පළකල දිනය : Sat, May 4th, 2019

දෙව්මැඳුරු දේව හදවත් ඇති මිනිසුන්ගේ වීරියෙන් ගොඩනැඟෙන හැටි

දෙව්මැදුරු තුළ දෙවියන් අබියස දෙවියන් යදිමින් සිටි බැතිමතුන්ට යක්ෂයන් විසින් ප්‍රහාර එල්ල කොට අදට සති දෙකක් ගත වී තිබේ. ඒ මහා ප්‍රහාරය පිළිබඳ තවමත් බොහෝ දෙනකුගේ සිත් තුළ ඇත්තේ දරාගත නොහැකි වේදනාවකි. කම්පනයකි. ප්‍රහාරයට ලක් වූ කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානය, මීගමුව කටුවාපිටියේ සාන්ත සෙබස්තියන් දේවස්ථානය සහ මඩකලපුව සියොන් දේවස්ථානයද ආගමික බේදයකින් තොරව බොහෝ දෙනකුගේ බුහුමනට පාත්‍ර වූ සිද්ධස්ථාන වීමද විශේෂත්වයකි. එම නිසාම එම සිද්ධස්ථානවලට සිදු වූ විපත පිළිබඳ බොහෝ දෙනකු තුළ ඇත්තේ කම්පාවකි.

“අපිට ආයෙත් පුරුදු විදිහට පල්ලියට යන්න පුළුවන් වෙන්නේ කවද්ද? “

බොහෝ බැතිමතුන්ගේ සිත් තුළ ඒ පිළිබඳ ඇත්තේ පැනයකි. මරුවා සැරුසැරූ බව දැන දැනම සිය සමීපතමයන් දිවි දුන්නේ ඒ බිමෙහි බව දැන දැනද බොහෝ දෙනෙක් අදටත් කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානය කරා එති. දෙවියන් පිළිබඳ බැතිය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් බිඳ දැමිය හැකි බව පසක් කරමින් ඔවුහු තවමත් වසා ඇති සිද්ධස්ථානය වෙත පැමිණෙති. සිද්ධස්ථානය ඉදිරිපිට මහා මාර්ගයේ මාර්ග බාධකය අසල තබා ඇති සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ පිළිරුව ඉදිරිපිට ඉටිපහන් දල්වමින් යාච්ඤා කරති. පුදබිම කඩිනමින් පෙර තිබූ තත්ත්වයට පත් වනු දැකීම ඒ සෑම බැතිමතෙකුගේම සුපසන් පැතුමයි.

එම පැතුම මල්ඵල දරමින් සිද්ධස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වී තිබේ. ඒ හේතුවෙන් ත්‍රස්ත ප්‍රහාරයට පෙර දහස් ගණන් ජනයා ගැවසි පුදබිමක් වූ සාන්ත අන්තෝනි සිද්ධස්ථානය අද එකම වැඩබිමක් බවට පත්ව තිබේ. සිද්ධස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේය.

ඒ අනුව එම අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රමාත්‍ය ලේකම් කාර්යාලය, නාවික හමුදාව සිද්ධස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම සඳහා දායකත්වය දක්වන අතර රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, නාවික හමුදාව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඒ සඳහා සිය ශ්‍රම දායකත්වය ලබාදෙයි.

ඉහළම ප්‍රමිතියෙන් ගුණාත්මකව සහ ඉතා කඩිනමින් එම ප්‍රතිසංස්කරණ කටයුතු ඉතා කෙටි කාලයක් තුළ සිදු කර එම සිද්ධස්ථානය බැතිමතුන් සඳහා විවෘත කිරීමට අපේක්ෂා කරන බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් පැවසීය. එමෙන්ම එම සියලු ප්‍රතිසංස්කරණ කටයුතු කොළඹ අගදරගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ සිද්ධස්ථාන පාලක පියතුමන්ලාගේ උපදෙස් මත සිදු කරන බවද එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

නාවික හමුදා සාමාජිකයන් ඉතා යුහුසුළුව එම කටයුතුවල යෙදෙනු දක්නට ලැබිණි. එම පිළිසකර කිරීම් ආරම්භ කිරීමට පෙර බෝම්බ ප්‍රහාරයට ලක් වූ සිද්ධස්ථානය පිරිසුදු කිරීමට නාවික හමුදාව කටයුතු කළේ ඉකුත් 27 වැනිදාය. ඒ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්නගේ උපදෙස් අනුව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ මඟපෙන්වීම මත නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ සෘජු අධික්‍ෂණය යටතේය. ඒ සඳහා නාවික හමුදා නිලධාරින් සහ නාවිකයන් 100කට අධික පිරිසක් එම වැඩසටහන සඳහා අනුයුක්ත කර තිබිණ.

