පළකල දිනය : Mon, May 6th, 2019

ආගමන විගමන පද්ධතියේ ගැටලුවක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය පෞද්ගලික ආයතනයක් මගින් සකස් කිරීම හා නඩත්තු කිරීම නිසා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ගැටලුවක් මතුව ඇතැයි එම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් කාලයක් තිස්සේ අනතුරු අඟවා ඇතත් පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවනතුරුම ඒ ගැන බලධාරින්ගේ අවධානය යොමු නොවී යැයි එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.

විදේශ සංචාරකයන් ආගමනය ඉහළ යාම සමඟ මගී නිශ්කාෂණ කටයුතු ආදී තාක්ෂණික කාරණා ගැන අවධානය යොමුකළ ද ආරක්ෂාවට අදාළ විමර්ශන ක්‍රියාකාරිත්වය පුළුල් කිරීම සම්බන්ධයෙන් බලධාරින් ප්‍රමාණවත් අවධානයක් යොමු කළේ නැතැයි ද ඔහු චෝදනා කළේය.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සංවේදී තොරතුරු සහිත පරිගණක පද්ධතිය පෞද්ගලික ආයතනයකින් සකස් කිරීම රටේ පවතින තත්ත්වය මත ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි යැයි කී හෙතෙම මීට එකම විසඳුම ආගමන විගමන දෙපාර්තමේන්තුවේම අභ්‍යන්තර ඒකකයක් ස්ථාපිත කර ඊට පැවැරීම යැයි ද අවධාරණය කළේය.

ජාතික ආරක්ෂාවට සම්බන්ධ සියලු අංශ ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඒකාබද්ධ විය යුතු වුවද මෙතෙක් එවැනි ජාලයක් පිහිටුවා නැතැයි ද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් විමසීමට වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් පසන් රත්නායක මහතා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

යුද හමුදා බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකුගෙන් මේ ගැන කළ විමසීමේදී මෙය වහා නිවැරැදි විය යුතු තත්ත්වයක් යැයි ද බලධාරින්ගේ අවධානය කඩිනමින් ඊට යොමු විය යුතු යැයි ද ඔහු සඳහන් කළේය.

බිඟුන් මේනක ගමගේ
(ලංකාදීප)

  • 874
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button