පළකල දිනය : Sun, Jun 9th, 2019

මේ වතාවෙත් වාසනාව මගේ පස්සෙන් ආවා

නෙහාරා කාලෙකට පස්සේ ලංකාවට ඇවිදින් මේ කරන්න යන අලුත් වැඩේ මොකක්ද?

අවුරුදු තුනකට පස්සේ ගිය අවුරුද්දේ අග තමයි මම ලංකාවට ආවේ. මේනක නම් ආව ගමන් ටෙලි නාට්‍ය කිහිපයකම වැඩ පටන් ගත්තා. ඒත් මම හිතුවා කාලෙකින් වැඩ කරන්න පටන් ගනිද්දී මතක හිටින දෙයක් කරන්න ඕනේ කියලා. ඒ අනුව මම දැන් සිරස රූපවාහිනී නාලිකාවෙන් විකාශය වෙන “සුපර් මම්” රියැලිටි වැඩසටහනේ විනිසුරුවරියක ලෙසින් කටයුතු කරනවා. මෙහි විකාශන කටයුතු පසුගිය 25 වැනිදා ආරම්භ වුණා. මේ වැඩ සටහනේදී අම්මලා බබාලා එකම වේදිකාවකදී තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරනවා.

මේක ඔබට අලුත් අත්දැකීමක් නේද?

ඇත්තෙන්ම ඔව්. මම රංගන ශිල්පිනියක්. විනිශ්චය මණ්ඩල සාමාජිකාවක් ලෙසින් මීට කලින් කවදාවත් මම කටයුතු කරලා නැහැ. ඇත්තටම එහෙම විනිශ්චය මණ්ඩලයකට ඇතුළු වෙන්න මට සුදුසුකමක් තියෙනවාද කියන කාරණය ගැනත් මම ගොඩක් හිතුවා. ඒත් එක්ක මට පුදුම හිතුනා. මට ආරාධනා කිරීම ගැන මොකද විනිශ්චය මණ්ඩලයකට ආරාධනා කරන්නේ, අත්දැකීම් අතින් පරිණත අයටනේ. මට එහෙම අත්දැකීමක් නැහැ. ඒත් ඒ ආරාධනාව මම බාර ගත්තා. හැබැයි මේක මට අභියෝගයක්. ඒ වගේම හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ හැමදාම වගේ වාසනාව මේ වතාවෙත් මගේ පසුපස ආවා.

ඒ කියන්නේ ඔබේ ජීවිතේ වැරදුනු තැන් ඇත්තේම නැද්ද?

ඉපදුණු දවසේ ඉඳලම මම හරිම වාසනාවන්තයි කියලයි මට හිතෙන්නේ. ඒකනේ ගොඩක් අඩු වයසෙන් ක්ෂේත්‍රයට ඇවිත්, එකම එක නිර්මාණයකින් මේ තරම් ප්‍රේක්ෂක ආකර්ෂණයක් මට දිනා ගන්න පුළුවන් වුණේ. අද මේ විදියට විනිසුරු පුටුවක වාඩිවෙන්න ලැබෙන්නෙත් ඒ වාසනාව නිසයි. හැබැයි මටත් ජීවිතේ වැරදුණු තැන් තියෙනවා. ඒ කිසිම දෙයක් ගැන සෘණාත්මකව හිතන්නේ නැහැ. මම විශ්වාස කරන්නේ හැමදේම අපට ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව කියලයි. මොනදේ වුණත් මගේ ජීවිතේට සිදුවුණූ හැමදේම ජීවිතේට එකතු වුණු විශාල අත්දැකීම්. මේ විනිසුරු පුටුවත් ඒ වගේ මගේ ජීවිතේට එකතු වුණු විශාල අත්දැකීමක්.

අම්මලාගේ බබාලාගේ දක්ෂතා දැකලා නෙහාරාටත් ඉක්මනින්ම අම්මා කෙනෙක් වෙන්න හිතේවිද?

ඒ දේවල් වෙන්න ඕනෑ වෙලාවට සිද්ධ වේවි. මොකද අවුරුදු ගාණකින් ලංකාවට ඇවිත් තවම මම ක්ෂේත්‍රය වෙනුවෙන් දෙයක් කරන්න හිතුවා විතරයි. ඉතින් දැන්ම බබෙක් ගැන හිතලා වැඩ කටයුතුවලට බාධාවක් කර ගන්න මම කැමැති නැහැ. එහෙම වුණොත් නිර්මාණකරුවන් අපි නිසා ලොකු අපහසුවකට පත්වෙනවා. ඒ නිසා ඒ හැමදේම හිතලා තමයි කවදා හරි දවසක අපි දරු පැටියෙක් ගැන හිතන්නේ.

තමාරා කල්හාරි

  • 300
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button