පළකල දිනය : Mon, May 6th, 2019

මන්නාරමේ ඇමැතිවරයකු, අපි අල්ලපු අය නිදහස් කරන්න කිව්වා – හමුදාපති

පසුගියදා ඇති වූ අවාසනාවන්ත සිදුවීම් යළිත් ඇති නොවීමට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද?

පාස්කු ඉරිදා සිද්ධිය සිදු වූ අවස්ථාවේ යුද හමුදාවට බලතල තිබුණේ නැහැ සෝදිසි මෙහෙයුම් සිදු කරන්නට. මහමඟට බසින්නට අපට බලයක් නොතිබුණත් හමුදාව පාරට බස්සන්න අපට සිදුවුණා. එසේ යෙදෙව්වේ නොසන්සුන් වෙලා හිටපු ජනතාවට හමුදාව දැකීමෙන් යම් විශ්වසනීයත්වයක් ඇති වන නිසයි. එයින් ඔවුන්ගේ බිය අඩු වන බව අප දන්නවා. ඒ වගේම ‘83 වගේ ජාතිවාදී කෝලාහල සිදු නොවීමටයි. තවමත් ඒ බිය ජනතාව තුළ තිබෙන බව පේනවා.

හදිසි නීතිය පැනවීමත් සමඟ යුද හමුදාවට විශේෂයෙන් ලැබී ඇති බලතල මොනවාද?

නීති හා රෙගුලාසි අනුව අපට සෝදිසි මෙහෙයුම් කරන්න පුළුවන්. අත්අඩංගුවට ගන්න පුළුවන්. ප්‍රශ්න කරන්න පුළුවන්. ඒත් පැය 24ක් ඇතුළත පොලීසියට බාර දිය යුතු වනවා. එතැනදී පොලීසියත් තස්ත විමර්ශන කොට්ඨාසයත් සමඟ අප කටයුතු කරනවා. ඒත් අපට රඳවා තබාගැනීමේ කාලය දීර්ඝ කරන්න පුළුවන් නම් එයින් වඩාත් හොඳ ප්‍රතිඵල අත් කරගන්න පුළුවන්. උදාහරණයක් ලෙස: ‘එක්ස්‘ නම් පුද්ගලයකු අත්අඩංගුවට ගත්තොත්, පසුව ‘වයි‘ නම් පුද්ගලයකු අත්අඩංගුවට ගත්තොත් පමණයි ‘ඉසෙඩ්‘ නම් පුද්ගලයා අත්අඩංගුවට ගන්න පුළුවන් වන්නේ. අත්අඩංගුවට ගත් සැණින් කිසිවකු තමා දන්න දෙයක් වුණත් කියන්නේ නැහැ. දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පසු පමණයි මෙවන් අයගෙන් වැඩි විස්තර ලබාගත හැකි වන්නේ.

යුද හමුදාවට එවන් වැඩි කාලයක් රඳවා තබාගැනීමේ ඉල්ලීමක් සිදු කර තිබෙනවාද?

පැහැදිලිවම මේ අවස්ථාවේ අප ඒ පිළිබඳ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ වන විට නීති අංශ සමඟ ඒ පිළිබඳ කතාබහ සිදු වනවා. අපි ධනාත්මක පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ.

ජනතාවට බාධා නොවන අයුරින්, ජන ජීවිතයට බාධා නොවන අයුරින් ආරක්ෂක කටයුතු සිදු කරන ආකාරය පැහැදිලි කළොත්….

මුස්ලිම් කියන ජන කොටස අපේම සහෝදර ජන කොට්ඨාසයක්. අප විශේෂයෙන්ම මතක තබාගත යුතු කරුණු දෙකක් තිබෙනවා.

එකක්: ඔවුන් යුද සමයේ යුද හමුදාව සමඟ මිත්‍රශීලිව කටයුතු කළ පිරිසක්.

දෙවැන්න: ඔවුන් ත්‍රස්තවාදීන්ගෙන් බැටකෑ ජනකොටසක්. ඔවුන්ගේ සිතුම්-පැතුම් සම්ප්‍රදායයන්වලට අපට ගරු කරන්න සිදු වනවා. ඔවුන්ගේ ආගම් ඇදහීම්වලට අප ගරු කළ යුතු වනවා. ඒත් ඇතැම් අවස්ථාවල ක්‍රියාන්විත සිදු කරද්දී අපට යම් යම් දේ අකැමැත්තෙන් වුවත් කරන්න සිදු වනවා.

උදාහරණයක් ලෙස: දක්වනවා නම් මුස්ලිම් පල්ලියකට පාවහන් පැලඳ ඇතුළු වීමට බැහැ. ඒත් ක්‍රියාන්විත සිදු කිරීමේදී ඇතැම් අවස්ථාවල ඒ සම්ප්‍රදායය ඒ අයුරින්ම රකින්න බෑ. එමෙන්ම ඇතැම් විට වෙඩි බෙහෙත් සොයන සුනඛයන් පවා අපට පල්ලි වෙත ගෙනයෑමට සිදු වනවා. මුස්ලිම් ජනතාව මේ වන විට ඒ තත්ත්වය තේරුම් ගෙන තිබෙන්නේ. මා හිතනවා ඒ අය මේ අවස්ථාවේ අපට සමාවක් දෙයි කියා ඒ ක්‍රියාන්විතවලින් සිදු වන අපහසුතා ගැන.

