පළකල දිනය : Thu, Apr 18th, 2019

සුදු ඇදගෙන කලු ඇවිදින් එකේ අයෝමට පන දෙන පොඩි කෙල්ලගේ කතාව

ජීවිතය හරියනවාට වඩා මඟ හැරෙන්න, වැරදෙන්න යන්නෙ ඇස් පිල්ලමකටත් වඩා අඩු වේගයක්. නව යොවුන් අයෝමාත්, තවමත් තරුණ විය නොඉක්මුණු ඇගේ අම්මාත් කාත් කවුරුත් නොදන්නා ඉසව්වකට පැමිණෙන්නෙ මඟ හැරුණු ජීවිතය හොයාගෙන. ඒ ජීවිතය ඔවුන්ට හමුවේවිද?

අයෝමාගේ බලාපොරොත්තු ඉටු වේවිද? ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුනිල් කොස්තා ගේ නවතම ටෙලි නිර්මාණය “සුදු ඇඳගෙන කළු ඇවිදින්” මේ දිනවල ජාතික රූපවාහිනියේ සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 9.00ට විකාශය වෙනවා. එහි අයෝමා නම් ප්‍රධාන චරිතයට පණ පොවන නවක රංගන ශිල්පිණී මිෂෙල් දිල්හාරා ඇගේ අත්දැකීම් අප සමඟ පැවසුවා.
ඉතිං මිෂෙල්?

හොඳින් ඉන්නවා. ඒත් මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. වැඩිපුර ඉන්නෙ කොළඹින් පිට රූගත කිරීම් වල.

ඒ සුදු ඇඳගෙන කළු ඇවිදින් නිසා වෙන්න ඇති?

ඇත්තටම ඔව්. ඒ නාට්‍යයේ රූගත කිරීම් තියෙන්නෙ පොළොන්නරුව,බකමූණ, දඹුල්ල වගේ පැති වල. ඒ වගේම ස්වර්ණවාහිනියේ වීක් එන්ඩ් විනෝදේ වැඩසටහනත් තියනවානේ.

සුදු ඇඳගෙන කළු ඇවිත් තියෙන්නෙ අයෝමා ගේ ජීවිතයටද?

තාම ටෙලි නාට්‍ය පටන් ගත්තා විතරයි. ප්‍රේක්ෂකයො ඉන්නෙ කුතුහලෙන් ඔය ප්‍රශ්නයට මම උත්තරයක් දුන්නොත් ඒක කුතුහලෙන් ඉන්න ප්‍රේක්ෂකයාට කරන අසාධාරණයක් වෙනවා. මම කෙටියෙන්ම කියන්නම්කො, අයෝමා අම්මාත් එක්ක නොදන්න පලාතකට එන්නෙ තාත්තාව හොයාගෙන. ඒ අම්මයි දුවයි හොයන්නෙ මඟ ඇරුණු තාත්තාව.

අයෝමා හොයන්නෙ තාත්තාව, එතකොට මි‍ෂෙල් හොයන්නෙ?

මගේ ජීවිතයේ මඟ හැරුණු තැන්, වැරදුණු තැන් නෑ. ඒත් මමත් යමක් හොයනවා. ඒ මම තුළ ඉන්න මිෂෙල් කියන රංගන ශිල්පිණියව.

අධ්‍යක්ෂ සුනිල් කොස්තා ඔබ හොයන ඔබ තුළ ඉන්න රංගන ශිල්පිණියව හරියටම අඳුනගෙන තියනවා?

සුදු ඇඳගෙන කළු ඇවිදින් නරඹපු මගේ ආදර ප්‍රේක්ෂකයොත් ඔය කතාව කිව්වා.
මිෂෙල් හිතනවාද අයෝමා මිෂෙල්ගෙ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වෙයි කියලා?

