පළකල දිනය : Tue, May 21st, 2019

දිගම නම ඇති විදුහල්පතිනියගේ කතාව

“මගේ නම හුඟක් දිගයි. ඔන්න එහෙම නම් ලියා ගන්නකෝ” ඇය කියන්නීය.

“සපත සාපති සා දිසාපති බමුණු බ්‍රාහ්මණ අබේකෝන් විජේසුන්දර විජේකෝන් මුදියන්සේලාගේ බිසෝ මැණිකේ විජේකෝන්.” නම කියූ ඇය සිනාසෙන්නීය. “හුඟක් දිගයි නේද?” සිනාසෙමින් අසන්නීය.

එහෙත් ඇයගේ ජාතික හැඳුනුම්පතේ සඳහන්ව ඇත්තේ විජේකෝන් මුදියන්සේලාගේ බිසෝ මැණිකේ විජේකෝන් යනුවෙනි.

“ඒ කා‍ලේ මගේ දිග නම හැමෝටම ප්‍රශ්නයක් වුණා. මම කොළඹ ට්‍රේනින් කො‍ලේජ් එකට ඇතුළත් වෙන්න සම්මුඛ පරීක්ෂණයට ගිහින් නම කිව්වම එතැන හිටපු අය පුදුම වුණා. ආයේ නම කියන්න කිව්ව. මම ආයෙ කිව්වා. ඔය නම කෙටි කරල කියන්න බැරිද ඇහුව. ඒ ගමන මම කෙටි කරලා විජේකෝන් මුදියන්සේලාගේ බිසෝ මැණිකේ විජේකෝන් කියල කිව්වා. අන්තිමට ඔය පුතා අතේ තියෙන ජාතික හැඳුනුම්පතටත් ආවේ ඒ නම තමයි.’ ඇය අප හිත මතු කළ සැක දුරු කරන්නීය.

බිසෝ මැණිකේ විජේකෝන්ගේ දැන් වයස අවුරුදු එකසිය දහයකි. ඇය උපන්නේ 1909. සැප්තැම්බර් 10 වැනිදාය. ගුරුවරියක වූ ඇය විශ්‍රාම ගත්තේ විදුහල්පතිවරියක් හැටියටය.

“සමහර විට මේ ලෝකෙ ජීවත්වෙන වයසතම විදුහල්පතිනිය මම වෙන්න ඇති නේද?” ඇය මගෙන් අසන්නීය.

දැනට සිය දියණියක වන සුජාතා හේරත් වාරිය‍පොල සමග කුරුණෑගල අබලව පදිංචිව සිටින ඇය කොයි කාටත් “බුළුවල නෝනා මහත්තයා”ය.

මහනුවර නුගවෙල වලලගෙදරදී උපන් බිසෝ මැණිකේ බුළුවල නෝන මහත්තයා වූයේ 1936 දී වාරිය‍පොල උක්කුබණ්ඩා ඉස්කෝ‍ලේ මහත්තයා සමග විවාහ වීමත් සමගය.

“මම කසාදබඳින කොට මහත්තය ඉගැන්නුවේ බුළුවල ඉස්කෝ‍ලේ. ඒ නිසා හැමෝම මට බුළුවල නෝන කියන්න ගත්ත.” ඒ බුළුවල නෝන කෑල්ල තමයි ඔය අදත් පාවිච්චි කරන්නේ.” අද කොයි කවුරුත් ඇය හඳුන්වන නම පටබැඳුණ ආකාරය ඇය පහදයි.

නුගවෙල ආණ්ඩුවේ මිශ්‍ර පාඨශාලාවෙන් අටවැනි ශ්‍රේණිය දක්වා උගත් බිසෝ මැණිකේ 1920 ගණන්වල අගභාගයේදී මොනිටර් ගුරුපත්වීමක් ලබන්නීය. ඒ ඇය උගත් නුගවෙල පාසලටමය.

“නුගවෙල ඉස්කෝලෙ උගන්වන ගමන් තමයි ට්‍රේනින් කො‍ලේජ් ගියේ. ඒ 1931 ඒ කා‍ලේ කොළඹ විතරයි ට්‍රේනින් කො‍ලේජ් එකක් තිබුණේ. ඒක තිබුණෙත් දැන් ඔය කොළඹ රෝයල් කො‍ලේජ් එක තියෙන කිට්ටුව. මම එතැන අවුරුදු දෙකක් ගුරු පුහුණුව ලැබුව.”

ගුරු පුහුණුවෙන් පසු ඇයට පත්වීම් ලබන්නේ මහනුවර යටවත්ත පාසලටය. එහිදී ඇය සිංහල, බුද්ධාගම, සෞඛ්‍යය ඇතුළුව විෂයන් ගණනාවක්ම ඉගැන්වූවාය.

“ඒ කා‍ලේ ගුරුවරුන්ට ඕනෑ දෙයක් උගන්වන්න පුළුවන්.මම මැහුම් මාධ්‍ය ඉගැන්නුව. ආසම විෂයය තමයි සිංහල, සුභාෂිතය, ලෝවැඩ සඟරාව කට පාඩම්. ඕනෑ නම් දැනුත් කියල පෙන්වන්නම්.”