නැඟෙනහිර පළාත්වල අන්ත වාදි කටයුතු ප්‍රසිද්ධියේ සිදු වුණා, ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්නවාද?

අන්ත වාදි ක්‍රියා ප්‍රසිද්ධියේ සිදු වුණු බව මම පිළිගන්නවා. ඒත් ආරක්ෂක හමුදාව ලෙස අපට තිබුණු ගැටලුව තමයි ඒ ජාලයේ සිටි සාමාජිකයන් නීති විරෝධි ක්‍රියාවක නිරත නොවුණු නිසා අත්අඩංගුවට ගත නොහැකි වීම. ඒත් දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා. විශේෂයෙන්ම හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගන්න අපට හැකියාව තිබෙනවා.

පාස්කු ප්‍රහාරයට පෙර යතුරු පැදියක් කාත්තන්කුඩියේදී අත්හදා බැලීමකට පු පු රු වා හැර තිබෙනවා. ඒ සම්බන්ධව යුද හමුදාවට වාර්තා වූවාද?

මේ ප්‍රශ්නය ඊටත් එහාට යා යුත්තක්. වවුනතිව්වල පොලිස් නිලධාරීන් දෙදෙනකු නැති කිරීම, එමෙන්ම වනාතවිල්ලුව අ වි ගබඩාවක් හමු වීම, මාවනැල්ලේ බු දු පිළිම හානි කිරීම හා කබීර් හෂීම් ඇමැතිවරයාගේ ලේකම්වරයකුට වෙඩි තැබීම හා පසුව සිදු කළ යතුරුපැදිය පුපුරවා හැරීම යන කරුණු එකම ජාලයක සිද්ධි බව අප තේරුම් ගත යුතුයි. ඒ තොරතුරු නිසියාකාරව හමුදාවට දැනුම් දුන්නාද යන කාරණය ගැන අවධානය යොමු කළ යුතුයි.

කාත්තන්කුඩියේ සිද්ධිය ගැන යුද හමුදාවට දැනගන්න ලැබුණේ නැතිද?

සිහුවීමෙන් පසුව දැනගන්න ලැබුණා. එහෙත් එහි පරීක්ෂණ කටයුතු කරන්නේ යුද හමුදාව නොවෙයි. ඒ ගැන සොයන්න අපට හැකියාවක් තිබුණේ නැහැ.

ඒ ගැන ඔබ ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන් දැනුවත් කළාද?

බුද්ධි තොරතුරු ඒකකය දැනුවත් කළා, ඒ වගේම ආරක්ෂක මණ්ඩලය දැනුවත් කළා. මේ සම්බන්ධව යුද හමුදාවෙන් කළ යුතු දැනුම හුවමාරු කරගත්තා. හුවමාරුව කෙසේ වෙතත් අපි දන්නා තොරතුරු ලබා දුන්නා.

නැඟෙනහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල සිවිල් නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. උදාහරණයක් ලෙස කියනවා නම් අංක තහඩු නැති යතුරු පැදි යනවා. ඒ සම්බන්ධව යුද හමුදාවට යම් පියවරක් ගත හැකිද?

දැන් තියෙන හදිසි නීතිය අනුව අපට අත්අඩංගුවට ගන්න පුළුළුන්. මේ තත්ත්වය ජනතාව තේරුම් ගත යුතුයි. ඔය වගේම තත්ත්වයක් උතුරෙත් තිබුණා. ඒත් ක්‍රමානුකූලව ඒ තත්ත්වය අප මැඬ පැවැත්වූවා.

එහෙත් අවාසනාවකට වගේ මේ ප්‍රදේශවල පොලීසිවල ඉන්න අය බොහෝ විට ඒ ප්‍රදේශවල අය. ඔවුන් ගමට යා යුතුයි. එහිදී යම් යම් තර්ජන එන්න පුළුවන්. මේ නිසා ඔවුන් පත් කරන බලධාරීන් මේ තත්ත්වය තේරුම් ගෙන සුදුසු අය පත් කරන්න කටයුතු කළ යුතු වෙනවා.

21 වැනිදා සිදු වූ සිද්ධිය ගැන යුද හමුදාව දැනුවත් වී තිබුණාද?

ඒ ප්‍රහාරය ගැන අප දැනුවත්ව සිටියේ නැහැ. එහෙත් මේ සංවිධානය ගැන අප දැනුවත්ව සිටියා. ඒ ගැන අප දැනුවත් කළා. මේ වන විට අප අත්අඩංගුවට ගන්නා පිරිස් එක්වරම අපට බාර වන අය හෝ එක්වරම සොයාගන්නන් නොවෙයි. අපෙ ඔවුන්ගේ සංවිධානය ගැන හඳුනාගෙන සිටියා.