එදින දවස පුරා එම කටයුතු සිදු වූ අතර එහිදී ප්‍රහාරය නිසා විනාශ වී ගිය සුන්බුන් ඉවත් කර සිද්ධස්ථානය ඇතුළත බිම සම්පුර්ණයෙන් රසායනික ද්‍රව්‍ය යොදාගනිමින් සෝදා පිරිසුදු කරන ලදි. ඒ සඳහා නාවික හමුදාවට අයත් ගිනි නිවීමේ ආපදා රථ, ජල බවුසර්, ට්‍රක් රථ සහ අනෙකුත් උපකරණ යොදාගන්නා ලද අතර ඉන් පසුව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරිණි.

සිද්ධස්ථානය ඉදිරිපිට ආරක්ෂක වැටක්ද ඉදි කර ඇති අතර ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කරගෙන යනු ලබන නීතිමය පරීක්ෂණවලට බාධා නොවන අයුරින් සිද්ධස්ථානය ඇතුළත ප්‍රතිසංස්කරණ කටයුතු රැසක් සිදුවෙමින් පවතී. ඒ සියල්ල අතර සිද්ධස්ථානයේ ආරක්ෂාවද උපරිම අයුරින් පවත්වාගෙන යෑමට ජම්පටා වීදියේ සහ වෙරළබඩ පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ නිබඳවම කටයුතු කරමින් සිටී.

එම ප්‍රතිසංස්කරණ මඟින් බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වී ගිය සිද්ධස්ථානයේ ශ්‍රී විභූතිය යළිත් එම පුදබිමට උරුම කරදීම ඊට දායක වී සිටින සියලු දෙනාගේ අරමුණයි. පිළිසකර කිරීම්වලට අමතරව සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේ කෞතුකාගාරය නවීකරණය කිරීමටත් දානමය කටයුතු සඳහා අලුතින් ගොඩනැගිල්ලක් ඉදි කිරීමටත් පියවර ගන්නා බවද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය. නැති වූ දේවල් ලබාදීම සම්බන්ධයෙන් විස්මිත පෙළහර පාන මුනිවරයකු ලෙස කිතුනු බැතිමතුන් අතර ප්‍රකට සාන්ත අන්තෝනි මුනිඳුන් නමට කැප කර ඇති සිද්ධස්ථාන අතර කොච්චිකඩේ සිද්ධස්ථානයට හිමි වන්නේ විශේෂ ස්ථානයකි.

එය කිතුනුවන් මෙන්ම අන්‍යාගාමිකයන්ට පවා අනුහස් ඇති සිද්ධස්ථානයක් ලෙස ප්‍රකට බැවින් වසර පුරාම සතියේ සෑම දිනකම උදේ සිට රාත්‍රිය දක්වාම එම සිද්ධස්ථානය වන්දනාමාන කිරීමට විශාල ජනතාවක් පැමිණෙන අතර සාන්ත අන්තෝනි මුනිඳුන් වෙනුවෙන් විශේෂ නුවානයක් සහ දිව්‍ය පූජා පැවැත්වෙන මාසයේ පළමු අඟහරුවාදා දිනය මෙන්ම සතියේ සෑම අඟහරුවදා දිනකම එම සිද්ධස්ථානය එකම හිස්ගොඩක් බවට පත් වේ.

එම සිද්ධස්ථානයේ ඉතිහාසය 18 වැනි ශතවර්ෂය කරා දිවෙන්නකි. එකල මෙරට කතෝලික ධර්මය තහනම් කරන ලද ආගමක් වූ අතර ලන්දේසීන්ගෙන් කතෝලික ජනතාවටත් පූජකවරුන්ටත් දැඩි පීඩා එල්ල විය. ඉන්දියාවේ ගෝවේ සිට පැමිණි ජෝකෝමේ ගොන්සාල්වෙස් පියතුමා ප්‍රමුඛ ඔරතෝරියානු නිකායේ පූජකවරු එම කාලයේ මෙරට ආගමික කටයුතුවල නිරත වී සිටියහ. ඒ වන විට කොළොම්පුරයට එසේ සේවය කිරීමට පියතුමකු නැති බව දැනගත් ගොන්සාල්වෙස් පියතුමා ඇන්ටෝනියෝ නම් පූජකුතුමකු එහි එවීමට කටයුතු කළේය. එම පියතුමා වෙළෙන්දකු ලෙස වෙස් වළාගෙන කොළඹට පැමිණ ශුද්ධවූ පිලිප්නේරි මුනිඳුන්ගේ දෙව්මැදුරට මුහුණ ලා පිහිටි මැලිබන් වීදියේ තැනක නවාතැන් ගෙන දහම් සේවය කරගෙන ගියේය.

