවාව සිදුකළ බවයි. අප කිසිදු රෝගියෙක් ලොකු ද, කුඩා ද කියා බලන්නේ නෑ. රෝහලට පැමිණෙන

රෝගීන් සියල්ලටම අපි ප‍්‍රථිකාර කරනවා. වයස ලිංගිකත්වය, කුලය, ආගම කළු සුදු හෝ කිසිවක් නෑ. රෝගියෙක් නම් ප‍්‍රතිකාර කරනවා. අපට කළ හැකි සියල්ලම අපි කළා. මේ දරුවා මිය ගියා රෝහල් වෛද්‍යවරුන්ගේ අදහසයි. එය ඇත්තකි.

නමුත් මිය ගිය තත්සරගේ දෙමාපියන් පවසනුයේ තත්සරට ගාල්ල කරාපිටිය රෝහලෙන් නියමිත පරිදි වෛද්‍ය ප‍්‍රතිකාර කළේ නම් දරුවා මිය නොයන බවයි. මේ ඒ අය කියන කතාන්දරය. ඇත්ත පවසන්නේ කව්ද? යන්න අපි නොදනිමු. එය වෙනත් කතාන්දරයකි.

අසනීප වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන තත්සර පසුගිය දෙවැනි දා හදිසි ප‍්‍රතිකාර ගන්නට ශල්‍යකර්මයකට ලක්කරන්ට රැගෙන යන්ට විය. එවිට සත්සර අම්මාට කීවේ අමුතුම කතාවකි.

‘‘අම්මේ අම්මාට බුදු සරණයි! තාත්තාව මතක් කරන්න කියන්න! නංගිට මම ආදරෙයි! මම දන්නවා තාත්තා මට ආදරෙයි කියලා. තාත්තාටත් මම ආදරෙයි කියමින් ගාල්ල හදිසි ප‍්‍රතිකාර අංශයට ගමන් කරන්ට පෙර තත්සර තම මවට කීවේ යහපත් මානසික මට්ටමින් සිටය. ඒ බව, මව මනෝරි අප සමඟ කීවාය.

ගත වුයේ කෙටි කාලයකි. තත්සර ඒ වන විටත් සියල්ලන්ගෙන්ම සමුගෙන ගොස් ස.රි.ග.ම.ප.ද.නි.ස තත්සරය සදහටම නිමවී ගොස් තිබුණේය. තත්සර ස්වරය නිම්නාද වුයේ නැත. දේහය පිළිබඳව පැවැති මරණ පරීක්ෂණයේ දී විෂ බීජයක් ශරිර ගතවූ නිසා ඇති වු රෝගී තත්ත්වයක් නිසා තත්සර මියගොස් ඇති බව සටහන් කළේය.

සර සර ගා හඬ තළන සුදු කොඩි අහස පුරා ඇඳ ඇත්තේය. දැල්වෙන පොල් තෙල් පහන් සිළ ඒ මේ අත රිද්මයකට සත්සරයකටදෝ සැලෙන්නට විය. ගේ මැද තත්සරගේ නිසල දේහය ඇති පෙට්ටියේ වටේට මල් ඉති අතු සමගින් දේහයම හිස සිට දෙපා දක්වා වටකර දමා ඇති මල් මාලය ආදරණිය අයියාට නංගි බබාගෙන් අවසන් වරට තිළිණ කළ තිලිණයයි. අම්මා තාත්තා නංගි තත්සරගේ නිසල දේහය දෙස බලා සිටිති. මළ ගෙදර භූමදාන කටයුතු සිදුකරන්ට සියල්ලම ගම්මු සිදුකරමින් තිබුනේය.

දිනය අපේ‍්‍රල් 04 වැනිදාය. වේලාව පින්බර හිමිදිරි උදෑසනයි. දහසක් බුදුන් බුදු වූ බැව් කියන හිමිදිිරි උදෑසනයි.

