පළකල දිනය : Fri, Jun 14th, 2019

ආගමක් තිබෙන්න ඕනි මිනිසාට මග පෙන්වීමටයි

සෑම අයකුම නැතිවන්නේ බලය ලබා ගැනීමට ගොස් බවද, බලය ලබා ගැනීමට දේශපාලනඥයන්ට ඇත්තේ පුදුම කෑදර කමක් බවද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

උන්වහන්සේ එසේ පැවසුවේ පාස්කු ප‍්‍රහාරයෙන් පසු පිළිසකර කළ කොච්චිකඬේ ශාන්ත අන්තෝනි මුණිඳුන්ගේ දෙව්මැඳුරේ ඊයේ (13 වැනිදා) පැවැති වාර්ෂික මංගල්‍යයේ දේව මෙහෙයට එක්වෙමිනි.

නාවික හමුදාව මගින් අලූත්වැඩියා කළ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරේ ඊයේ උදේ පැවැති දේව මෙහෙයට රදගුරු මණ්ඩලයට අයත් රදගුරුවරුන් සහ මීසම් පාලන පියතුමන්ලා කන්‍යා සොහොයුරියන් ඇතුළු බැතිමත්හු විශාල පිරිසක් සහභාගී වූහ. මෙහිදී වැඩිදුරටත් බැතිමතුන් ඇමතූ කාදිනල්තුමෝ මෙසේද කීහ.

අද දේශපාලන බලය පාවිච්චි කරන්නේ තමන්ගේ බලය රැක ගැනීමටයි. ජනතාවගේ බලය රැක ගැනීම සඳහා නොවෙයි. ආගමකට බැහැ මිනිසෙකු නැති කරන්න. ආගමක් තියෙන්නේ මිනිසාට මග පෙන්වීමටයි. මිනී මැරීමට ආගම් පාවිච්චි කරන්න බැහැ.

අපේ‍්‍රල් 21 වැනිදා ප‍්‍රහාරය පිළිබඳව බෙහෙවින් කනගාටු වෙනවා. ඒ කි‍්‍රයාව ඇති කළ මෝඩ මිනිසුන්ට අපි සමාව දෙනවා. ආගමක් තියෙන්නේ හැම කෙනෙකුම ආරක්‍ෂා කරන්නයි. මේ රටට සැබෑ ප‍්‍රගතිය ලැබෙන්නේ මෙම කාරණය තේරුම් ගතහොත් පමණයි.

ශු. අන්තෝනිතුමාට යාච්ඤා කරන්න මිනිසුන් අතර සමාදානය සහ ජීවිතය යළි ලබා දෙන්න කියලා සාමය එකමුතුකම ඇති කරන්න ජාතික ප‍්‍රාතිහාර්යයන් ඉටුකරන්න කියලා.

මෙම මංගල්‍යයට සහභාගී වූ බැතිමතුන් ආරක්‍ෂක හමුදාව සහ පොලිසිය මගින් දැඩි සෝදිසියකට ලක්කර දෙව්මැඳුරට ඇතුල් වීමට සැලසූ අතර මෙම මංගල්‍යයට දෙස් විදෙස් මාධ්‍යවේදීන් පිරිසක්ද සහභාගී වූහ.

නෝමන් පළිහවඩන
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button