පළකල දිනය : Mon, Apr 15th, 2019

අවුරුදු උදාවට පෙර ලැබූ නොනගතයේදී නාමල් පන්සලක් පිරිසිදු කරයි

මෙවර සිංහල දෙමල අලුත් අවුරුදු උදාවට පෙර පුන්‍ය කාලය ලැබීමත් සමග නාමල් රාජපක්ෂ මහතා ඇතුලු පිරිස තංගල්ල ඓතිහාසික වැල්ලෙ බෝධිය විහාරය පිරිසිදු කරන ලදී. මේ අතර හිටපු ජනාධිපති වත්මන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති අලුත් අවුරුදු සුබ පැතුම මෙසේය. සිංහල දමිළ අලුත් අවුරුද්ද අතිශයින්ම වැදගත් ජාතික උත්සවයක් වන අතර එය මෙරට පමණක් නොව විදෙස්ගතව ද සිටින මුළුමහත් සිංහල දමිළ ශ්‍රී ලාංකික ජනයා උත්සවශ්‍රීයෙන් සමරයි. අපගේ ඉසුරුමත් සංස්කෘතික උරුමය ලෝකය සමග හුවමාරු කර ගැනීමට හැකි වේදිකාවක් නිර්මාණය කරදෙන අලුත් අවුරුද්ද අප එකිනෙකා අතර සබඳතා ශක්තිමත් කරගැනීමට ද අවශ්‍ය පරිසරය සකසා දෙයි.

අලුත් අවුරුද්ද අලුත් ආරම්භයක හැඟීම් ජනිත කරවයි. සියළු අඩුපාඩු හා පසුබෑම් අතහැර රට ඉදිරියට ගෙනයාම සඳහා නව ජවයකින් යුත් කැපවීමක් සිත් තුළ ඇති කරයි. ඒ සඳහා සිතුවිලි මෙන්ම ක්‍රියාවන් ද ප්‍රගතිශීලි විය යුතුයි. අලුත් අවුරුද්ද ක්‍රෝධය, සතුරුකම්, සහ වැරදි වැටහීම් ඉවත්ව යන මිත්‍රත්වය, එකමුතුව හා සහයෝගිතාව පිළිබඳ අලුත් දැක්මක් ශ්‍රී ලාංකික සිත් සතන් තුළ ඇති කරයි. නව බලාපොරොත්තු පිළිබඳ නව අභිප්‍රායන් ඇති කරයි. ඒ අභිප්‍රායන් මුසුවූ බලාපොරොත්තු ශ්‍රී ලංකා මාතාව ඉදිරියට ගෙන යාමට ශක්තියක් වනු ඇත.

මේ අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු සමඟ ඉදිරියට යන ඔබෙන් කුඩා ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමි. ශ්‍රී ලාංකික ජන සමාජය සමග මුසුවී ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය උදෙසා ඔබට දායක විය හැකි ආකාරය පිළිබඳ සොයා බලන්න. ආකල්පමය පරිවර්තනයක් ශ්‍රී ලංකික ජන සමාජය තුළ ඇති කරන්න. එය අනෙකාගෙන් බලාපොරොත්තු වීමට පෙර ඔබෙන් පටන් ගන්න. ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය, ශ්‍රී ලාංකිකයන්ගේ මානුෂීය ගරුත්වය, සහ සුබ අනාගතය රඳා පවතින්නේ මේ ආකල්පමය පරිවර්තනයත් සමඟයි.

අලුත් අවුරුද්දේ අලංකාරය සහ සෞභාග්‍යය කිරි ඉතිරවීමෙන් සංකේතවත් කරන්නා සේම, අවුරුදු ක්‍රීඩා මඟින් එකමුතු බව සංකේතවත් කරන්නා සේම, මේ අලුත් අවුරුදු සමයේ ඔබ අපගේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් සියළු ශ්‍රී ලාංකිකයන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි මම හදවතින් සුබ පතමි.

මහින්ද රාජපක්‍ෂ
විපක්‍ෂ නායක

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button