අම්මා මනෝරි දහවලද රැය පුරාම නිදි වර්ජිතව සිට එළියේ මිදුලේ සකස් කර තිබු තාවකාලික සෙවිලි තහඩු මඩුවේ (ටකරං මඩුවේ) පුටුවක හිඳ ගත්තේ සිතද ගතද දුකද තෙහෙට්ටුව නිසා යම් විවේකයක් ගන්නටය. ක්ෂණිකවම තත්සරගේ අම්මාට නින්ද ගියේය. ඇය පුතු ගේ කාමරය අසලම ටකරං මඩුවේ සෙවිලි තහඩු මඩුවේ ඉඳගත්තේ පුතුගේ කාමරය දෙස බලමින්ය.

හැඩවෙන නින්නාදවන සත්සර හඬ සමඟිින් අහස පුරා නිල් පැහැගැන් වූ නිල් පාටට වියන් බැඳ ඇති ය. පොළොව පුරා මල් අතු ඉති අතුරා ගත් මල් යායකි. නොයෙක් වර්ණයෙන් සුසැදි මල් හා සමනලයන් රෑන් පිට රෑන් මේ හිමිදරි උදෑසන ඉගිලෙන්නට විය. කවර පාටකින් කවර නමකින් පැවසුව ද මල් මෙන්ම ළමයින් ද සොඳුරුය. අහිංසකය. සමනලයන් මෙන් අහිංසකය. රුවැතිය. පියකරුය. ඒ මේ ඇත්න්ගේ ස්වභාවයි. පරිසරයේ නින්නාදයයි.

සත්තකින්ම මේ සුව පහසුව නැතිව පුටුවේ නින්දේ පසුවන මනෝරි අම්මාට මිය ගිය පුතු සිහිනයෙන් පණිඩිඩයක් එවා තිබිණි. පුතු සුරතල් වෙවී තම උකුලේ සිටිමින් තත්සර මවට සිහිනයෙන් කියා ඇත්තේ, ‘‘අම්මේ මම හොඳින් ඉන්නවා. මම හොඳ තැනක ඉපදුනා. අම්මාට මම ආදරෙයි. මම මගේ යාළුවෙක් දැන් එවලා ඇති ගෙදරටම මගේ කාමරයේ නිදන කාමරයේ අම්මට පෙනෙන ජනේලය ජනෙල් උළු වස්සේ මම මගේ සමනල යාළුවා ඉන්නවා.

එයා අඟල් 12 විතර විශාල ලස්සන සමනලයෙක්. එයා මම හොඳින් ඉන්න බවට හොඳ තැනක ඉපදුනු බව කියන්නට මේ පණිවිඩය අරගෙන ආපු සමනල් යාළුවා. බලන්න එයා දැන් මගේ නිදන කාමරයේ ජනෙල් උළුවස්සේ වහලා ඉන්නවාද කියාය. අනේ අම්මා දුක් වෙන්න එපා. මම හොඳින්…අම්මාට බුදු සරණයයි….’’ කියා මියගිය පුතු අම්මාට සිහිනයෙන් කියා සමු ගත්තේය. ක්ෂණිකවම නින්දේ සිටි අම්මා මනෝරි අවදි වුවාය.

ඇත්තටම සිදුවුයේ කුමක්ද? සිහිනයක් ද? සැබෑවක් ද? සිතන්නට වත් නොහැකිය. සිදුව ඇත්තේ කුමක් ද ? මහා ලස්සන පාට පාට සමනලයෙක් මියගිය පුතුගේ නිදන කාමරයේ ජනෙල් උළුවස්සේ අත්තටු විහිදාගෙන ඒ මේ අත පියාඹයි. සිහිනයෙන් පුතා කියා ඇත්තේ ඇත්තකි. සිහිනයට සිනහවක් එක්කරමින් සිහිනය සත්‍යයක් වී ඇත.

කතාන්දරය සත්‍යයකි. එනම් මියගිය තත්සර අම්මාට තමා හොඳින් සැපෙන්් සිටින බව සමනලයෙක් දූතයෙක් ලෙස යොදා ගනිමින් පණිවිඩයක් එවා ඇති බව කාට කාටත් සිහිනයෙන් පැවසු කතාව දැකගත හැකිවුයේ සමනලයා ජනෙල් උළු වස්සේ පිහාටු ගසමින් ඒ මේ අත පියඹමින් යළිත් අත්තටු ගසා උළු වස්සේම වසා සිටිමයි.

