පළකල දිනය : Tue, Jun 4th, 2019

දුවගේ අනාගතය සිංගප්පූරුවට බාර දීලා උදාරි ඊළඟට

උදාරි වර්ණකුලසූරිය කියන්නේ බොහෝදෙනා ආදරය කරන රංගන ශිල්පිනියක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. රිදී තිරයෙන් නිතර දකින්නට ලැබෙන උදාරි ගැන දැනගන්නට ලැබුණු අලුත් ආරංචියක් ගැන ඔබට කියන්නයි මෙම සංවාදයට අපි ඇයව එක්කාසු කරගත්තේ.

උදාරි ළඟදීම රට හැරයන්න සූදානම් වෙනවා කියන්නේ ඇත්තද?

මම කොහොමත් නිතරම සිංගප්පූරුවට යනවා එනවානේ. මොකද මගේ මහත්තයා රැකියාව කරන්නේ සිංගප්පූරුවේ. ඒත් ඉතින් ජූලි මාසයෙන් පස්සේ නම් මට වැඩි කාලයක් සිංගප්පූරුවේ නැවතී ඉන්න සිද්ධ වේවි.

ඇයි ඒ?

ඒ දුවගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. දැනට ඇය ලංකාවේ අධ්‍යාපනය ලැබුවත් ලබන ජූලි පළමු වැනිදා ඉඳලා එයා අධ්‍යාපනය ලබන්නේ සිංගප්පූරුවේ.

ඇයි හදිස්සියේ මේ වගේ තීරණයක් ගත්තේ?

ඒක හදිසියේ තීරණය කරපු දෙයක් ‍නෙවෙයි. අපි මුල ඉඳලම දුවට සිංගප්පූරුවේ අධ්‍යාපනය ලබාදෙන්නයි හිතාගෙන හිටියේ. ඒත් ඒ රටේ වයස අවුරුදු 07 වනතුරු පාසල් අධ්‍යාපනය ආරම්භ කෙරන්නේ නැහැ. ජුනි මාසය වෙනකොට දුවගේ වයස අවුරුදු 07 සම්පූර්ණ වෙනවා. ඒ නිසා ජූලි මාසයේ පළමු වැනිදා ඉඳලා එයාගේ අධ්‍යාපන කටයුතු එහෙදී අරඹන්න පුළුවන්.

ඔය කියන විදිහට ඉදිරියේදී ඔබටත් සිංගප්පූරුවේම නවතින්න වේවි නේද?

අම්මා කෙනෙක් සහ බිරිඳක් වදියට මගෙන් පවුලට යුතුකම් ඉටුවෙන්නට ඕනේ. ඒත් ඒත් ඒ වගේම මට ආදරේ කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙනුත් මම යමක් කළ යුතුයි. මොකද ප්‍රේක්ෂකයන් මාව බලා‍පොරොත්තු වෙනවා. මට ආදරේ කරනවා. මට කවදාවත් ඒ ආදරේ දෙවැනි කරලා සලකන්න බැහැ. ඒ නිසා මට ආදරේ කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මට යමක් කරන්නට ඕනේ. ඒ නිසාම පවු‍ලේ වගකීම ඉටු කරනවා වගේම ප්‍රේක්ෂකයන් මගෙන් බලා‍පොරොත්තු වෙන දේ ඔවුන්ට ලබාදෙන්නත් මම කටයුතු කරනවා. කොහොමත් මටම ආදරේ කරන ප්‍රේක්ෂකයන්ගේ ආදරේ කවදාවත් මම හෑල්ලුවට ලක් කරන්නේ නැහැ.

පවු‍ලේ වගකීමයි, කලාකටයුතුයි දෙකම සමබර කරගන්න පුළුවන් වේවිද?

ප්‍රේක්ෂක ආදරය මට හැමදාමත් එක වගේම ලැබුණා. ඒකට මගේ හොඳ කාලයද නරක කාලයද කියලා වෙනසක් තිබුණේ නැහැ. ඒ ආදරේ අඩුවක් වෙන්නේ නැහැ කියලත් මම දන්නවා. මම ඔවුන්ව අතහරින්නේ නැහැ. අනික මට ඒ වගේ දෙයක් කරන්න කවදාවත් මගේ සැමියා ඉඩදෙන එකකුත් නැහැ. මොකද එයාම තමයි ඔයාට පුළුවන් කාලයේ මොනවා හරි දෙයක් කරන්න කියලා මාව උනන්දු කරවන්නේ.

මේ දිනවල නිරත වන කලා කටයුතු ගැන විශේෂයන් කියන්න තියෙන්නේ මොනවාද?

මේ දිනවල අහස් මාලිගා ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ජුනි මාසයේ බෙනට් රත්නායක මහතාගේ කවුරුවත් දන්නෙ නෑ චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ වීමට නියමිතයි. ඇත්තටම මට එහි ලැබිලා තියෙන්නේ මගේ පෞද්ගලික ජීවිතයටත් ගොඩක් සමීප චරිතයක් කියලයි හිතෙන්නේ. සංවේදී හදවතක් තියෙන ආදරණීය, බිරිඳක් මවක් විදියට තමයි ඒ චරිතය ගොඩනැගී තියෙන්නේ. ඒ වගේම ජූලි මාසයේ මා රඟපෑ ජැක්සන් ඇන්තනී මහතාගේ අලුත්ම චිත්‍රපටයත් එන්න තියෙනවා. අගෝස්තු මාසයේදී ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ අලුත්ම චිත්‍රපටයටත් මම රංගනයෙන් දායක වෙනවා.

ඒ කියන්නේ මේදිනවල ඔබ හුඟක් කාර්යබහුලයි?

ඇත්තටම ඔව්. මේ දවස්වල මම කාර්යබහුලත්වයේ උපරිම තැනට ඇවිල්ලයි ඉන්නේ. ඒත් මම ඒ ගැන සතුටුයි. මොකද කාර්යබහුල වෙනවා කියන්නේ මාව ඇගයීමකට ලක්වෙනවා කියන එකයි. කොහොම වුණත් පවුලට සහ දරුවාට මූලිකත්වය දීලා හැමදේම කළමනාකරණය කරගෙන මේ ගමන යනවා. ඒ ගමනේදී මගේ අම්මා, තාත්තා සහ මහත්තයා මට විශාල සහයෝගයක් ලබාදෙනවා.

තමරා කල්හාරි

  • 828
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button