පළකල දිනය : Sun, Jun 23rd, 2019

පේරාදෙණි දියණිය අභියෝග ජයගත් රහස කියයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුවියක වන චතුරංගි එදූසූරිය අද ලොව ප‍්‍රකටය. ඒ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රගමනය සඳහා ඉවහල් වන නවීන තාක්ෂණය හා බැඳුණු නව නිපැයුම් ඇගයීම වෙනුවෙන් එංගලන්තයේ පැවති වාර්ෂික තරගයේ ප‍්‍රථම ස්ථානය හිමි කර ගැනීම හරහාය.

තත්පර හයකින්, එකිනෙකට වෙනස් වූ පැතිකඩ හයකින් හයදෙනෙකු ඇසූ හරස් ප‍්‍රශ්න හයකට උත්තර බඳින අතරතුර, ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ දියුණුව උදෙසා නව අදහස් දැක්වමින් අභියෝග ජයගෙන ඉදිරියට ගිය දිරිය දියණිය ඇයයි.

ඇය අති දක්ෂ සිසුවියක බව යළි යළිත් කිව යුතු ව ඇත්තේ, ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකිරීම උදෙසා අන්තර්ජාලය ඔස්සේ අදාළ දත්ත ජංගම දුරකතනයට ලබා ගත හැකි පරිදි නව ලොවට සහ නව තාක්ෂණයට සරිලන අදහස් ඉදිරිපත් කර ඇති නිසාය.

Construction of Industry Solutions (COINS) ආයතනය මගින් ලොව රටවල් බොහොමයක නව නිපැයුම්කරුවන්ගේ සහභාගිත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වූයේ, එංගලන්තයේදීය. තරගය වට කිහිපයකින් සමන්විතව ඇති අතර, අවසන් වටය සඳහා ඇමරිකාව, චීනය, එංගලන්තය වැනි රටවල් නියෝජනය කරමින්, නව නිපැයුම්කරුවන් හය දෙනෙකු පමණක් තේරී පත්ව සිට ඇත්තේය. තරගකරුවන් හයදෙනා ගෙන් දිගින් දිගටම කළ ප‍්‍රශ්න කිරීම් අතරවාරයේ තමන්ගේ නව නිපැයුම් යෝජනා ලොව පිළිගත් මහාචාර්යවරුන් ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලය මනා අධීක්ෂණයක් කොට, ඒ අතරින් හොඳම නිර්මාණය ලෙස තම නිර්මාණය තෝරා ගත් බව චතුරංගි කියා සිටියාය.

ඇය ජය ලැබූ ක්ෂේත‍්‍රය අපට සමීප නැත. සැනින් ග‍්‍රහනය කර ගැනීමට තරම් අපට සමීප ද නැත. නව තාක්ෂණය සහ නව ලොව දියුණුව උදෙසා වර්තමාන දූ දරුවන් ඉගෙන ගන්නා ක්ෂේත‍්‍ර අතිශය ලෙස නවීන තාක්ෂණික දැනුමින් සන්නද්ධ බැවිනි. එබැවින්, ඇයගේ නාමය ලොව පතල කරන්නට තරම් ප‍්‍රබල වූ තරගාවලිය සහ ඊට ඉදිරිපත් කළ නව නිපැයුම පිළිබඳව අප ඇයගෙන් ම අසමු..

”මාර්ග ඉදි කිරීමේදී හෝ දැවැන්ත ගොඩනැගිලි ඉදිකිරීමේදී සිදු කළ යුතු ප‍්‍රමුඛතම කාර්යයක් වන්නේ අදාළ ස්ථානයේ යෝග්‍යතාව පරීක්ෂා කිරීමයි. එය සිදුකරන්නේ පස් සාම්පල පරීක්ෂා කිරීම මගිනුයි. ගිලා බැසීම් ඇති විය හැකිද, මාර්ග තැනීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය කාලාන්තරයක් රඳවා තැබිය හැකි ද, ගොඩනැගිල්ලේ බර පොළොවට දැරිය හැකිද ආදිය මුල් අදියරේදී පරික්ෂා කිරීම වැදගත් සහ කළ යුතුම වනවා. එම පස් සාම්පල සාමාන්‍යයෙන් පරීක්ෂා කරන්නේ, රසායනාගාරයක් තුළදීයි.

දැනට ලෝකයම පිළිගත් සහ භාවිත කරන සාම්ප‍්‍රදායික ක‍්‍රමය එයයි. මගේ නව නිපැයුම වූයේ, මේ රසායනාගාර පරීක්ෂණ සහ දත්ත විශ්ලේෂණ වාර්තා අදාළ භූමියේදීම සිදුකිරීම සඳහා පහසු මාර්ගයක් තැනීමයි. ඒ සඳහා පස් විශ්ලේෂක උපකරණයක් මගින් අදාළ භුමියේදී ම පාංශු පරීක්ෂාව සිදුකොට එහි විශ්ලේෂණාත්මක තොරතුරු අදාළ භූමියේ සිටම නිසි බලධාරියාගේ හෝ තීන්දු තීරණ ගන්නා අදාළ සිවිල් ඉංජිනේරුවරයාගේ ජංගම දුරකතනයට යැවිය හැකි පරිගණක මෘදුකාංගයක් මා නිර්මාණය කළා. මේ හරහා කාලය ශ‍්‍රමය මුදල් සියල්ලක්ම අනපේක්ෂිත ලෙස ඉතිරි වනවා. එවිට ඵලදායිතාවය ඉතා ඉහළ මට්ටමක පවතිනවා.

