පළකල දිනය : Tue, May 7th, 2019

මල්වතු මහනාහිමිගෙන් යෝජනාවලියක්

ජාතික ආරක්ෂාව වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙස මල්වතු පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මහජනතාවට ජාති ආගම් භේදයෙන් හා බියෙන් සැකයෙන් තොරව ජීවත්වීමට සුදුසු පරිසරයක් ගොඩනැගීම රජය සතු වගකීමක් බවයි.

නිවේදනයක් නිකුත් කරමින් තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමි ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ දී සැලකිල්ලට ගත යුතු කරුණු කිහිපයක් පිළිබදව ද පෙන්වා දී තිබේ.

ආගමික අනන්‍යතාවන්ට ප්‍රමුඛත්වය දෙමින් ක්‍රියාත්මක බැංකු සහ මුල්‍ය අංශයේ ක්‍රියාත්මක වන ක්‍රමවේදයන් මෙන්ම සිවිල් නීතිය අභිබවමින් ආගමික අවශ්‍යතා මත සාමාන්‍ය පොදු ජනයා කෙරෙහි ක්‍රියාත්මක වන අධිකරණ ද අහෝසි කිරීම සිදුකළ යුතු බව උන්වහන්සේ පෙන්වා දෙයි.

එක් ජාතියකට පමණක් සීමා වූ අධ්‍යාපන ආයතන වෙනුවට රටේ සියලු ජාතීන්ට පොදුවේ අධ්‍යාපනය ලද හැකි අධ්‍යාපන ආයතන සහ පොදු විෂය මාලා හදුන්වාදීම මෙන්ම ආගමික මතවාදයන් මත යැපෙමින් ක්‍රියාත්මක කෙරෙන උසස් අධ්‍යාපන ආයතන තහනම් කිරීම ද සිදුකළ යුතු බව පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි පවසයි.

පුද්ගල අනන්‍යතාව වසන් කෙරෙන බුර්කාව සහ නිකාබ් වැනි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන වස්ත්‍ර තහනම් කිරීමට පියවර ගත යුතු බවත් දේශීය බුද්ධි අංශ වෙත බලය දෙමින් බුද්ධි අංශ ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බවත් තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි විසින් යෝජනා කර තිබේ.

මේ අතර මෙවර වෙසක් පුන් පොහෝදිනය සැමරීමේ දී ජනතාව ඒකරාශී කරන සැණකෙලි හා උත්සව ආදියෙන් වැළකීමට කටයුතු කිරීම වඩාත් සුදුසු බව සිව්නිකායික මහනාහිමිවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් සිව්නිකායික මහනාහිමිවරුන් පෙන්වා දෙන්නේ මෙවර වෙසක් පුන් පොහෝ දින සැමරුම අධ්‍යාත්මික සුපෝෂණය සඳහා උදෙසා ප්‍රමුඛත්වය ලබාදෙමින් කටයුතු කිරීම ඉතා වැදගත් බවයි.

මහජන ආරක්ෂාව තහවුරු කරමින් සියලු බෞද්ධ සිද්ධස්ථානයන්ගේ සුරක්ෂාව උදෙසා අවශ්‍ය ආරක්ෂක විධිවිධාන යෙදීමට රජය කටයුතු කළ යුතු බව ද සිව්නිකායික මහනාහිමිවරුන් අවධාරණය කර තිබේ.

Source -AdaDerana

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button