පළකල දිනය : Wed, May 15th, 2019

සැලසුම පෘතුගීසීන්ගේ වුණාට ගාලු කොටුව හැදුවේ සිංහලයෙක්

ජනප්‍රිය ව්‍යවහාරයේ හැටියට, ගාලු බළකොටුව මුලින් ම බැඳ වූවෝ වර්ෂ 1505න් පසුව ගාල්ලට පැමිණි පෘතුගීසීහු ය. ඉන් පසුව ලන්දේසීන් (ඕලන්ද) වර්ෂ 1658 දී පමණ ගාලු බළකොටුව ඔවුන් ගෙන් ඩැහැගෙන තම පාලනයට නතුකර ගත්හ. ඉන් පසුව එය තවදුරටත් වැඩි දියුණු කළහ. එයින් පසුව වර්ෂ 1796 දී ගාල්ල බ්‍රිතාන්‍යයන්ට නතු විණි. ඔවුහු එය තවදුරටත් වැඩි දියුණු කළහ. එයින් ගාලු කොටුව ‘යුද බළකොටුවක්’ සේ ම, ‘නගරයක’ තත්ත්වයට පත් විය. අද අප දකින්නේ එසේ නිර්මාණය වුණු ගාලු බළකොටුවයි.

කෙසේ වෙතත්, ගාලු බළකොටුව එහැමපිටින් ම විදේශීය නිර්මිතයක් නො වේය යන්න, ඒ සම්බන්ධයෙන් වන අලුත් ම කියැවීමයි.

ගාලු බළකොටුවෙහි මුල් නිර්මාණ සැලැස්ම පෘතුගීසීන්ගේ බව ඇත්ත ය. එහෙත් එහි ඉදිකිරීම් ක්‍රියාවලිය සහ තාක්ෂණ විධික්‍රමය මාතර උපන් සිංහලයෙකුගේය යන්න, නව පර්යේෂණවලින් හෙළි වුණු කාරණයයි. ගාලු උරුමය පදනමේ ව්‍යාපෘති නිලධාරී තරංග ලියනාරච්චි මහතා පවසන අන්දමට, එම තැනැත්තා ‘මාතර සමරකෝන් ප්‍රනාන්දු’ හෙවත් ‘සමරකෝන් මුදලි’ ය.

පෘතුගීසීන් ගාල්ල ඇතුළු ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනය කළ සමයේ ‘මාතර දිසාවේ’ (දිසාපති) පදවිය දැරුවේ ඔහු ය. පෘතුගීසින්ගේ පැත්ත ගත්ත ද, සමරකෝන් මුදලි රණ ශූරයෙකි.

තරංග ලියනාරච්චි මහතා, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ ඇති ‘ගාලු උරුමය පදනමේ’ ව්‍යාපෘති නිලධාරීවරයා ය. හෙතෙම, ඉපැරණි ගාලු නගරයෙහි ඉතිහාසය හැදැරීම සිය විෂයකර ගත් පර්යේෂකයෙකි. ඔහු කියන බොහොමයක් දේවල් අප මින් පෙර අසා නැති ඒවා ය. එහෙමත් නැතිනම්, මෙතෙක් අප අසා ඇති කතා පුවත්වල වෙනස් ස්වරූපයන් ය. ඉකුත් දිනයක ලියුම්කරු ඔහුගේ හැදෑරීම්වල මතකයන් අවුස්සමින්, ගාලු ඉතිහාසයේ අප්‍රකට මංපෙත්වල සැරිසැරීමේ අවස්ථාවක් උදාකර ගත්තේ ය. මෙලෙස සටහන් කෙරෙන්නේ එම කතා පෙළයි.