ඒ බව ලන්දේසි ආණ්ඩුවට සැලවීමත් සමඟ ඇන්ටෝනියෝ පියතුමා වෙස් මාරු කරගෙන මෝදර ප්‍රදේශයට පලාගොස් එහි සිට තම සේවය ආරම්භ කළේය. වැඩිකල් යෑමට පෙර එහි ජීවත් වූ ධීවර ජනතාව හා පියතුමා අතර දැඩි සුහදතාවක් ඇති වූ බැවින් ධීවරයෝ පියතුමා ආරක්ෂා කිරීමට නිතැතින්ම පෙලඹුණාහ.

ඒ කාලයේදී ධීවරයන්ට තිබූ විශාල ප්‍රශ්නයක් වූයේ මුහුදු ඛාදනයයි. දෙවියන් වහන්සේගේ මැදිහත් බව තුළ ධීවරයන්ට පිළිසරණ වීමට අදිටන් කරගත් ඇන්ටෝනියෝ පියතුමා ධීවරයන් සමඟ ලී කුරුසියක් කර තබාගෙන මුහුදු ඛාදනය සිදු වන ස්ථානයට ගොස් එම ස්ථානයේ කුරුසය සිටුවා දින තුනකින් මුහුදු ඛාදනයෙන් එම ප්‍රදේශය බේරාදෙන ලෙස ඉල්ලමින් යාච්ඤා කරන්නට විය. දින තුන ගත වන විට මුහුදුකෑම නතර වී රළ ආපස්සට ගොස් තිබෙනු දක්නට ලැබිණි.

ඒ බව දැනගත් ලන්දේසි ආණ්ඩුව පියතුමාගේ ක්‍රියාව ගැන පැහැදී එතුමා කැමති දෙයක් දීමට එකඟ විය. පියතුමාගේ ඉල්ලීම වූයේ ඔහු මුහුදු වෙරළේ යාච්ඤ කළ ස්ථානයේ කුඩා මඩුවක් සාදාගෙන ජීවිතාන්තය දක්වා එහි විසීමට අවසර පැතීමය. වාසනාවකට මෙන් එයට ලන්දේසින්ගෙන් අවසර ලැබිණි. එදා එලෙස ඇන්ටෝනියෝ පියතුමා සෑදූ මඩුව පසු කලෙක සාන්න අන්තෝනි මුනිතුමා වෙනුවෙන් කැප කළ දෙව්මැදුරක් බවට පත් විය. මේ වන විට සුපතළ සිද්ධස්ථානයක් බවට පත් වී තිබෙන්නේ එම දේවස්ථානයයි.

1806 වසරේදී එම මුල් දෙව්මැදුර තරමක් විශාල කොට ඇති අතර 1822 දී ඔරතෝරියානු පූජකවරු විසින් ගෝවෙන් ගෙනා සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ කුඩා පිළිරුවක් එම දෙව්මැදුරේ තැන්පත් කර තිබේ. වත්මන් සිද්ධස්ථානයේ පසෙකින් පිහිටා තිබෙන විශේෂ අල්තාරය මත තැන්පත් කර ඇත්තේ එම ප්‍රතිමාව වන අතර එම අල්තාරය පිහිටි ස්ථානය එදා ඇන්ටෝනියෝ පියතුමාගේ අඛණ්ඩ යැදුම් හමුවේ මුහුදුකෑම නතර වීමේ ප්‍රාතිහාර්යය සිදු වූ ස්ථානයද වේ. එමෙන්ම පාදුවාවේ සිට ගෙන එන ලද සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ශුද්ධ වූ දිව ධාතුවෙන් ඉතා සුළු කොටසක්ද විශේෂ කරඬුවක බහා සිද්ධස්ථානයට ඇතුළු වන ස්ථානයේ පිහිටි ප්‍රතිමාව යට තැන්පත් කර තිබේ. ඒ කිසිදු ශුද්ධ වස්තුවකට බෝම්බ ප්‍රහාරයෙන් හානියක් නොවීමද ප්‍රාතිහාර්යකි.

සාන්ත අන්තෝනි මුනි ප්‍රතිමාව මෙරටට වැඩම කරවීමත් සමඟ නව දෙව්මැදුර තැනීමේ කටයුතු කඩිනම් විය. 1828 වසරේදී නව දේවස්ථානයේ ඉදි කිරීම ආරම්භ කරන ලද අතර 1834 වසරේ ජූනි 1 වැනි දින නව දෙව්මැදුර ආසිරි ගැන්වීම සිදු විය. ලංකාව පුරා සාන්ත අන්තෝනි බැතිය පැතිර යෑමත් සමඟ බැතිමතුන්ගේ පැමිණීම වැඩි වූයෙන් එම නව දෙව්මැදුරේ ඉඩකඩද මදි වන්නට විය.

