පළකල දිනය : Sat, May 11th, 2019

සාධාරණ හේතුවක් ආවොත් මට යන්න වෙනවා

ධර්මප්‍රිය ඔබ වඩාත් කැමැත්තෙන් රංගන කාර්යයේ යෙදෙන මාධ්‍යය කුමක්ද?

මම චිත්‍රපටවලට තමයි කැමති. නමුත් මට අඩුවෙන්ම දායක වෙන්න ලැබිලා තියෙන්නෙ සිනමාවටයි. මම නළුවෙක් වෙන්න හිටිය කෙනෙක් නෙවෙයි. හැබැයි මට කරුමෙට සිද්ධ වුණේ නළුවෙක් වෙන්නයි. අධ්‍යක්ෂවරයෙක් වෙන්න තවම මට බැරිවුණා. තව ටිකක් ලොකුවෙලා බලනව අධ්‍යක්ෂවරයෙකුත් වෙන්න.

ඇයි ඔබට මෙතෙක් අධ්‍යක්ෂකවරයා කියන භූමිකාව කරා යන්න නොහැකි වෙන්නෙ?

ඒකටත් වැඩ කරගන්න අපිම දැනගන්න ඕනෑ. මම ඒ ගැනත් හිතල ඉන්නෙ. ඒ සඳහා මේ වෙද්දි වැඩ කරගෙන යනවා

ප්‍රබල රංගන ශිල්පියෙක් වන ඔබට රංගනයේ වඩාත් අසීරු ලෙස දැනෙන මාධ්‍යය කුමක්ද?

වේදිකාවෙදි ටිකක් බරපතළයි. අනිත් ඒව බරපතළ නැහැ කියනවා නෙවෙයි. හැබැයි වේදිකා නාට්‍යයක චරිතය අවබෝධ කරගන්න නාට්‍යයේ පිටපත වටහා ගන්න එක ඉතා වැදගත්. මට මගේ රංගන දිවියේ ගොඩක් අභ්‍යාසගත වෙන්න ලැබිලා තියෙන්නෙ වේදිකාවෙ. රාජිත දිසානායකගේ නාට්‍යවලදි ඔහු අලුත් අලුත් මාතෘකා ඔස්සේ ඔහුගේ ශෛලියේ නාට්‍ය ලියනව. ඒවයෙ වෙනස් වෙනස් චරිත තියෙනවා. ඒ චරිතවල තියෙන ගුණාංග හඳුනාගන්න ඒ චරිත කියවන්න ඕනෑ. ඒක පුදුම විදිහට මනසට වදදෙන කාර්යයක්. අපට සිනමාවෙත් එවැනි චරිත හමුවෙනවා. හැබැයි මම වැඩියෙන් අභ්‍යාසගත වෙලා තියෙන්නෙ වේදිකා නාට්‍ය එක්ක.

ටෙලි නාට්‍ය තුළ රංගනය කියන්නෙ සරල දෙයක්ද?

අද ඒක ව්‍යාපාරයක් විදිහට කරගෙන සරල කරගෙන තියෙනව. හැබැයි ඒක සරලම කරගත යුතු නැහැ. අපි රංගනයෙදි කාලයක් තිස්සෙ අභ්‍යාසගත වීම් එක්ක චරිතයක් වටහා ගන්න පුළුවන් වෙලා තියෙනව.

එකම කාල සීමාවක චරිත වැඩි ප්‍රමාණයකින් දකින්න ලැබීම ශිල්පියාගේ වටිනාකම අඩුවෙන්න බලපානව කියල ඔබට හිතෙන්නෙ නැද්ද?

මම හිතන්නෙ කලාකරුවෙක් නළුවෙක් විතරක් නෙවෙයි අධ්‍යක්ෂවරයෙක් හැටියට වුණත් තෘප්තිමත් නොවෙන තරමට තමයි හොඳ දේවල් කරන්න පුළුවන්. මමත් එහෙම තමයි. මම කොච්චර හොඳ චරිත කරල තියෙනව කියලා ප්‍රේක්ෂකයො කිව්වත් මට තව තව විවිධ චරිත ලැබෙනව නම් තමයි මම කැමති. අපි චරිතවලට හරි ලෝබයි.

