පළකල දිනය : Sun, Apr 28th, 2019

ඇමෙරිකාවත් පුදුම කළ ලංකාවේ ෆ්‍රෑන්ක්ගේ ඉව

කොළඹ නගරයේ සුපිරි හෝටල් තුනක බෝම්බ පුපුරා පැයක් ගත වූයේ නැත. යුද හමුදා මූලස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ගණේමුල්‍ලේ කොමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයට දුරකථන ඇමතුමක් ලැබුණි. එම ඇමතුමෙන් කොමාන්ඩෝ රෙජිමේන්තුවට නියෝග ලැබුණේ කේ. 9 ඒකකය සමග වහාම කොළඹ පැමිණ, සුපිරි හෝටල් හා ආර්ථික මධ්‍යස්ථානවල ආරක්ෂාව තහවුරු කරන ලෙසය.

ගජබා, විජයබා, සිංහ, ගැමුණු වැනි යුද හමුදාවේ බළකාවල නම් රටේ ප්‍රසිද්ධ මුත් කේ. 9 ඒකකය යන වදන රටුන්ට එතරමට හුරු නැත. ඊට හේතුව වන්නේ ගජබා, විජයබා, සිංහ වැනි රෙජිමේන්තුවල සෙබළුන් නිතර මගතොටේ දක්නට ලැබුණද කේ. 9 ඒකකයේ සාමාජිකයන් නිතර එළියට බහින්නේ නැති බැවිණි. ඔවුන් එළියට එන්නේ විශේෂ අවස්ථාවල පමණි.

යුද හමුදාවේ බසින් කේ-9 ඒකකය හෙවත් ‘Kennels-9’ යනුවෙන් හැඳින්වෙන්නේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ නිල සුනඛ කණ්ඩායමය. එම කණ්ඩායම ඇත්තේ 4 වන කොමාන්ඩෝ රෙජිමේන්තුව යටතේය. නගරබද සටන්, කැලෑ සටන්, සතුරු අඩවියට හොර රහසේ ඇතුළු වී රැක සිට පහරදෙන දිගුදුර විහිදුම්, ප්‍රභූ ආරක්ෂාව, ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම්, ප්‍රති පැහැර ගැනීම් වැනි දුෂ්කර ඉලක්ක වෙනුවෙන් මනා නිපුණතාවක් දක්වන යුද හමුදාවේ විශිෂ්ටතම බළකාය වන්නේ කොමාන්ඩෝ රෙජිමේන්තුවය. එවැනි මෙහෙයුම් කරන කොමාන්ඩෝ සෙබළුන්ට සිටින සහයක කණ්ඩායම වන්නේ කේ- 9 ඒකකයයි.

ඔවුන් ස්ථානගතව සිටින්නේ ගණේමුල්‍ලේ කොමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේය. මූලස්ථානය ගණේමුල්‍ලේ වුවත් දිවයිනේ සෑම පළාතක් ආවරණය වන පරිදි කේ-9 ඒකකයේ සාමාජිකයෝ ස්ථාන ගතව සිටින්නෝය. මෙරට පමණක් නොව නොරටද කේ. 9 ඒකකයේ සාමාජිකයෝ රාජකාරි කරති. ඔවුහු ලෙබනයේ සාම සාධක රාජකාරියේ සිටින සෙබළුන්ටද සහය වෙති. කේ-9 ඒකකයේ සාමාජිකයෝ පුපුරන ද්‍රව්‍ය හඳුනා ගැනීමේ විශේෂඥයෝය. එවැනි සුනඛයකුගේ වටිනාකම රුපියල් ලක්ෂ තිහක් පමණ වන්නේය.

සෙබළෙකුට වෙඩි තැබිමට ඉගැන්වීමට වඩා සුනඛයකුට පුපුරන ද්‍රව්‍ය හඳුනා ගැනීමට ඉගැන්වීම බොහෝ දුෂ්කර පාඨමාලාවකි. පුපුරන ද්‍රව්‍ය පමණක් නොව ලුහුබැඳීමේ රාජකාරි, මුර රාජකාරි, මළසිරුරු සෙවීම, සංදර්ශන ඇතුළු අංශ ගණනාවක් සඳහා මේ සුනඛයෝ කුසලතාවක් දක්වති. ඒ අතරින් ලුහුබැඳීමේ රාජකාරියට ගිය කේ-9 ඒකකයේ සාමාජිකයෙක් දශක හයක යුද හමුදා ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබුවේය. උගේ නම ස්නෝවිය. ලැබූඩෝර් වර්ගයේ සුනඛයකු වූ ස්නෝවි දෙදහස් අටේ මාර්තු දාහතර වැනිදා කැබිතිගොල්ලෑවේදී වීර වික්‍රමාන්විත ක්‍රියාවක් කළේය.

