පළකල දිනය : Mon, Jun 17th, 2019

දේශපාලකයෝ රට ගැන හිතුවනම් ජනතාවට දුක් විඳින්න වෙන්නේ නෑ

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් වංශ කතාවේ ඔහු සුවිශේෂී චරිතයකි. එමෙන්ම එකල කි‍්‍රකට් කණ්ඩායමේ සිටි කඩවසම්ම කී‍්‍රඩකයා ලෙස පේ‍්‍රක්ෂකයන් හැඳින්වූයේ ද ඔහුවයි. වසර ගණනක් ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ පිතිකරුවකු ලෙස ඔහු කළ සේවය සුළුපටු නොවේ. ලෝක කුසලානය පළමුවරට මෙරටට දිනාගැනීම සඳහා ඔහුගෙන් ලැබුණු දායකත්වය ද ඉතා විශාලයි. ජොන්ටි රොඞ්ස්ට පසු ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේ සිටි දක්ෂතම පන්දු රකින්නා ලෙස විරුදාවලිය ලැබුවේ ද ඔහුය. නිසි වයසේදී කි‍්‍රකට් පිටියට සමුදුන් ඔහු ජාත්‍යන්තර තරග තීරකයෙකු ලෙස ද කටයුතු කලේය.

පසුව ඔහු එයින්ද සමුගත්තේය. මෙරට පමණක් නොව ජාත්‍යන්තරය තුළ විශාල ප‍්‍රසිද්ධියක් දැරූ මොහු රොෂාන් මහානාමයි. පහතින් පෙළ ගැසෙන්නේ ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු ජනප‍්‍රිය ක‍්‍රීඩක රොෂාන් මහානාම සමග ‘දිවයින ඉරිදා සංග‍්‍රහය. කළ සාකච්ඡාවකි. එහිදී ඔහු කි‍්‍රකට් ක‍්‍රීඩාව ගැන කතා කිරීමට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. රොෂාන් මහානාම සමග කි‍්‍රකට් ගැන කතා නොකර වෙන මොනවා කතා කරන්නද පාඨක ඔබට එලෙස සිතෙනවා ඇත. එහෙත් දැන් කි‍්‍රකට්වලට අමතර ඔහු ගැන බොහෝ දේ කතා කිරීමට තිබේ. මේ ඒ පිළිබඳවයි.

ප‍්‍රශ්නය – කොහොමද රොෂාන් මොනවද අලූත් තොරතුරු?

පිළිතුර – විශේෂයක් නැහැ. සුපුරුදු පරිදි සමාජ සේවා කටයුතු කරමින් පවුලේ අයත් එක්ක හොඳින් ඉන්නවා.

ප‍්‍රශ්නය – ඒත් වර්තමානයේ රටේ තත්ත්වය එතරම් හොඳ නැහැ නේද?

පිළිතුර – ඒක නම් සහතික ඇත්ත. මම තරම් මේ රටට ආදරය කරන වෙන කවුරුවත් නැතිව ඇති. අන්න එකයි මට ගොඩක් දුක රටට උදාවෙලා තියෙන තත්ත්වය ගැන.

ප‍්‍රශ්නය – ඔබ දකින විදිහට මේවට වග කියන්න ඕනා කවුද?

පිළිතුර – වෙන කවුරුත් නොවෙයි මේ රටේ දේශපාලකයින්.

ප‍්‍රශ්නය – ඇයි ඔබ එහෙම කියන්නේ. ඔවුන් ඉන්නේ රටට සේවයක් කරන්නනේ.

පිළිතුර – ඉන්නේ රටට සේවයක් කරන්න තමයි. එහෙත් ප‍්‍රශ්නය වෙලා තියෙන්නේ ඔවුන්ගෙන් ඒ සේවය හරියාකාරව ඉටු නොවන එකනේ. බලන්න නිදහසින් පස්සේ ඉඳන් මේ රටට වෙලා තියෙන දේ. එන්න එන්නම රට වළපල්ලට යනවා. කිසිම දියුණුවක් නැහැ. මේ සේරටම වග කියන්න ඕනා ඔය කියන දේශපාලකයින්.

