පළකල දිනය : Sun, May 5th, 2019

‘මදූෂ්ව’ කටුනායකින් රැගෙන යයි

සමරසිංහ ආරච්චිලාගේ මදූෂ් ලක්ෂිත නොහොත් මාකදුරේ මදූෂ් අද (05) දින අලුයම ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඔහු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානය අද අලුයම 12.30 ට පමණ ඩුබායි අන්තර්ජාතික ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වූ අතර, මෙම ගුවන් යානය එදින අලුයම 5.00 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වී තිබුණා.

ඔහුගේ පැමිණීම පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටි ආරක්ෂක නිලධාරීන්, මෙම ගුවන් යානය මගීන්ට බැසීම සඳහා ගුවන් පාළම වෙත සමීප වනවාත් සමගම, ඔහුව හදුනාගෙන ආරක්ෂක නිලධාරීන් ග්‍රහණයට ගෙන මුලින්ම ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණා.

මාකදුරේ මදූෂ් විසින් ඉදිරිපත් කළ N 5480656 දරන ගුවන් ගමන් බලපත්‍රය අනුව ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය අජිත් එරංග නමින් පෙනී සිටි අතර, ඔහුගේ උපන් දිනය ලෙස එහි 1979.02.20 දක්වා තිබුණා.

ඔහුගේ ජාතික හැදුනුම්පත් අංකය 790516478V ලෙස සඳහන්ව තිබූ අතර, එම ගුවන් ගමන් බලපත්‍රය 2015.04.30 දින නිකුත් කර තිබූ එකක්ද වනවා.

මාකදුරේ මදූෂ් දිවයිනේ විවිධ ප්‍රදේශ රැසක සිදු කර තිබූ මිනීමැරුම්, මංකොල්ලකෑම් සහ තවත් අපරාධ රාශියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පොලීසි ගණනාවකට මෙන්ම අධිකරණ රැසකට ද අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු වී සිටි බැව් සඳහන්.

මේ වනවිට මාකදුරේ මදූෂ් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ සිට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් තිබෙනවා.

ටී.කේ.ජී කපිල – කටුනායක
(නෙත්නිව්ස්)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button