පළා යමින් හුන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසක් කොටුකර ගැනීමට ඉව අල්ලමින් ඔවුන් ලුහුබැඳීමට සෙබළුන්ට පාර කීවේ ස්නෝවිය. වන වඳු‍ලේ අත් බෝම්බයක් අතැතිව හුන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු වෙත ස්නෝවි කඩා පැන්නේය. බෝම්බය පිපිරී ස්නෝවිගේ සුනඛ මෙහෙයවන්නා වූ කෝප්‍රල් ඩී.එච්.පී. සම්පත් බරපතළ තුවාල ලැබූහ. කෝප්‍රල්වරයා මෙන්ම ස්නෝවිගේද ජීවිතයද වටිනා බව දැන එකල කොමාන්ඩෝ බළසේනාධිපති මෙන්ම 58 වැනි සේනාංකාධිපති වූ බ්‍රිගේඩියර් ශවින්ද්‍ර සිල්වා වහා මැදිහත් වී ස්නෝවි ගිලන් රියක දමාගෙන පේරාදෙණිය පශු වෛද්‍ය රෝහලට වහා ගෙන ඒමට උපදෙස් දුන්නේය.

පශු වෛද්‍ය අශෝක දංගොල්ල විශාල පරිශ්‍රමයක් දරා ස්නෝවිගේ දිවිය බේරා ගත්තේය. එදා සෙබළුන් දුසිමකගේ ජීවිතද අනූනවයෙන් බේරා ගත්තේ ස්නෝවිගේ ඉවය. මේ නිසා සටන් බිමේදී තම ජීවිතය නොතකා තම සගයන්ගේ ජීවිත බේරා ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වීමේ වීර වික්‍රමාන්විත දස්කම වෙනුවෙන් මතෛක් සෙබළුන්ට පමණක් පිරිනැමූ රණ වික්‍රම පදක්කම ස්නෝවිටද ලැබුණේය. ලංකා ඉතිහාසයේ වීර පදක්කමක් හිමිකරගත් එකම සුනඛයා ස්නෝවිය.

කේ-9 ඒකකයේ හපන්කම් ස්නෝවිගෙන් නතර වූයේ නැත. එහි තවත් සාමාජිකයන් පැරෂුටයක ආධාරයෙන් අඩි හාරදහසක් උඩින් පැන්නේය. ඒ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් සුජිත් සිරංජීව සමගය. කොමාන්ඩෝ රෙජිමේන්තුව එම අත්හදා බැලීම කළේ හදිසි තත්ත්වයක් යටතේ ගොඩබිමෙන් රැගෙන යාමට නොහැකි තැනකට කේ -9 ඒකකයේ සාමාජිකයකු ගොඩබැස්ස වන්නේ කෙසේදැයි යන්න අත්හදා බැලීමටය. එම අත්හදා බැලීමට කේ – 9 ඒකකයේ ටීෂා ඉතා සාර්ථකව මුහුණ දුන්නේ පැරෂුටයකින් බිමට පැන්න ලංකාවේ මුල්ම සුනඛයා වෙමිනි.

එවැනි වීර වික්‍රමාන්විත හපන්කම්වලින් සිය ඉතිහාසය හැඩ වැඩ කරගෙන සිටින කේ -9 ඒකකයට ගිය ඉරිදාවේ භාරවුණේ තවත් භාරධුර රාජකාරියකි. ඒ තර්ජනයට ලක්ව ඇති සුපිරි හෝටල්, ආර්ථික මධ්‍යස්ථාන බෝම්බ ප්‍රහාරවලින් වළක්වා ගැනීමටය. වහාම ක්‍රියාත්මක වූ කේ -9 ඒකකයේ සුනඛයෝද සුනඛයන් හසුරවන කොමාන්ඩෝ සෙබළු එම ඒකකයේ නිලධාරී අණදෙන්නා වූ මේජර් ශිරන්ත අලහකෝන්ගේ අධීක්ෂණය යටතේ කොළඹට ආවෝය.