ඔව්. මේ මම ප්‍රධාන චරිතයක් නිරූපණය කරන පළවෙනි අවස්ථාව. සම්මානීය අධ්‍යක්ෂකවරයෙක්, සම්මාන පිට සම්මාන දිනා ගත්තු රංගන ශිල්පීන් කණ්ඩායමක් එක්කයි මම අයෝමාට පණ දෙන්නෙ. මට හිතෙන්නෙ මම ඉන්නෙ රංගන තක්සලාවක කියලා. සුනිල් කොස්තා අධ්‍යක්ෂතුමා තරමටම මට මගෙ වටේ ඉන්න ප්‍රවීණයන්ගෙන් පුදුම සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන් චාන්දනී අක්කයි , උමයංගනා අක්කයි අම්මෙක් තරමටම මාව රංගනයෙන් ශක්තිමත් කරනවා.

ඒ කියන්නෙ ප්‍රවීනයො ආධුනියන්ට කුහක කම් කරනවා කියන්නෙ බොරුවක්?
මගේ වාසනාවට මට මුණගැහුණ ප්‍රවීනයො මට ශක්තියක් වුණා මිසක කකුලෙන් ඇද්දෙ නෑ. ඒ නිසා ඔය කියන චෝදනාව මට නම් කොහෙත්ම අදාල නෑ. මම හිතන්නෙ ආධුනික අපි නිහතමානී වෙන්න ඕනෑ. උඩඟුකම තමයි අපේ දියුණුවට බාධාවක් වෙන්නෙ.

ආධුනිකයන් හරි බොළඳයි කියලයි හුඟක් අය කියන්නේ. ආව ගමන් ගිය අය වගේම , ආව ගමන් සමහරුන් මග වරද්ද ගන්නතේ ඒ නිසාලු. ඒත් මිෂෙල් වයසට, පෙනුමට වඩා ලොකුවට හිතනවා වගේ?

දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියනවානේ. මම දැනගෙන ගමන යන්නයි උත්සාහ කරන්නේ.

මිෂෙල්ට මඟ කියාදෙන විශේෂ කෙනෙක් ඉන්නවාද?

එක්කෙනෙක් කියලා නෑ. හුඟක් ඉන්නවා. මගේ ගුරුවරු, නෑ හිතමිතුරො, දෙමව්පියෝ. ඒ හැමෝම මට හරි මඟ පෙන්නනවා.

ඔය අතරෙ හිතට දැණුන විශේෂ කෙනෙකුත් ඇතිනේ?

නෑ. එහෙම විශේෂ කෙනෙක් තාම නෑ. හැම දේම සිද්ධ වෙන්නෙ හොඳම කාලෙට. මම රංගන ශිල්පිණියක් වුණෙත් හොඳම කාලේ. මම මේ ගමන යන්නෙ හරිම හිමින්. මට හදිස්සියක් නෑ. ඒ වගේම තමයි විශේෂ කෙනෙක් හොයාගන්නත් මට හදිස්සියක් නෑ. හොඳම දේ හොඳම වෙලාවට වෙයි. තාම ඒ වෙලාව ඇවිත් නෑ.

කොහොමද මිෂෙල්ගෙ සමාජ සේවා කටයුතු?

බොහොම නිහඩව ඒ වැඩ නොනවත්වා සිද්ධ වෙනවා. උදව් අවශ්‍ය කෙනෙක්ට උදව් කරලා මම ලබන සතුට වචනයෙන් විස්තර කරන්න බෑ.

23 වෙනි උපන්දිනයත් ළඟ ළඟම එනවා. එදාට මොනවද කරන්නෙ?

තාම මම ඒ ගැන හිතනවා. කාලා බීලා විනෝද වෙනවා වෙනුවට සුළු පිරිසකට හරි හිතට සතුටක් ගෙනත් දීලා එදාට මමත් සතුටු වෙනවා.

මිෂෙල් කවදා හරි දේශපානයට එන්න බලාපොරොත්තුවක් තියනවාද?
අපෝ නෑ.

පවතින ක්‍රමයට අවනත නොවී උඩුගම් බලා පීනන්නද කැමති?

කාටවත් වැරැද්දක් වෙන්නෙ නැත්තම්, පුංචි උත්සාහයක් කලාට කමක් නෑ නේද?
ගමන ලේසි නෑ?

මම දන්නවා. ඒත් මම උත්සාහය අතහරින්නෙ නෑ.

හිමේෂා සවන්තී රාජපක්ෂ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button