ප‍්‍රශ්නය – ඔබ බරපතල චෝදනාවක්නේ මෙරට දේශපාලකයින්ට එල්ල කරන්නේ.

පිළිතුර – චෝදනාවක් නොවෙයි ඇත්ත තත්ත්වය ඒකනේ. මෙරට දේශපාලකයෝ කරන්නේ තමන්ගේ පවුලේ අයට සහ හිතවතුන්ට සලකන එක විතරනේ. රට වෙනුවෙන් අවංකව සේවය කරනවද? නැහැනේ.

ප‍්‍රශ්නය – සියයට සියයක්ම නොවුණත් ඔවුන්ගෙන් සේවයක් සිද්ධවෙන්නේම නැද්ද?

පිළිතුර – මොන පිස්සුද. පොඩි දෙයක් කරලා ලොකුවට පෙන්නනවා. අවංකවම රට ගැන හිතලා වැඩ කළා නම් අද රටේ ජනතාව මෙහෙම දුක් විඳින්නේ නැහැ. එහෙනම් අපි ගොඩක් දියුණුවෙලා. තව බලන්න පාර්ශ්ව කිහිපයක්නේ එහාට මෙහාට මාරුවෙවි රට පාලනය කරන්නේ. ඒ අයගෙන් රටට දැනෙන දෙයක් වෙන්නෙ නැහැ. ඒකයි තවමත් අපි එකම තැන ඉන්නේ. මෙන්න මේ ක‍්‍රමය තමයි වෙනස් කරන්න ඕනා.

ප‍්‍රශ්නය – ඔබ දකින විදිහට මේ ක‍්‍රමය වෙනස් කරන්නේ කොහොමද?

පිළිතුර – වෙනස් කරන්න ජනතාව තමයි පෙළ ගැහෙන්න ඕනා. අපේ රටේ ඉන්නෙ බුද්ධිමත් ජනතාවක්. සාක්ෂරතාවය අතිනුත් අපි ඉහළ තැනක ඉන්නවා. ඒක නිසා ඉදිරියේදීවත් ජනතාව තේරුම්ගෙන වැඩක් කරන්න පුළුවන් මහජන නියෝජිතයින්ව පත්කර ගන්න ඕනා. එහෙම නොකළොත් හොර තක්කඩි දේශපාලකයින් තමන්ගේ බඩ ගෝස්තරය පුරවගන්න මේ රට විනාශ කරලා දානවා. එහෙම වුණොත් අපේ අනාගත පරම්පරාවට රටක් නැතිවේවි. බලන්න එක මොන තරම් අපරාධයක් ද කියලා.

ප‍්‍රශ්නය – එහෙනම් ජනතාව දැන්වත් බුද්ධිමත් තීරණයක් ගනීද?

පිළිතුර – අනිවාර්යයෙන්ම ගන්න වෙනවා. හොර තක්කඩි දේශපාලකයන්ව එලවලාම දාන්න ඕනා. මම රටේ ජනතාවගෙන් නැවත පාරක් ඉල්ලා සිටිනවා රට ගැන හිතලා බුද්ධිමත්ව තීරණ ගන්න කියලා.

ප‍්‍රශ්නය – රට ගැන මෙතරම් කැක්කුමකිත් කතා කරන්නේ ඡන්දෙවත් ඉල්ලන්න බලාපොරොත්තුවක් තියෙනවද ඉදිරියේදී…

පිළිතුර – අපෝ මගේ තුන්හිතකවත් නැහැ එහෙම දෙයක්. මම රටට ගොඩක් ආදරෙයි. ඒකයි රට ගැන මේ තරම් කැක්කුමකින් කතා කරන්නේ.

ප‍්‍රශ්නය – දේශපාලනයට එන්න කියලා ආරාධනාවක්වත් ලැබිලා නැද්ද?

පිළිතුර – ආරාධනාවක් නම් ලැබුණා 1999 දී. දෙපාරක් නොසිතා මම එම ආරාධනාව ප‍්‍රතික්ෂේප කළා.