අද ටෙලි නාට්‍යය ඉතාමත් හරසුන් තැනකට තල්ලුවෙලා කියන චෝදනාව ගැන ඔබගේ අදහස කුමක්ද?

ප්‍රේක්ෂකයාට ඉතා හොඳ නිර්මාණයක් ලැබෙනව නම් ඔවුන් ඒක ඉතා කැමැත්තෙන් භාරගන්නවා. ඒ වගේම හොඳ නැති නිර්මාණයක් මෙම මාධ්‍ය මගින් ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙන යනව නම් ඔවුන් විනෝදාස්වාදයක් හොයන පිරිසක් විදිහට ඔවුන්ට විඳින්න ඉතුරුවෙලා තියෙන්නෙ කුණු ජරාව නම් ඔවුන් ඒව විඳින්න හුරුවෙනව. මේකෙ වගකීම තියෙන්නෙ නිර්මාණකරුවා අතේ.

ටෙලි නිර්මාණකරුවන් හොඳ නිර්මාණවලින් දුරස් වීමට හේතුව මොකක් කියලද හිතන්නෙ?

ඒක විශාල ප්‍රශ්නයක්. සමහර නිර්මාණකරුවන්ට ඉතා හොඳ නිර්මාණයක් කරලා අවුරුදු ගාණක් බලාගෙන ඉන්න සිද්දධවෙලා තියෙනව. චැනල්වලින් මේවා විකාශය කරන්න ගන්නෙ නැහැ. එයාලට වෙළෙඳ දැන්වීම් එන්නෙ නැතිවෙයි කියලා බයවෙනවා.

දහදුක් විදලා හොඳ නිර්මාණයක් කරලා අවුරුදු ගාණක් ගිහින් තමන් වියදම් කරපු මුදලවත් බේරගන්න සටන් කරන්න තමයි සමහරුන්ට සිද්ධ වෙලා තියෙන්නෙ. ඔන්න ඔය හේතුව මතයි මිනිස්සු දහජරාව බලන්න හුරුවෙලා තියෙන්නෙ. හැබැයි හොඳ දෙයක් කරලා මිනිස්සු ඒක බලන්න හුරුවුණොත් චැනල් එකට මිලියන ගණන් ලාබයි. ඒත් අද බය නැතිව තීරණ ගන්නා අලුත් තීරණ ගන්න තියෙන ඉඩකඩ ඇහිරිලයි තියෙන්නෙ.

දෙවෙනි ඉනිමට ඇගයීම් වගේම චෝදනාත් සාධාරණයි කියලා හිතනවද?

ඕනම නිර්මාණයකට හොඳ කියන අයත් ඉන්නව. නරක කියන අයත් ඉන්නව. ඕනම දෙයක් දිගින් දිගට පාවිච්චි කරන්න ගියහම ඒක එපාවෙලා එවිට ඒ දේ හැරයන අයත් ඉන්නව. ඒ අතර අලුතින් එකතුවෙන අයත් ඉන්නවා. ඔය කාරණාව මට හොඳට පුරුදුයි. සමහර අය කාලයකදි අත්හරිනව. හැබැයි අලුතින් අය වැලඳ ගන්නව. ඒකෙ ස්වරූපය ඒකයි හැබැයි දෙවෙනි ඉනිම තවම නොසැලී ඉදිරියට යනව.

මේක ප්‍රේක්ෂකයන්ටත් මටත් ලංකාවේ ටෙලි නාට්‍යයටත් වෙනස් අත්දැකීමක්. මෙතරම් ප්‍රේක්ෂක පිරිසක් ටෙලි නාට්‍යයක් වැලඳගත් පළවෙනි අවස්ථාව තමයි මේ. දෙවෙනි ඉනිමේ මුල් අවදියේ සිටි නළුවන් බොහොමයක් නාට්‍යය හැරගියත් තවමත් ඔබ නම් දෙවෙනි ඉනිම සමගයි. මට යන්න තවම හේතුවක් නැහැ. මට යන්න සාධාරණ හේතුවක් ආවොත් යන්න වෙනව. මේ ජිවිතයෙනුත් එහෙමනෙ. අපි හැමදාම ඉන්න ආව අය නෙවෙයිනෙ.