එහි ප්‍රතිඵලයක් ලෙස මීසම් ශාලාවක්, රැස්වීම් ශාලාවක්, ගායනා කණ්ඩායමක් සඳහා සඳැල්ලක්ද සහිතව දෙව්මැදුර විශාල වන්නට විය. එම නව දෙව්මැදුර 1910දී එවකට අගරදගුරු හිමි ජේ.එම්. මැසොන් හිමිපාණන් විසින් ආසිරි ගන්වන ලදී. 1951දී සිද්ධස්ථානයට කිරිගරුඬ අල්තාරයක්ද එක්වූ අතර එය අභිෂේක කර ඇත්තේ මෙරට පළමු කාදිනල්වරයා වූ ස්වර්ගස්ථ තෝමස් කුරේ කාදිනල් හිමිපාණන් විසිනි.

දිනෙන් දින බැතිමතුන්ගේ බුහුමනට සහ ගෞරවාදරයට පාත්‍ර වූ කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානය 2010 වසරේදී සිය 175 වැනි සංවත්සරය උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය. පසුගිය පාස්කු ඉරුදින ත්‍රස්තවාදීන් විසින් අහිංසක බැතිමතුන්ගේ රුධිරයෙන් සෝදනු ලැබුවේ සියවස් දෙකකට ආසන්න කාලයක් කොළඹ මැද විරාජමාන වූ සාන්ත අන්තෝනි පුදබිමේ අභිමානයයි. දෙවියන්ගේ දෑස් හමුවේ සිදු වූ අහිංසක බැතිමතුන්ගේ ජීවිත විනාශයෙන් සසල වූ කොච්චිකඩේ සිද්ධස්ථානයේ විසල් ඔරලෝසුවේ කටු පවා ඒ විනාශය සිදු වූ උදෑසන 8.45න් පසු යළි කැරකුණේ නැත. එය තවමත් එලෙසින්ම ඇත්තේ යක්ෂයාගේ වියරු නිමේෂය සිහිගන්වමිනි.

එදින බෝම්බ ප්‍රහාරයට ලක්වූ මීගමුව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයද වසර 150ක ඉතිහාසයක් ඇති ඉපරැණි දෙව්මැදුරකි. කිතුනුවන් අතර බුහුමනට පත් ප්‍රාණ පරිත්‍යාගිවරයකු වන සාන්ත සෙබස්තියන් මුනිඳුන් නමට කැප කර ඇති දේවස්ථාන රාශියක් අතරින් පෘතුගීසි යුගයේදී ඉදි කළ පළමු දේවස්ථාන 150 අතරට එම දේවස්ථානයද අයත් වේ. සාන්ත සෙබස්තියන් මුනි නමට මීගමුවේ ඉදි කළ පළමු දේවස්ථානය ලෙසද එය සැලකිය හැකිය. එම දේවස්ථාන භූමියේ ඇති රෝගීන් ස්නානය කරන ළිඳටද දේවස්ථානය තරම්ම පැරණි ඉතිහාසයක් තිබෙන අතර එයද බැතිමතුන් අතර ප්‍රකටය.

බෝම්බ ප්‍රහාරයෙන් එම සිද්ධස්ථානයට විශාල විනාශයක් වී ඇති අතර එම සිද්ධස්ථානය මෙන්ම මඩකලපුව සියෝන් දේවස්ථානයද ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් බාරගෙන තිබේ.

ඊට අමතරව බෝම්බ ප්‍රහාරයට ලක්වූ දේවස්ථාන යළි ගොඩනැඟීම සඳහා පාර්ශ්ව කිහිපයක්ම මේ වන විටත් ඉදිරිපත් වී තිබෙන බව වාර්තා වේ. සිද්ධස්ථානවලට වූ හානිය පිළිබඳ මේ දක්වා පූර්ණ හානි තක්සේරුවක් සිදු කොට නැති අතර එම කටයුතු සිදුවෙමින් පවතී.

“එම සිද්ධස්ථාන තිබුණාටත් වඩා ඉහළම ගුණාත්මක භාවයෙන් සහ ප්‍රමිතියෙන් යුතුව ගොඩනැඟීම අපේ අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් වැය වන මුදල කොතෙක් වුවත් ඒ කටයුතු නිසි පරිදි සිදු කිරීමට අමාත්‍යාංශය කටයුතු කරනවා”

ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වන පිරිවැය පිළිබඳ නිවාස, ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ එලෙසිනි.

– සුරේකා නිල්මිණි ඉලංගකෝන්
(සිළුමිණ)

  • 1.8K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button