පළකල දිනය : Wed, May 8th, 2019

රටේම අවධානය වෙනතකට යද්දී සීගිරි අභයභුමිය ඩෝසර් කරලා

ඓතිහාසික පිදුරංගල ගල හා සීගිරි පව්වට බස්නාහිර ප්‍රදේශයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට අයත් අභයභූමිය යන්ත්‍ර සූත්‍ර යොදා විශාල මාර්ගයක් කැපීම හේතුවෙන් දැව සංහාරයක් ද සිදුව තිබෙන බව ප්‍රදේශවාසීහු කියති.

රටේම අවධානය වෙනත් අතකට යොමු ව ඇති මොහොතක රජයේ ඇතැම් නිලධාරීන්ගේ ද සහය ඇතිව කිසියම් පිරිසක් මාර්ගයක් පිළිසකර කරන බව පවසා සීගිරිය අභය භූමියේ අඩි තිස් පහකට ආසන්න පළලකින් යුත් විශාල පාරක් යන්ත්‍රසූත්‍ර දමා සුද්ද කොට අභය භූමියේ තිබුණු වටිනා ගස් රැසක්ද විනාශ කර දමා ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මෙසේ විනාශ කොට බිම හෙලා ඇත්තේ සීගිරි අභය භූමියේ පිහිටි වටිනා දැවමය වටිනාකමක් ඇති දඹ බුරුත ආදී වටිනා ගස් බව ඔවුහු පෙන්වා දෙති.

සීගිරිය අභය භූමිය මැදින් පැවැති කුඩා මාර්ගයක් මේ ආකාරයෙන් මිනින්දෝරු සැලැස්මක විශාල මාර්ගයක් ඇති බව පවසමින් සුද්ද පවිත්‍ර කළ බව ද ඔවුහු කියති.

සීගිරිය සහ පිදුරංගල ගල පේන තෙක් මානයේ මෙසේ මාර්ගය කපා ඇත. වැවකට ‍ප්‍රරවේශ වීම සඳහා මෙහි කෘෂි මාර්ගයක් පැවති බවද ප්‍රදේශවාසීහු කියති. එම කෘෂි මාර්ගයේ සංචාරකයන් හට වැවේ ඔරු පැදීමේ ව්‍යාපෘතියක් කණ්ඩායමක් විසින් ආරම්භ කොට තිබෙන බවත් එම ස්ථානයට ළඟාවීම සඳහා මෙම මාර්ගය කපන්නට ඇතැයි ප්‍රදේශවාසීහු සැක පළ කරති.

ප්‍රදේශවාසීන් කියා සිටියේ වසමේ ග්‍රාම නිලධාරීවරයාගේ ද අනුදැනුම ඇතිව පිරිසක් මෙය සිදු කළ බවය.

කෙසේ වෙතත් වනජීවී දෙපාර්තමේන්තුවට අයත් අභය භූමියක් නිසා මෙහි ඕනෑම කටයුත්තක් සිදු කිරීමේදී වනජීවී දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගත යුතු නිසා අප සිගිරිය වනජීවී කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී වන සත්ව අඩවි ආරක්ෂක ආර් .එම්. බණ්ඩාරනායක මහතා ගෙන් වීමසීමේ දී කියා සිටියේ මෙම ස්ථානයේ මාර්ගයක් පවතින බවට තමන්ට ගොවි සංවිධානය සහ ග්‍රාම නිලධාරිවරයා දැනුම් දී තිබුණද මෙයාකාරයෙන් ගස් කොළන් කපා මාර්ගය හෙළි පෙහෙළි කරන බවට කිසිදු ආකාරයකින් තමාව දැනුවත් නොකළ බවය.ඒ හේතුව නිසා විශාල ප්‍රමාණයක් හානි සිදු වී තිබෙන බවත් ඒ අනුව තමන් මීට විරුද්ධව ඉදිරි නීතිමය පියවර ගන්නා බවද සඳහන් කළේය.

දඹුල්ල කේ .කේ .ආරියදාස

  • 4.9K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button