කොමාන්ඩෝ රෙජිමේන්තු අධිපති හා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා කොමාන්ඩෝ බළසේනාධිපති කර්නල් අනිල් සමරසිරි, කොමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායක කර්නල් ශ්‍යාමල් සිල්වා සහ 4 වන කොමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් උපුල් පිලපිටිය කොළඹ ආරක්ෂාවට පැමිණි කොමාන්ඩෝ සෙබළුන්ට අවශ්‍ය උපදෙස් දුන්හ.

කේ -9 ඒකකයට කොළඹ කොටුවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, බැංකු මූලස්ථාන, කොළඹ වරාය, හිල්ටන්, ගෝල්ෆේස්, ටාජ් සමුද්‍රා, ගලදාරි ඇතුළු තරු පන්තියේ සියලු සුපිරි හෝටල්වල ආරක්ෂාව භාර විය. එම හෝටල්වල කළමනාකාරිත්වයද කේ. 9 ඒකකය ඉතා ආදරයෙන් පිළිගනු ලැබූහ. වායුසමීකරණ යන්ත්‍ර පවා ඔවුහු කේ -9 ඒකකයේ සාමාජිකයන් සිටින කූඩාරම්වලට සවිකරනු ලැබූහ.

හෝටල් කළමනාකාරිත්වය පමණක් නොව සංචාරකයන්ගේ මරණ බිය පහව ගියේ කේ -9 ඒකකය හෝටල්වලට පැමිණි පසුවය. විශේෂයෙන් සංචාරකයන්ගේ නොමඳ ආදරයක් කේ -9 ඒකකයට ලැබුණි. අතපත ගා බෑග් ඇර, ඇද පරීක්ෂා කිරීමට වඩා ඉවෙන් පුපුරන ද්‍රව්‍ය හඳුනා ගැනීමට නිපුණතාවක් දක්වන සුනඛයන්ගේ රාජකාරිය කාටත් පහසුය. හැරැත් එවැනි සුනඛයන්ට වරදින්නේ නැත. උන්ගේ ඉවට තාක්ෂණික උපකරණ පරාදය.

ලංකාවේ කේ -9 ඒකකයේ සුනඛයන්ට වරදින්නේ නැති බව මුළු ලොවම දැනගත්තේ ඉකුත් විසිතුන්වැනිදා වූ එක් සිද්ධියකින් පසුවය. එදින සන්ධ්‍යාවේ කේ-9 ඒකකයේ පුපුරන ද්‍රව්‍ය හඳුනා ගැනීමේ විශේෂඥයකු වන ෆ්‍රෑන්ක්ට කැඳවීමක් ලැබුණි. ෆ්‍රෑන්ක්ගේ හසුරවන්නා වූයේ කොමාන්ඩෝ සෙබළ එස්.ආර්.එස්.එස්. රත්නායකය. ලැබූඩොර් වර්ගයේ සුනඛයකු වන ෆ්‍රෑන්ක් ලංකාවේ උපන්නෙකි. දැන් ෆ්‍රෑන්ක්ගේ වයස අවුරුද්දයි මාස අටකි. කොමාන්ඩෝ රෙජිමේන්තුවට මාස තුනෙන් ඇතුළු වූ ෆ්‍රැන්ක් මුල සිටම බලාගන්නේ රත්නායකය. ඔවුන් දෙදෙනාගේ ඇසුර බිඳෙන්නේ රත්නායක නිවාඩු ලබා අනුරාධපුරයට ගිය විටදී පමණි.

මම ආපහු කෑම්ප් එකට ආපු ගමන්ම ෆ්‍රෑන්ක් ඇඟට පැනලා අතපය ඔක්කොම ලෙවකනවා ඔහු කියන්නේය. ඒ කේ -9 ඒකකයේ සුනඛයන්ගේ හැටිය. ඔවුන්ට තම හසුරවන්නා නැතිව කල් ගෙවීමට අපහසුය. සමහර සුනඛයෝ තම හසුරවන්නා එනතුරු නොකා නොබි සිටින අවස්ථා එමටය.

එදා ෆ්‍රෑන්ක්ට පැවැරී තිබූ රාජකාරිය වූයේ කොළඹ යූනියන් පෙදෙසේ වූ හිල්ටන් රෙසිඩන්ස් හි කාමර පරීක්ෂාවය. හිල්ටන් හෝටලයට අයත් එම ගොඩනැගිල්‍ලේ විදේශිකයෝ රැසක් පදිංචිව සිටිති. හෝටලයෙන් ලද කැඳවීමකට අනුව එහි ගිය කොමාන්ඩෝ සෙබළු ෆ්‍රෑන්ක් සමග එක්ව කාමරයක් කාමරයක් ගානේ පුපුරන ද්‍රව්‍ය පරීක්ෂාවේ යෙදුණහ. ඒ අතරේ ෆ්‍රෑන්ක් එක් කාමරයකට ගොස් යළි එළියට එන්නට අදිමදි කළේය.