මුස්ලිම් දේශපාලකයන් මේ ගැන දැනුවත්ව නොසිටියායැයි ඔබ සිතනවාද?

ඔවුන් සිද්ධිය සම්බන්ධව සිටියායැයි මා සිතන්නේ නැහැ. එහෙත් බල්ලොත් එක්ක නිදාගත්තොත් නැඟිටින්න වෙන්නෙ මැක්කොත් එක්ක බව දැනගත යුතුයි.

අන්තර්ජාතික වශයෙන් ආරක්ෂක ආධාර-උපකාර බලාපොරොත්තු වනවාද?

ශ්‍රී ලංකාවේ හමුදා ශක්තිය ඉතා ඉහළයි. අපි ලෝකයට යුද්ධ කරන හැටි ඉගැන්වූ හමුදාවක්. අපිට කිසිදු හමුදා භටයෙක් අවශ්‍ය නැහැ. ඒත් අපි මාස ගණන් කාලය ගන්න ඩීඑන්ඒ පරීක්ෂණ එතෙර සහායෙන් එක දිනකින් කරගන්න පුළුවන්. ඒ සහාය අප ගත යුතු වනවා. අප තාක්ෂණික සහාය ගත යුතුයි. අන්තවාදි කණ්ඩායම් ආගමික ස්ථානවල රැකවරණ ලබන බව දැනගන්න තිබෙනවා. පන්සල් පල්ලි පරීක්ෂා කළත්, නැඟෙනහිර පළාතේ මුස්ලිම් පල්ලි පරීක්ෂාවට හමුදාවට පොලීසියට අවසර දුන්නේ නැහැ.

ඉදිරියේදී ඒ සම්බන්ධව ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද?

ආගමික නායකයන් මේ සම්බන්ධව දැනුවත් වී සහයෝගය දිය යුතුයි. ආත්ම ආරක්ෂාව පිණිස යැයි කිසිවකුට කඩු-කිණිසි පැට්‍රල් බෝම්බ යනාදිය තබාගන්න බෑ. ආගමික ස්ථාන කියා වෙනසක් නෑ, හමුදාව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.

මේ අන්තවාදී කටයුතු නිම කරන්න කොපමණ කාලයක් ගත වේ යැයි ඔබ සිතනවාද?

කාලයක් කියන්න බැහැ. කුඩා කණ්ඩායමක් මේ ඉන්නෙ. ඒක නවත්වන්න පුළුවන්. මේ ජීවිත නසාගන්නා ජීවිත නසන අයයි මේ නොමඟ ගිය අය අතරේ ඉන්නෙ. මේ ඉගැන්වීම තුළ තිබෙන්නේ තමන්ගේ ආගම අදහන්නේ නැති අය ඉවත් කරන මානසිකත්වයයි. එය ඉවත් කළ යුතුයි. ඒ සහයෝගය ආගමික නායකයඑන් ලබා දෙයි කියා හිතනවා. විකෘති වූ මනස නොසාදා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ.

මේ අත්අඩංගුවට ගැනීම්වලදී දේශපාලකයන්ගෙන් ඔබට බලපෑම් එල්ල වූයේ නැත්ද?

බලපෑම් ආවා, මන්නාරමේ ප්‍රබල ඇමැතිවරයකු මට අත්අඩංගුවේ සිටින අය නිදහස් කරන්න කිව්වා. මම කිව්වා අවුරුදු එකහමාරකට පසුව මට කතා කරන්න කියලා. අන්තවාදීන්හිරේට ගත් අය අවුරුදු එකහාමරක් රිමාන්ඩ් භාරයේ තබන්න පුළුවන්.

බුද්ධි අංශ අඩපණ කිරීම නිසා මේ තත්ත්වය උදා වූ බවට චෝදනා තිබෙනවා…

අඩපණ වුණා කියන කතාව මම අනුමත කරන්නේ නැහැ. බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම නිසා ඔවුන් පසුබෑමකට ලක් වුණා. අත්අඩංගුවට ගැනීම නිසා ඔවුන් තුළ යම් මානසික පීඩනයක් ඇති වුණා වන්න පුළුවන්, ‘මම බුද්ධි අංශයේ ඉඳගෙන ඇයි මේ විදිහට බෙල්ල දෙන්නේ?‘ කියලා හිතන්න පුළුවන්. අපි රාමුවකට කොටු වී වැඩ කරන අය. එහෙත් බුද්ධි අංශවලට එසේ රාමුවක සිට කටයුතු කරන්න බැහැ.

ඒත් බුද්ධි අංශ අතර තොරතුරු හුවමාරුවේ අඩුවක් පෙනෙනවා නේද?

මා කලින් පැවසූ පරිදි ඇතැම් අය තොරතුරු එදීමේදී පසුගාමීව තිබෙන බව පැහැදිලියි. එහෙත් අප අනිවාර්යෙන්ම තොරතුරු හුවමාරු කරගත යුතුමයි. ජාතික ආරක්ෂාව පිණිස ආයතන තිබෙනවා. ඒ ආයතන හා පුද්ගලයන් වගකීම පැහැර හැර තිබෙනවා.

උපුටා ගැනීම සිළුමිණ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button