ප‍්‍රශ්නය – ඇයි ඒ දේශපාලනයට ඇවිත් ඔබ කියන විදිහට රට සංවර්ධනය කරන්න පුළුවන්නේ.

පිළිතුර – මේ ඉන්න කට්ටිය එක්ක එහෙම කරන්න බැහැ. එහෙම වුණොත් වෙන්නේ මගේ නම කැත වෙන එක විතරයි. ඊට වඩා හොඳයි මම කරගෙන යන විදිහට රට වෙනුවෙන් සේවයක් කරන එක.

ප‍්‍රශ්නය – මොනවද ඔබ කරගෙන යන්නේ.

පිළිතුර – මම සමාජ සේවා කටයුතු ගොඩක් කරගෙන යනවා. ඒවා ප‍්‍රසිද්ධියේ කියන්න කැමති නැහැ.

ප‍්‍රශ්නය – ඇයි ඒ?

පිළිතුර – ඒවා ප‍්‍රසිද්ධ කරගෙන සමහර අය වගේ ජනපි‍්‍රය වෙන්න මට අවශ්‍ය නැහැ.

ප‍්‍රශ්නය – ඔබට මෙතරම් සමාජ සුබ සාධක කටයුතු කරන්න සල්ලි කොහෙන්ද?

පිළිතුර – පෞද්ගලික සල්ලිවලට අමතරව දන්නා අඳුරන අයගෙන් සහ ආයතනවලින් උදව් උපකාර ලබා ගනිමින් මම ඒ වැඩ කටයුතු කරගෙන යනවා. සල්ලිම උවමනා නැහැ සම්බන්ධතා හරහා අපේ දැනුම උපයෝගි කරගනිමින් ද එවැනි වැඩ කරන්න පුළුවන්.

ප‍්‍රශ්නය – රොෂාන් මහානාම නමින් පදනමක් පිහිටුවා ගත්තොත් නරකද?

පිළිතුර – ඒ කාලේ මගේ තාත්තත් කිවුවා පදනමක් පටන් ගන්න කියලා. ඒත් ඒකට ලොකු කැමැත්තක් මගේ හිතේ තිබුණේ නැහැ. මට හිතෙනවා පදනමක් පිහිටුවනවාට වඩා මෙහෙම වැඩ ටික කරගෙන යන එක හොඳයි කියලා. ඒ වගේම සමාජ සේවා ආදි කටයුතු කිරීම සඳහා මට ආරාධනාවක් ලැබුණොත් අනිවාර්යෙන්ම මම ඒවාට සම්බන්ධ වෙනවා. ඒ වගේ වැඩ කටයුතු කරන්න මම ගොඩක් ආසයි.

ප‍්‍රශ්නය – ඔබ මුලින්ම කිවුවා කි‍්‍රකට් ගැන වැඩිය කතා කරන්න එපා කියලා. ඇයි ඒ?

පිළිතුර – අපේ කි‍්‍රකට් කණ්ඩායම දැන් ලෝක කුසලානය සඳහා සහභාගි වෙලා ඉන්නෙ එක නිසා දැන් කරන්න ඕනේ ඔවුන්ගේ සහ නිලධාරින්ගේ වැරදි කියන එක නොවෙයි. ක‍්‍රීඩකයන්ගේ මානසික තත්ත්වය හදලා ඔවුන්ව දිරි ගැන්වීම පමණයි. ඒක නිසා අපි ඒ ගැන පස්සේ කතා කරමු.

ප‍්‍රශ්නය – අවසාන වශයෙන් කියන්න මෙවර ලෝක කුසලානය දිනන්නේ කවුද කියලා.

පිළිතුර – වැරදි අඩුවෙන්ම කරන කණ්ඩායම මෙවර ලෝක කුසලානය ජයග‍්‍රහණය කරයි. මම හිතනවා මේ පාර එංගලන්තයට අවස්ථාවක් තියෙයි කියලා.

සාකච්ඡා කළේ – ගයාන් සමරසිංහ
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button