පළකල දිනය : Mon, Jun 10th, 2019

අරාබි අකුරු ඇති නාමපුවරු ඉවත් කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

විවිධ ප‍්‍රදේශවල ඇති අරාබි අක්‍ෂර සඳහන් නාම පුවරු වහාම ඉවත් කිරීමට අදාළ චක‍්‍රලේඛයක් මේ වනවිට නිකුත් කර ඇතැයි රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.

ඒ අනුව වහාම අදාළ නාම පුවරු ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කරනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“පොදු ප්‍රතිපත්තියක් හැටියට සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා 03ට අමතරව වෙන භාෂාවක් දා ගන්නට ඉඩ දෙන්න බෑ” යනුවෙන්ද සඳහන් කළා.

වෙනත් භාෂාවකින් නාම පුවරුවක් ප‍්‍රදර්ශනය කිරීමට අවශ්‍ය නම් ඒ සදහා විශේෂ අවසරයක් ලබාගත යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජිවත් වන ප‍්‍රදේශ කිහිපයක ඇතැම් නාම පුවරු අරාබි අක්‍ෂර සහිතව ප‍්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් ආගමික කටයුතු හිටපු අමාත්‍ය අබ්දුල් හලීම් මොහොමඞ් හසීම්ගෙන්ද විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ “පසුගිය කාලවල අරාබි රටවල්වල ආධාර ලබාගෙන ඉදි කරන ලද ගොඩනැගිලිවල ඔවුන්ට ස්තූති කරමින් අරාබි අකුරෙන් නාම පුවරු යොදා තිබූණා. ඇතැම් ස්ථානවල එසේ නොමැතිව අරාබි භාෂාවෙන් නාම පුවරු යොදා තිබෙනවා. රජය මේ ඔක්කොම ඉවත් කරන්න තීරණයක් අරගෙන තියෙනවා.. ඒ අනුව ඉදිරි කාලයේදී මේ ඔක්කොම ඉවත් වෙයි.” යනුවෙනි.

ආණ්ඩුව මීට පෙර ප‍්‍රකාශ කර තිබුණේ මෙරට සියළු නාමපුවරු සිංහල, දෙමළ සහ ඉංගී‍්‍රය යන භාෂාවලින් පමණක් ප‍්‍රදර්ශනය කළයුතු බවයි.

තරංග රුක්ෂාන්/දිල්ෂාන් තුෂාර
Source – නෙත්නිව්ස්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button