පළකල දිනය : Fri, Apr 26th, 2019

අක්කයි මල්ලියි නිසල වෙයි

පාස්කු ඉරිදා කොච්චිකඬේ දේවස්ථානයේ සිදුවූ සිද්ධියෙන් මියගිය පාසල් වියේ සොයුරු-සොයුරියන් දෙදෙනකු වූ ඛේමා තත්සරිණි හා ඉමාස් තිවංක සිරිමාන්න 24 දා සවස මුළු ගමක් හඬවමින් වැල්ලම්පිටිය වෙන්නවත්තේ පිහිටි සිය නිවසින් අවසන් ගමන් ගියහ.

ප‍්‍රදේශවාසීන් අති විශාල පිිරිසකගේ ගෞරවාචාර මධ්‍යයේ ඔවුන් ජීවත් වූ නිවසේ සිට පාවඩ පිට සුසාන භූමිය කරා දේහයන් රැගත් අවමංගල්‍ය පෙරහැර කොහිලවත්ත පොදු සුසාන භූමිය දක්වා ඥාති මිත‍්‍රාදීන් විසින් ඔසවාගෙන ගිය අතර එහිදී මේ දෙදෙනාගේ දේහයන් එහි වූ එකම වළක මිහිදන් කරනු ලැබිණි.

වෙන්නවත්ත ශී‍්‍ර කල්‍යාණිවංශිකාරාමාධිපති කල්‍යාණි සාමගි‍්‍ර මහා සංඝ සභාවේ කැලණි පාර්ශ්වයේ අනුනායක යටියන ඤාණාවාස මාහිමිගේ අනුශාසනා පරිදි ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් එවන ලද ශෝක පණිවුඩය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ කොළොන්නාව බල මණ්ඩලයේ ලේකම් අසංක ජීවහස්ත මහතා විසින් ප‍්‍රකාශයට පත් කළේය.

ඉන් අනතුරුව මෙම දරුවන් දෙදෙනා ඉගෙනුම ලැබූ සේදවත්ත මධ්‍ය මහා විදුහලේ විදුහල්පති ඉන්ද්‍රජිත් දොළකුඹුර, කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර කමල් ජයකොඩි, විදුහල් ආදි ශිෂ්‍ය සංගම් සභාපති රෝහිත සෙනෙවිරත්න යන මහත්වරු ද එම අවමංගල සභාව ඇමතූහ.

– රංජිත් විමලසිරි
(දිවයින)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button