ජනප්‍රිය ව්‍යවහාරයේ හැටියට, ලංකාවට පැමිණි මුල් ම පෘතුගීසි නාවිකයා ලොරෙන්සෝ ද අල්මේදා ය. වර්ෂ 1505 දී කුණාටුවකට හසු වීම නිසා ඔහුගේ නෞකාව ගාල්ලට සේන්දු වූ බව, මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධව ඇති කාරණයයි. එහෙත් ඇත්ත කතාව ඊට වඩා වෙනස් ය. ලොරෙන්සෝ ද අල්මේදා වර්ෂ 1505 දී ගොඩ බැස ඇත්තේ කොළොම් තොටට ය. ඉන් පසුව ඔවුහු කෝට්ටේ අගනුවරට ගොස් සිංහල රජු බැහැ දැක්ක බව ඉතිහාසයෙහි කියැවේ. එකල කෝට්ටේ රජ කළේ හත් වැනි ධර්ම පරාක්‍රමබාහු රජතුමා ය. ‘පරංගියා කෝට්ටේ ගියා වගේ’ යන පිරුළ නිර්මාණය වූයේ ද පෘතුගීසි නාවිකයන් පිරිස කෝට්ටේ අගනුවර වෙත කැඳවා ගෙන ගිය සිද්ධියෙනි.

අනෙක, ලොරෙන්සෝ ද අල්මේදා කොළොම් තොටට පැමිණි ගමන ද කුණාටුවකට හසු වීමක් හෝ වෙන යම් අහඹුවක් හෝ නොවේ. එය හිතාමතා ම, පෙරදිග කුළුබඩු සොයා පැමිණි ගමනකි. කතාවේ සුලමුල පටන් ගන්නේ, ක්‍රිස්තු වර්ෂ 1453 දී තුර්කි ඔටෝමන්වරු ‘කොන්ස්තන්තිනෝපල් නගරය’ අල්ලා ගැනීමේ සිද්ධියත් සමගිනි. එයින් ලංකාව සහ ඉන්දියාව ආදී පෙරදිග රටවල සිට යුරෝපයට කෙරුණ කුළුබඩු සැපයුම බිඳ වැටුණි. එයින් පසුව පෘතුගීසීන් ඇතුළු යුරෝපීයයෝ කුළුබඩු ගෙන ඒම පිනිස පෙරදිගට යාමට නව මුහුදු මාර්ග සොයන්නට වූහ.

මේ කාලය වන විට, පෙරදිග සහ අපරදිග අතර කුළුබඩු ඇතුළු භාණ්ඩ වෙළෙඳාම අරා සිටියේ අරාබි ජාතික නාවිකයන් ය. යුරෝපයට කුළුබඩු ආදිය සැපයීම විශාල ලාභ ගෙන දෙන වෙළෙඳාමකි. එය තමන් අතට ගැනීමට නම් අරාබි වෙළෙන්දන් සාගරයෙන් ඉවත් කළ යුතු යයි යුරෝපීයයෝ වටහා ගත්හ. ඔවුන් පෙරදිග රටවල් සොයා එන්නට වූයේ ඒ සිතිවිල්ලෙනි.

පෘතුගාලයේ රජු මේ කටයුත්ත පැවරුවේ ‘ප්‍රැන්සිස්කෝ ද අල්මේදා’ නම් නාවික සෙන්පතිවරයාට ය. ඔහු නැව් මගින් පැමිණ බටහිර ඉන්දියාවේ මලබාර් වෙරළෙන් අරාබි වෙළෙඳුන් පලවා හරිමින් සැහැසිකම්කර, කුළුබඩු ඇතුළු වෙළෙඳාම් සියතට ගත්තේ ය. ඉන් පසුව අරාබිවරුන්ගේ නැව් කොල්ලකෑම සඳහා තම පුත්, ‘ලොරෙන්සෝ ද අල්මේදා’ ඉන්දියන් සාගරයේ දකුණු දෙසට පිටත්කර හැරියේ ය. වර්ෂ 1505 දී ලොරෙන්සෝ ද අල්මේදා කොළඹට ගොඩ බැස්සේ, අරාබිවරුන්ගේ නැව් සොයා සැරිසරද්දී ය. එය අහම්බෙන් වුණු දෙයක් ම නොවේ. ඔහු කොළඹට පැමිණියේ ද අරාබිවරුන්ගේ නාවික වෙළෙඳාම් කොල්ලකනු පිණිස ය.

