පළකල දිනය : Sat, Jun 22nd, 2019

දුටුගැමුණු රජ්ජුරුවන්ටත් අපෙන් ඉගෙනගන්න පුළුවන්

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේදී ප්‍රධානතම බාධකයක්ව පැවැති “ඌණ ක්‍රියාකාරී ව්‍යවසායකයන් පුනරුදය කිරීමේ පනත” පසුගිය සතියේ ඉවත් කළ බවත් ඒ හේතුවෙන් බියෙන් සැකෙන් තොරව දේශීය හා විදේශීය ආයෝජකයින්ට මෙරට තුළ ආයෝජන කටයුතු ආරම්භ කළ හැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙම පනත යටතේ පුද්ගලික ආයෝජකයින්ගේ ව්‍යාපාර රජයට පවරා ගැනීමේ හැකියාව තිබූ බවත් ඒ නිසා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කිරීම පිළිබඳව බියක් ආයෝජකයන් තුළ පැවැතිය බවත් පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා, ඒ හේතුවෙන් ආර්ථික සංවර්ධන පරමාර්ථ ඉටු නොවූ බව අවධාරණය කළේය.

අග්‍රාමාත්‍යවරයා මහතා මෙම අදහස් පළ කළේ අද (22) දින පෙරවරුවේ මොණරාගල ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ වැඩසටහන්වලින් අනතුරුව පැවැති උත්සවයේදීය.

ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල, කැප්පෙටිපොල මාවත විවෘත කිරීම, මොණරාගල දිස්ත්‍රික්කයේ අයිරෝඩ් ව්‍යාපෘතියේ සංකේතවත් නාම පුවරුව විවෘත කිරීම, හුලංදාව වටරවුම සංවර්ධනය කිරීම සඳහා මුල්ගල තැබීම, මොණරාගල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයට මුල්ගල් තැබීම, ඉඩම් හිමිකම් ඔප්පු, ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කිරීම ඇතුළු වැඩසටහන් ගණනාවක් සිදු කෙරිණි.

මොණරාගල දිස්ත්‍රික්කයේ ඉඩම් හිමිකම් නොමැති පන්දහසක් දෙනා වෙනුවෙන් ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්ලය ඉදිරිපිට භූමියේ පැවැති අතර, එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

“2015 සිට අපේ ආණ්ඩුව ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ දැන් ජනතාවට ලැබෙමින් පවතිනවා. මේ රට සංවර්ධනය කිරීම සඳහා මේ වන විට පුළුල් වැඩපිළිවෙළක් අප ආරම්භ කර තිබෙන බව කිව යුතුයි.

සංචාරක හා කර්මාන්ත කලාප ආරම්භ කරමින් රටේ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම සඳහා අප පියවර ගෙන තිබෙනවා. මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක කර්මාන්ත කලාප ඉදිකිරීම සඳහා අක්කර 13,000 ක් – 14,000 ක් පමණ වෙන් කර තිබෙනවා.

ඒ වගේම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම වෙනුවෙන් ද විශාල ඉඩම් ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා. එදා කටුනායක, බියගම, සීතාවක, කොග්ගල ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන කර්මාන්ත කලාප ඇති කළා.

අපේ මීළඟ පියවර වන්නේ බියගම කර්මාන්ත කලාපය වැනි කර්මාන්ත කලාප 50 ක් ඉදිකිරීමයි.

කර්මාන්ත කලාප ඉදිකර රට දියුණුව කරා ගෙන යෑමට නම් ඒ සඳහා විදේශ ආයෝජකයන්ට අවස්ථාව දිය යුතුයි. ඔවුන්ට අවශ්‍ය බදු සහන අප ලබාදී තිබෙනවා.

කුමන ආකාරයේ සහන ලබාදී තිබුණත් පුද්ගලික ව්‍යාපාර රජයට පවරා ගැනීමට හැකියාව තිබීම සම්බන්ධව ආයෝජකයින් බියට පත්ව සිටියා.

ඒ ගැන ඔවුන් අපෙන් කරුණු විමසුවා. ලොව වෙනත් රටවල මේ ආකාරයට ව්‍යාපාර අත්පත් කර නොගන්නා බව ඔවුන් පෙන්වා දුන්නා.

ආයෝජකයන්ට ප්‍රධානතම බාධකයක්ව පැවැති “ඌණ ක්‍රියාකාරී ව්‍යවසායකයන් පුනරුදය කිරීමේ පනත” පසුගිය සතියේ ඉවත් කර ශ්‍රී ලාංකික හා විදේශීය ආයෝජකයින්ගේ බිය නැති කර ඔවුන්ට ආයෝජනය කිරීමේ අවස්ථාව උදා කළා.”

එසේම ස්වර්ණ ඉඩම් ඔප්පු ලබා දීමට ගයන්ත කරුණාතිලක මහතා ගත් පියවරටද ස්තුතිවන්ත විය යුතු බවත් ඒ මහතා පැවසීය.

” අපිට එදා බැන්නා. දැන් දුටුගැමුණු රජ්ජුරුවන්ටත් ඇවිල්ලා අපෙන් ඉගෙනගන්න පුළුවන් කොහොමද ගම්මාන, ප්‍රදේශ දියුණු කරන්නේ කියලා.” අගමැතිවරයා පැවසීය.

Source – AdaDerana

  • 1.4K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button