වෘත්තියෙන් පාසැල් ගුරුවරයෙක් වන ඔබ දරුවන්ට උගන්වන්නෙ නාට්‍ය හා රංග කලාවද?

මගේ විෂය චිත්‍ර කලාව. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ චිත්‍ර මූර්ති අංශයෙ විශ්ව සන්නිවේදන සැලසුම් උපාධිය ලබලා තියෙනව. ඒ අනුව මට චිත්‍ර විෂය උගන්වන්න පත්වීමක් ලැබිලා තියෙනව.

රංගනයේ ප්‍රවීණයෙකු වන ධර්මප්‍රිය නාට්‍ය හා රංගකලාව උගන්වන්නෙ නැත්තෙ ඇයි?

මගෙන් ගොඩක් දෙනා අහනව ඇයි රඟපාන්න උගන්වන්නෙ නැත්තෙ කියලා. මම එක දෙයක් කියනවා හරියට රඟපාන්න උගන්වන්න අමාරුයි, මේක තුළ ඉන්නයි ඕන. අවුරුදු පහක් හයක් එක දිගට වැඩ කළොත් අපිට සුපිරියට හිතන්න පුළුවන්, වැඩක් කරන්න පුළුවන් මිනිහෙක් බිහිකරගන්න පුළුවන්. මාස තුනේ හයේ රංගන පාඨමාලාවලින් නළුවන් බිහිකරන්න අමාරුයි කියන එකයි මගේ අදහස. ඒක හරියට කාලය මිඩංගු කරලා විනයක් ඇතිව කරන්න ඕන දෙයක්.

නළු නිළියන් බිහිවෙන්න අද පවතින තියෙන ක්‍රමවේදය ගැන ඔබ අපැහැදීමෙන්ද?

අද විශ්වවිද්‍යාලවලත් නාට්‍ය හා රංගකලාව උගන්වනවනෙ. මට හොඳටම තේරෙන එක තමයි විශිෂ්ට නළුවන් හරි නිර්මාණශීලීව හිතන අය හැම තැනකම මදි ඒකට වෙනමම අභ්‍යාසගත වෙන්න ඕන ඒක උගන්වන්න පුළුවන් අය ඉන්නත් ඕනනෙ. මම හොඳටම දන්නව මේ කාලෙ විශ්වවිද්‍යාලවල නාට්‍ය හා රංග කලාව උගන්වන්නෙ මෑතදි නාට්‍ය හා රංගකලාව උපාධිය ගත්ත අය. මම දන්න දක්ෂ ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්ත විදිහේ අභ්‍යාස නම් කෙරෙනවද කියල සැකයක් තියෙනව.

උසස් අධ්‍යාපන ආයතනවලින් ඔබලාගේ දැනුමට හා අත්දැකීම්වලට ලැබෙන ප්‍රතිචාර යහපත්ද?

ඉඳල හිටල දැනුම බෙදා දෙන්න ඇරයුම් තියෙනව. කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයත් දවසක් දෙකක් විතර මට අඬගහල තියෙනව. කැලණිය විශ්ව විද්‍යාලයෙ හැම අවුරුද්දකටම වතාවක් ආරාධිත කථිකාචාර්ය කෙනෙක් විදිහට ඇරයුමක් ලැබෙනව. ඒවට ගිහින් මට ලැබුණ අද්දැකිම් වලින් තමයි මම ඉහත කරුණු පැවසුවේ. ඇත්තටම ශිල්පියෙක්ව හදනව කියන එක බරපතළ කාරණාවක්

සුරංජි පතිරණ
(අරුණ)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button