තත්සරගේ නිසල දේහය අසලට පියඹන සමනලයා යළිත් තත්සරයේ නිදන කාමරයේ ජනෙල් පියනේ වසන්නේ පුරුදු පුහුණු කළ පෙර සිට දැනීමක් ඇති සුපුරුදු ආකාරයක් කාට කාටත් දැනගත හැකි පරිදි ඇසෙනා පෙනෙනා පරිදිය. එය සත්තකින්ම පුදුමයක් නොවන්නේද ?

ඒ අපේ අලූත් අවුරුදදට අවුරුදු කුමාරයා සේ නිවසේ තත්සරයට ගීතයක් බදුව තනුවක් සකස් කරන්නට සිටි මියගිය තත්සර සමනල් ලෝකයේ සිට හෝ මිනිස් ලෝකයට සමනල් දූතයා ඔස්සේ මවට ඒවා ඇති සජීවී සමනල් යහළු මිතුරාගේ පණිඩිඩය මේ වන විටද තත්සරගේ මළ ගෙදර ඒ මේ අත පියාසර කරමින් සිටිනු දැකිය හැකි විය.

ආදරය, කරුණාව, සෙනෙහස කොතරම් ද මිය ගිය පුතු සමනලයෙක් මගින් සමනල් ලෝකයේ සිට තම මිනිස් අම්මාට එවා තිබු සමනල දසුනෙන් ලොව තවමත් ඇති පෙනෙන නොපෙනෙන ලොව නැවත ඉපදීම සිහිනයේ සිනහව සියල්ලම අපට යළි යළිත් මතක් කරවන්ට සමත්ව තිබෙන අප සමාජයේ සිදු වූ මේ ඇත්ත සත්‍ය කතාන්දරයකි. එය සිදුවන්නේ ගාල්ල, අක්මීමන, මානවිල ගම්මානයේ ය.

තත්සරගේ අවසන් කටයුතු පසුගිය සති අන්තයේ මානවිල උපනන්ද පාසල අසල මීපාවල පවුලේ සුසාන භූමියේ දී සිදු කෙරිණි.( ඒ. එනම් 2019.04.04 දින සවස 4.00 ට සිදු කෙරිනි.) මිය ගිය තත්සර මනු ලොව සිට දෙව්ලොව හෝ සමනල් ලොවක ඉපදෙන්ට ඇතිය යන්න දෙමාපියන්ගේ හා ඥාතින්ගේ ගම්වාසිනගේ අදහසයි.

මිනිස් ලොව සිට මියගිය තත්සර ඒ ලෝකයේ සිට එවන ලද සමනල දූතයා මේ සටහන ලියන විටත් තත්සරගේ අවසන් කටයුතු සිදු කරන තෙක්ම මළ ගෙදර තත්සරගේ නිදියන කාමරයේ ජනෙල් උළු වස්සේ ජනෙල් පියනේ වසා සිටිනු දැකිය හැකි විය.

අපේ කතාන්දරයේ සමනල් වියේ සිටි හදිසියේ මියගිය තත්සරට යළිත් අප අතරම ඉපදේවා! කියා අපි ප‍්‍රාර්ථනා කරමු. තත්සර අපි ඔබට අපේ ආගමට අනුව නිවන් සුව පතන්නේ නැත. යළිත් අප අතරම ඉපදේවා කියා පතන්නේ තත්සරගේ අම්මා, තාත්තා, නංගීය. ඒ බව මහ විලාප දී මේ අය දැනටද වැලපෙමින් විලාප දෙන ශබ්දය අප දෙසවන් දෙනුවන් මන්මත් කරගෙන ඇසෙන රාවය මේ සටහන ලියනවිට ද මට ඇසේ.

– බෝගහගොඩ ඒ.ඩබ්ලිව්. ඒ නිමල්
(දිවයින)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button