පළකල දිනය : Mon, May 6th, 2019

ගයාන් ආයෙමත් පෙම්වතෙක් වෙලා ද

ගයාන් ආයෙමත් පෙම්වතෙක් වෙලා?

ඔව් අසෙලි මාව පෙම්වතෙක් කළා.

අසෙලි හුඟක් ආදරණීය පෙම්වතියක් වගේ?

ඔව් අසෙලි කියන්නේ තමන්ගේ පෙම්වතා වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්න සූදානම් පෙම්වතියක්.

ගයානුත් අසෙලිට හුඟාක් ආදරෙයි වගේ?

ගයාන් නෙමෙයි ආලෝක අසෙලිට හුඟක් ආදරෙයි.

ආලෝකගෙයි, අසෙලිගෙයි පෙම් කතාව ඇඹුණේ මැයි 3 වෙනිදා?

ඔව්. රවීන්ද්‍ර විජේරත්න අයියා අධ්‍යක්ෂණය කරන, තරංග දිසානායක අයියා නිෂ්පාදනය කරන හිරු ටීවී එකේ විකාශනය වෙන ”හුස්මක් තරමට” ටෙලි නාට්‍යයේ තමයි ආලෝකගෙයි, අසෙලිගෙයි ආදර කතාව දිව යන්නේ.

ඒකත් පාසල් පේ‍්‍රමයක් වගේ?

පාසල් පේ‍්‍රමයක් තමයි. හැබැයි සුන්දරම නෑ. බාධක එමටයි. ඒත් අපේ ආදරය අපි අමාරුවෙන් රැකගන්න උත්සාහ කරනවා. ආලෝක කියන්නේ දුප්පත් කොල්ලෙක්. අසෙලි කියන්නේ පෝසත් කෙල්ලෙක්. ඒ හැමදේටම වඩා ආලෝකගේ අම්මයි තාත්තයි දන්න තවත් රහසක් එක්ක මේ කතාව කුතුහලයෙන් පිරෙනවා.

පහුගිය කාලේ ගයාන් අසම්මත පෙමක පැටලිලා හිටියා?

මොනවා කරන්නද වැඩිමල් පෙම්වතියකටනේ ආදරය කළේ. ඒ ෂර්ලි පී. දෙලංකාවල අයියගේ ”හිතුවක්කාරයෝ” ටෙලි නාට්‍යයට.

අසම්මත පේ‍්‍රමයට වඩා සම්මත පේ‍්‍රමය හොදයි කියලා හිතෙනවාද?

සම්මතය කොහොමත් හොඳයිනේ. අසම්මතයට වඩා.

ගයාන් කැමතිද අසෙලි වගේ පෙම්වතියකට?

ඔව්. මම හිතන්නේ හැම පෙම්වතෙක්ම කැමති වෙයි අසෙලි වගේ පෙම්වතියකට.

ගයාන්ගේ පෙම්වතියත් අසෙලි වගේද?

මට අසෙලි වගේ පෙම්වතියක් හිටියා. ඒත් දැන් නෑ.

ඇයි ඒ පේ‍්‍රමය රැකගන්න බැරි වුණේ?

ආදරය කරලා තරහා වෙලා වෛරක්කාරයෝ වෙනවාට  වඩා ආදරය කරලා යාළුවෝ වෙලා ඒ යාළුකම සදාකල්ම රැකගන්න එක හොඳයි.

ඔය නොකියා කියන්නේ හිටපු පෙම්වතිය දැන් යෙහෙළියක් කියලද?

ඔව්. තාමත් දුක සැප හොයලා බලන ඇය මගේ හොඳ යෙහෙළියක්

ගයාන් නළුවෙක් වෙන්නේ බිඳුණු පේ‍්‍රමයත් එක්කද?

නෑ... පේ‍්‍රමයයි නළුකමයි අතරෙ සම්බන්ධයක් නෑ.

නළුවෙක් වෙන්නේ නෑ කියලා හිටපු ගයාන් අන්තිමට නළුවෙක් වුණා?

මුලින්ම නළුවෙක් වුණේ ෂර්ලි අයියා නිසා. ඔහු තමයි මාව එකඟ කරගත්තේ. ටී.වී 1 නාලිකාවේ නිවේදකයෙක් වුණ නිසයි ඒ අවස්ථාව ලැබුණේ. හුස්මක් තරමට නාට්‍යයේදීත් රවීන්ද්‍ර අයියයි, තරංග අයියයි මට කිව්වා මේ චරිතය ඔයාට හොඳටම ගැළපෙනවා. ඒ නිසා තමයි දෙගිඩියාවක් නැතුව බාර ගත්තේ.

ගයාන් තවමත් නිවේදක කාර්යයත් කරනවානේ?

ඔව්. ටී.වී 1 නාලිකාවේ ”දඟ රැල්ල” නිවේදනය කරනවා. වී.එෆ්.එම් එකේ ON AIR STUDIO වැඩසටහන කරනවා.

ගයාන් වැඩියෙන් කැමති නළුකමටද, ගායනයටද? නිවේදනයටද?

මම කවදත් හීන දැක්කේ තාත්තා වගේ ගායකයෙක් වෙන්නයි. අදටත් ඒක වෙනසක් වෙලා නෑ. තවම මම රංගනය තුළින්ම රංගනය හදාරනවා. ප‍්‍රවීණයන්ගෙන් උපදෙස් අරගෙන අඩුපාඩුකම් හදාගන්නවා. නිවේදන කාර්ය වුණත් එහෙමයි. මට රංගන හැකියාවක් තියනවාද කියලා තීරණය කරන්න මගේ ආදරණීය පේ‍්‍රක්ෂකයන්ට බාර කරනවා.

– සවන්තී රාජපක්ෂ
(ලක්බිම)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button