ඔහු එහි බිම වාඩි විය. එහි අරුත එම කාමරයේ පුපුරන ද්‍රව්‍ය ඇති බවට ෆ්‍රෑන්ක්ට ඉව වැටී තිබිමයි. පුපුරන ද්‍රව්‍ය ඇති නම් ෆ්‍රෑන්ක් එතැනින් නැගිටින්නේ නැත. ඔහු නොනැගිටීමෙන් සිය හසුරවන්නාට දෙන සංඥාව වන්නේ පුපුරන ද්‍රව්‍ය ඇති බවය. වහාම ක්‍රියාත්මක වූ කොමාන්ඩෝ සෙබළු මෙම කාරණාව හෝටල් කාර්ය මණ්ඩලයට දැනුම් දුන්හ. එහිදී දැනගන්නට ලැබි ඇත්තේ එම කාමරයේ සිටින්නේ පසුගියදා සිදුවුණ පිපිරුම් පිළිබඳ සොයා බැලීමට ඇමෙරිකාවේ සිට පැමිණි පිපිරුම් ද්‍රව්‍ය විශේෂඥයකු බවය. එහෙත් ඒ මොහොත වන විට ඔහු හෝටලයෙන් බැහැරව සිටි බැවින් එහි පැමිණීම ප්‍රතික්ෂේප කර තිබුණි.

නමුත් ෆ්‍රෑන්ක්ද වැඩේ අතහැරීමට සූදානම් නැත. කාමරයේ වාඩි වූ තැනින් නැගිට්ටේම නැත. අනතුරුව පරීක්ෂාවේදී හෙළිවූයේ පුපුරන ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ යන්ත්‍රයක් කාමරයේ ඇති බවය. නවාතැන් ගෙන සිටි පුද්ගලයාගෙන් යහපත් ප්‍රතිචාරයක් නැති කළ පරීක්ෂාවට ගිය නිලධාරීහු කොමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා දැනුවත් කළේය. වහාම ක්‍රියාත්මක වූ මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය අමතා උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ තදින් කතා කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස එම කාමරයේ සිටි ඇමෙරිකානු පුපුරන ද්‍රව්‍ය විශේෂඥයා කාමරයට පැමිණ තිබේ. එහිදී ඔහු පුදුමයට පත්ව ඇත්තේ පුපුරන ද්‍රව්‍ය පරීක්ෂා කිරිමේ යන්ත්‍රයේ සුළුවෙන් ගෑවි තිබූ පුපුරන ද්‍රව්‍ය ෆ්‍රෑන්ක්ගේ ඉවට හසු වීමය. එවැනි දස්කම් දක්වන සුනඛයකු ලංකාවේ සිටීම ගැන ඉහළින් කතා කළ ඔහු ඒ ගැන සිය ප්‍රශංසාව කොමාන්ඩෝ රෙජිමේන්තුවට පුදන්නට අමතක කළේ නැත. එමෙන්ම එම කාමරයේ පුපුරන ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ යන්ත්‍රයක් ඇති බව කලින් දැනුවත් නොකිරීමෙන් සිදුවූ අපහසුතාව ගැන තානාපති අංශ යුද හමුදාවට කනගාටුව ප්‍රකාශ කර තිබේ. එහෙත් මේ සියල්ලට වඩා වටින්නේ ඇමෙරිකාවත් පුදුමයට පත් කළ ෆ්‍රෑන්ක්ගේ ඉවය.

මේ සිද්ධියෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ වෘත්තීය නිපුණතාවයි. අපේ යුද හමුදාව ලෝකයේ කිසිම හමුදාවකට නොදවෛනි තරම් දක්ෂ පිරිසක්. අපගේ එම හැකියාවන් අප කොටි ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී ඔප්පු කර පෙන්නුවා. එය අවශ්‍ය ඕනෑම මොහොතක යළි ඔප්පු කර පෙන්වීමට අප සූදානම් එසේ කියන්නේ කොමාන්ඩෝ රෙජිමේන්තු අධිපති හා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වාය.

මිහිරි ෆොන්සේකා
ඡායාරූප: මලිත් ගමගේ
(ලක්බිම)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button