කොයිහැටි වෙතත්, කොළඹට ගොඩබට පෘතුගීසීහු කෝට්ටේ ධර්ම පරාක්‍රමබාහු රජු සමග වෙළෙඳාම් අරභයා ගිවිසුම්ගත වූහ. ඒ අනුව, රට තුළ නිපදවන කුරුඳු, පුවක්, ගම්මිරිස් ඇතුළු වෙළෙඳ භාණ්ඩ අරාබිවරුන්ට නො දී පෘතුගීසින්ට දිය යුතු ය. පෘතුගීසිහු රජුට අයත් කොළඹ සහ ගාල්ල යන නැව් තොටුපොළවල් ආරක්ෂාකර දිය යුතු ය. ගිවිසුම් කෙසේ වුව ද, රජ්ජුරුවෝ ද, වෙළෙඳාම්කර ගන්නට අවසර දුන්නා මිස ඔවුන්ට බළකොටුවක් තනා ගන්නට අවසර දුන්නේ නැත.

පෘතුගීසීන් එන්නට පෙර ද ගාල්ල උඩරට සිංහල රජවරුන්ගේ පාලනය යටතේ පැවති වරායක් විය. ලංකාවේ නිපදවන විවිධ වෙළෙඳ භාණ්ඩ ලෝකයට සැපයුම් කෙරුණේ ගාල්ලෙනි. රජවරුන්ගේ අනුදැනුම පරිදි, ප්‍රාදේශීය පාලකයන් වරාය පාලනය කරමින් සිටියහ. එකල ගාල්ලෙන් එතෙර යැවුණු බඩු භාණ්ඩ අතර, පුවක්, ගම්මිරිස්, කුරුඳු, සාදික්කා, කැස්බෑ ලෙලි, මුතු සහ මැණික් ආදී බඩු භාණ්ඩ ද, අලි ඇතුන් ද මුල් තැන් ගත්තේ ය. ගාල්ලේ නාවික වෙළෙඳාම ද අරාබිවරුන් අත පැවතිණි. කොළඹ පැළපදියම්ව සිටි පෘතුගීසින්ට ගාල්ල ද ඕනෑ විය. එහෙත් ගාල්ල වරාය පාලනය වූයේ එවකට සීතාවක රජ කළ රාජසිංහ රජු (ක්‍රි. ව. 1581-1593) යටතේ ය.

සීතාවක රාජසිංහ රජු පෘතුගීසි විරෝධියෙකි. ගාල්ල වරායෙහි සම්පූර්ණ පාලනය තමන්ට දෙන්නැයි පෘතුගීසීහු ඉල්ලුහ. එහෙත් රජු ඊට එකඟ නො වීය. වර්ෂ 1570 ගණන්වලින් පසුව ඔහු පෘතුගීසීන්ට එරෙහිව සටන් වැදුණේ ය.

කෙසේ වෙතත්, මේ වන විට ද ගාලු තුඩුව ආශ්‍රිතව පෘතුගීසි ජනාවාසයක් පැවතිණි. ඔවුන් එහි ‘පෝටලේසා’ නම් කුඩා බළකොටුවක් තනා ගෙන විසූහ. එහි පෘතුගීසි පවුල් 275ක් පමණ පදිංචිව සිටි බව පැරණි ලේඛනවල සඳහන් වේ. එහි සිටි පෘතුගීසින්ට කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල රජුගේ සහාය ලැබිණි. ඔහු සිටියේ පෘතුගීසීන්ගේ තුරුල්ලේ ය.

වර්ෂ 1580 දී පමණ පෘතුගීසිහු ගාල්ල අල්ලා ගැනීමට බිහිසුණු යුද්ධයක් ආරම්භ කළහ. එයට නායකත්වය දුන්නේ මාතර සමරකෝන් මුදලි ය. මේ සඳහා කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල රජුගේ සහාය ද ලැබිණි. යුද්ධය පැවතියේ සීතාවක රාජසිංහ රජුගේ සේනා සහ සමරකෝන් මුදලි නායකත්වය දුන් පෘතුගීසි සේනාවන් අතර ය.