ඇය සුභාෂිතයේ, ලෝවැඩ සඟරාවේ කවියක් දෙකක් ගයා පෙන්වන්නීය.

නුගවෙල උපන් බිසෝ මැණිකේ විවාහ වෙන්නේ 1936 වසරේදීය. එවිට ඇගේ වයස අවුරුදු විසිහයකි. ඇගේ අතගත් මනාලයා වුයේ වාරිය‍පොල උක්කුබණ්ඩා ඉස්කෝලෙ මහත්තයාය. උක්කුබණ්ඩා මහත්තයාද වෙනින් කවුරුත් නොවේ. බිසෝ මැණිකේ ඉස්කෝල නෝනාගේ අක්කණ්ඩියගේ සැමියාගේ එනම් මස්සිනාගේ බාල සොහොයුරාය. කලින් කී පරිදි ඇය බුළුවල නෝනා වෙන්නේ එතැන් සිටය.

1936 දී හමුවූ උක්කුබණ්ඩා මහත්තයා සමග ඇය පුරා වසර විස්සක් දීග කන්නීය. “අනේ 1956 දී එයා අන්තරා වුණා. කාර්යක හැප්පිලා. ඒ වෙන කොට අපි ඉගැන්නුවෙ කොස්වත්තේ ඉස්කෝලෙ. දරුවොත් පුංචි නිසා මම ඒ අයත් අරගෙන මහත්තයාගෙ ගමේ වාරිය‍පොල සුමංගල මාවතේ පදිංචියට ආව. ඇවිත් එහෙ හිටිය. ඒ ඉන්න කොට තමයි මේ සුජාත දුවගේ මහත්තය නැති වුණේ. ඉතින් මම වාරිය‍පොල ගේ පුතාට දීල මේ දුව ළඟට ආව. දැන් අවුරුදු විසිපහක් විතර ඇති.” වාරිය‍පොලින් කුරුණෑගලට එන්නට සිදුවූ හැටි ඇය කියයි.

මම අන්තිමට ඉගැන්නුවේ වාරිය‍පොල ඤාණෝදය ඉස්කෝ‍ලේ. මුලින්ම නියෝජ්‍ය විදුහල්පති, පස්සේ විදුහල්පති වුණා. මම උගන්වපු දරුවෝ හුඟ දෙනෙක් හොඳ හොඳ තැන්වල ඉන්නව. අදටත් ඒ අය මාව බලන්න එනව. එදා අපි ළමයින්ට නරක විදියට දඬුවම් කළේ නෑ. ඒත් දඬුවම් කළ යුතු තැනදී නිකං හිටියෙත් නෑ. හැබැයි අපි දරුවෙකුට දඬුවම් කළා කියල මව්පියො ඉස්කෝලෙට ආවෙත් නෑ. ‍පොලීසි ගියෙත් නෑ. ඇය කියන්නේ ආඩම්බරයෙනි.

බිසෝ මැණිකේ හෙවත් බුළුවල නෝනා ගුරු වෘත්තියට සමු දෙන්නී 1969 වසරේදීය. ඒ හතළිස් පස් වසරක ගුරු සේවයෙන් පසුවය.

“මම වෙන්න ඇති ලෝකේ ජිවත්වන වයස්ගතම විදුහල්පතිනිය” ඇය නැවත නැවතත් කියන්නී ආඩම්බරයෙනි.

“මම නිතර බණ අහනව. පිරිත් අහනවා. පින් දහම් කරනව. මගේ දුවල පුතාලත් මට ඒවට උදව් කරනව.”

බිසෝ මැණිකේ නැතිනම් බුළුවල නෝනාගේ වැඩිමහල් පුත්‍රය. ජී. බි. එම්. වාරිය‍පොළය. දැන් ඔහුගේ වයස අවුරුදු අසූවකි.

“මේ අවුරුද්දටත් මට තෑගි ගොඩක් ලැබුණ. ලොකු පුතා ඇවිත් අවුරුදු නැකතට කිරිබතුත් කැව්ව“ ඇය කියන්නේ හැඟීම්බරවය. මට දරුවෝ හයක් ඉන්නව. ඒ අය ඔක්කොම හොඳට මට සලකනව. අමරදුව දැන් මාස කීපයකට කලින් මිය ගියා.

බුළුවල නෝනාට දැන් තනිව ඇවිදීම මඳක් අපහසුය. ඒ හැර වෙනත් අසනීපයක් ඇයට නැත.” තවම මට කවි එහෙම හොඳට මතකයි.” ඇය නැවතත් කවියක් කියා පෙන්වන්නීය.

“අප ඇගේ දෙපා වැඳ සමුගන්නා විට දැන් ඔය මම කියාපුව හරියටම ලියන්න ඕනෑ පුතේ” යැයි කියා මහ හඩින් සිනාසුණේ ඇයගේ විදුහල්පති භූමිකාව සෑහෙන කලකට පසුව අපට සිහිපත් කරමිනි.

සටහන හා ඡායාරූප : කේ. ඒ. ජයසූරිය
(ලක්බිම)

  • 1.5K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button