මාතරින් බිහිවුණු සිංහලයෙකුවූ සමරකෝන් මුදලි පෘතුගීසීන්ට එකතු වූයේ කෙසේ ද කියා අපැහැදිලි ය. එහෙත් ඔහුගේ පියා, දොන් ජුවන් ධර්මපාල රජුගේ භාෂා පරිවර්තකයෙකු ලෙස රාජකාරියෙහි යෙදුණු බව පැරණි කතා පුවත්වල සඳහන් ය. ඒ සබඳකම් උඩ ඔහු පෘතුගීසීන්ගේ හිතෙෂියෙකු වන්නට ඇත. කිතු දහම වැළඳ ගන්නට ද ඇත.

පෘතුගීසි යුද බලඇණි මෙහෙයවමින්, සමරකෝන් මුදලි ගාල්ල අල්ලා ගැනීමට කළ යුද්ධය බිහිසුණු එකකි. එහි දී දෙවිනුවර උපුල්වන් දෙවොල ගිනි තබා වනසා, එහි තිබුණු වස්තු සම්පත් ද කොල්ලකනු ලැබී ය. දෙවුන්දර සිට ගාල්ල දෙසටත්, ගාල්ලේ සිට කළුතර දෙසටත් ඔවුන්ගේ යුද ප්‍රහාරයේ බලපෑම දැනුණි. ඔවුහු කෝට්ටේ යුගයෙහි මහා සාහිත්‍ය මෙහෙවරක් සිදු වුණු, තොටගමුව විජයබා මහ පිරුවන ද ඇතුළුව දකුණු පළාතේ මුහුදුබඩ පෙදෙස්වල පැවති බෞද්ධ වෙහෙර විහාර රාශියක් ද විනාශ කළහ. ඒ වන විට ගාල්ල බොහොම සශ්‍රීක වරායකි.

‘මේ ගොල්ලෝ මාපලගම පැත්තෙන් ප්‍රහාර එල්ලකර ගෙන ගිංගඟ පහළට ඇවිත් ගාල්ලට කඩා වැදුණා. ගාලු වරායේ තිබුණු රාජසිංහ රජුට අයත් වෙළෙඳ ගබඩා පවා ගිනි තැබුවා’, තරංග ලියනාරච්චි මහතා කියන්නේ ය.

මේ කාලයේ ලංකාවේ පෘතුගීසි පාලනය හසුරුවනු ලැබුවේ ‘ගෝවේ’ සිටි (ඉන්දියාවේ) පෘතුගීසි ප්‍රතිරාජයා විසිනි. ගාලු තුඩුව අල්ලා ගත් පෘතුගීසීහු එහි පුළුල් බළකොටුවක් ඉදි කරන්නට තීරණය කළහ. ගාලු තුඩුවේ පිහිටි බිම්කඩ, මායිම් වූයේ ගාල්ල වරායෙනි. එබැවින් ගාල්ල ඔවුන්ට අතිශයින් ම වැදගත් භූමියක් විය. මුර අට්ටාල හතරක් ද සහිතව ගාල්ලේ නව බළකොටුවක් ඉදි කිරීම පිණිස ඔවුහු ගෝවේ පෘතුගීසි ප්‍රතිරාජයා ගෙන් අවසර ඉල්ලූහ. අවසරය ලැබිණි. එහෙත් ඒ, මුර අට්ටාල තුනක් සහිතව නව බළකොටුව තනවන්නට ය. නව බළකොටුව ඉදිකිරීම පැවරුණේ සමරකෝන් මුදලිට ය.

ගාලු වැසියන් ‘කොටුව’ නමින් හඳුන්වන, ‘කොටු බැම්ම’ හෙවත් ආරක්ෂක පවුරෙන් වට කෙරුණු බිම්කඩ ‘ගාලු කොටුව’ නම් වෙයි. එය පිහිටා ඇත්තේ ගාලු සමුද්‍ර බොක්කේ, මුහුදට නෙරා ගිය තුඩුවක් ආශ්‍රිතව ය. එම භූමිය දළ වශයෙන් අක්කර 96ක් පමණ විශාල ය. එය ගොඩබිමට සම්බන්ධව ඇත්තේ එක පැත්තකින් පමණ ය. තුන් පැත්තකින්ම මුහුද ය. ගාලු කොටු බැම්මේ සමස්ත දිග, කිලෝමීටර් 2.5ක් පමණ වේ. එය අඩි 50ක් පමණ පළල ය. උස අඩි 50-70ත් අතර වේ. පැරණි ගාලු කොටුව, අතිශයින් ම ප්‍රතාපවත් ‘බළකොටු නගරයකි’.

එකල ගාලු බළකොටුව ඉදි කිරීම මහත් අභියෝගාත්මක කටයුත්තක් වන්නට ඇත. තරංග ලියනාරච්චි මහතා ඒ තොරතුරු දිග හරින්නේ මහත් අභිරුචියෙනි.
‘ගාල්ලේ ඔය තුඩුවක් වගේ භූමියේ මුහුද ආසන්නයෙන් ම තිබිලා තියෙන්නේ මහා ගල් කන්දක් වාගේ ස්වාභාවික පිහිටීමක්. ගාලු කොටු බැම්ම බැඳලා තියෙන්නේ, ඒක භාවිතා කරලයි. කොටු බැම්ම බඳින්න අරන් තියෙන ලොකු ගල් කුට්ටි කපලා අරන් තියෙන්නෙත් එයින් ම තමයි’ ඔහු කියයි.

පෘතුගිසීන්ගේ ඕනෑකමට සමරකෝන් මුදලිගේ මෙහෙයවීමෙන් බැඳුණු මුල් ම ගාලු කොටුවේ නිර්මාණ සැලැස්ම පෘතුගීසීන් හැදූ එකකි. එය ගාලු තුඩුවේ ජීවමාන කරන ලද්දේ සමරකෝන් මුදලිගේ දැනුම් සම්භාරයෙනි.

වර්තමානයේ මෙන් ‘ගල් බෝර ගැසීම් නො තිබුණු එකල, කළු ගල් පලා, කපා, කොටා සකස් කළේ දේශීය තාක්ෂණය අනුව ය. සමරකෝන් මුදලි ගාලු කොටුව බඳින්නට ද භාවිත කළේ ද දේශීය තාක්ෂණයයි. ඒ අනුව මුලින් ම කෙරෙන්නේ, යකඩ කූඤ්ඤ භාවිතයෙන් තෝරා ගත් ගල් කුළෙහි එක පේළියට හතරැස් හිල් හාරා ගැනීමයි. ඉන් පසුව යකුළකින් කූඤ්ඤ බස්සන විට ගල් කුළ පැලී යයි. ගල් කුට්ටි සහ ගල් කණු ආදිය සකසා ගන්නේ ද මේ ක්‍රමයට ය. එය පාරම්පරික ක්‍රමයකි. සමරකෝන් මුදලි සිය බල සෙනග යොදවා ගාලු කොටුව ගලින් බඳිනු ලැබුවේ මේ ආකාරයට ය. ගාල්ලේ බද්දේගම, මීමැඩුම නම් පාරම්පරික ගල් කැටයම් ගම්මානයේ අදත් මේ ක්‍රමය භාවිතා කෙරේ.

ගාලු කොටුවේ ‘ක්ලිපන්බර්ග් මුර අට්ටාලය’ අසල ගල් කුළක, මේ ආකාරයට ගල් කුට්ටි නෙළීමෙන් හට ගත් කූඤ්ඤ කටු සලකුණු අදත් දැකිය හැකි ය. ගාලු කොටුවේ තවත් ස්ථාන ගණනාවක ම එබඳු සලකුණු දක්නට ලැබේ.

සමරකෝන් මුදලිගේ මෙහෙයවීමෙන් මුලින් ම ඉදි කෙරී ඇත්තේ ‘හිරු’, ‘සඳු’ සහ ‘තාරකා’ යන මුර අට්ටාල ත්‍රිත්වයයි.

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර
උපුටා ගැනීම – අරුණ පුවත්පත

  • 412
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button