මෙම තරගය පැවැත් වූයේ, එංගලන්තයේ සුප‍්‍රසිද්ධ ඉදිකිරීම් උපදේශන සමාගමක් වූ Construction of Industry Solutions (COINS) ආයතනය මගිනුයි. ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරවිය හැකි විශිෂ්ටතම අදහස ඉදිරිපත් කරන්නා තේරීමේ තරගය තමා ඔවුහු පැවැත්වූයේ.

‘මම පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ නව නිපැයුම් තරගයකට පරිගණක මෘදුකාංග මෙවලමක් ඉදිරිපත් කළා. ඒ අවස්ථාව දන්නා මගේ මිතුරෙක් මට කිව්වා එංගලන්තයේ පැවැත්වෙන මෙම තරගය ගැන. ඒ අනුව තමයි මා ඊට සහභාගි වුණේ. පශ්චාත් උපාධි අපේක්ෂක ජානක වික‍්‍රමසූරිය මහතා මට අවශ්‍ය දැනුම සහාය නොඅඩුව ලබා දුන්නා.

මෙම තරගාවලියේ දී තරගකරුවකු ඉදිරිපත් කරන අදහසක් මගින් ලෝක ඉදිකිරිම් ක්ෂේත‍්‍රයට ඇති කළ හැකි ධනාත්මක බලපෑම කොතෙක්ද යන්න විමසා බැලූනා. ඉදිකිරීම් ක‍්‍රියාවලිය තුළදී පිරිවැය අවම කිරීම, තත්ත්වය ඉහළ නැංවීම, කාලය ඉතිරිකර ගැනීම, සඵලතායිතාවය, කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට කෙතරම් බලපෑමක් ඇතිකරන්නේ ද යන්න ඔවුහු දිගින් දිගටම ප‍්‍රශ්න කළා. විසඳුම් සාකව්ඡා කළා.

අපේ නව දැනුම ගැඹුරින් අධ්‍යයනය කළා. දින ගණනාවක් ඛාණ්ඩ ගණනාවක් යටතේ අපව අධ්‍යනය කරමින් නව දැනුම පරික්ෂා කළා. ඇත්තෙන්ම එය මහඟු අත්දැකීමක්. මේ රටවල් මේ තරම් දියුණු වෙලා තිබෙන්නේ ඔවුන්ගේ සූක්ෂම සහ අනාගත අභියෝග ජයගැනීම් මත කියා මට හිතෙනවා.

මා සමග තරග වැදුන සෙසු නිර්මාණ ශිල්පින් ලෝකයේ සුප‍්‍රසිද්ධ විශ්වවිද්‍යාලවලින් පැමිණ සිටියේ. ඔවුන් ඉතා දක්ෂ ලෙස, තරගයට සහභාගි වුණා. ලෝකයේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ අති දක්ෂයින් ප‍්‍රවීණයින් දොලොස්දෙනකු විනිශ්චය මණ්ඩලය සඳහා පැමිණ සිටියා. මේ අය අපේ නිර්මාණ සහ දැනුම ගැඹුරින් විමසා බැලූ අතරම, ඔවුන්ගේ දැනුමත් යම්තාක් අපට ලබා දුන්නා කියා මා සිතනවා. මෙය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වගේ. අලූත් අරමුණු, අලූත් බලාපොරොත්තු ගොන්නක් දැන් මා සතුයි. අපේ ලංකාව දියුණු කරන්න අපේ නව දැනුම යෙදිය යුත්තේ කොහොමද කියන අදහස් අපට දැන් තිබෙනවා. නව දැනුම, සිතේ ශක්තිය සමග කළ නොහැක්කක් නැහැ. අවශ්‍ය වන්නේ යමක් කිරීම පමණයි…” චතුරංගි දැඩි අධිෂ්ඨානශීලිව පවසා සිටියාය.

ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලය තෙක් ආ ගමන් මෙඟ හි ඇයට ගුරුහරුකම් ලබා දුන් සියලූම ගුරුභවතුන් සිහිපත් කළේ ගෞරවපූරක සෙනෙහසකිනි. මහනුවර පාතදුම්බර මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ චතුරංගි පහේ ශිෂ්‍යත්වය සමත්ව මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලට ඇතුළත් වන්නීය. සාමාන්‍ය පෙළ කඩඉමෙන් ඒ සාමාර්ථ නවයක් සහිතව ඉදිරියට යන ඇයට උසස් පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ දෙකක් සහ බී සාමාර්ථයක් ලබා ගන්නීය.

අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළු වීමේ වරමින් ඇය පරිගණක ඉංජිනේරු විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනට පිවිසෙන්නීය. මේ වන විට ඇය සිව්වන වසර සිසුවියක ලෙස , විශේෂ විද්‍යාවේදී පරිගණක ඉංජිනේරු උපාධි අපේක්ෂිකාවක ලෙස අධ්‍යාපනය ලබමින් සිටින්නීය. ඇය නිරන්තරයෙන් නව අත්හදා බැලීම් සඳහා යොමුවීමටත් අභියෝග ජයගැනීමට නොබියව කටයුතු කරන බවත් අප හා කියා සිටියේ ඇයගේ මග ආලෝකමත් කිරීමට පෙළ ගැසී සිටින ඇදුරු මඬුල්ලය. එහි සත්‍යතාවය චතුරංගි අද ලොවට සපථ කොට ඇත්තීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය එස්. බී. අබේකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ, සිවිල් ඉංජිනේරු අංශයේ පශ්චාත් උපාධිය හදාරන ජනක වික‍්‍රමසූරිය මහතා විසින් ඉදිකිරීම් භූමිවල පස් විශ්ලේෂණය කිරීම් සම්බන්ධයෙන් කරනු ලබන පර්යේෂණ නිතර අධ්‍යනය කිරීමට යොමුව සිටි චතුරංගි ඒ ඔස්සේ තමන්ගේ නව සිතිවිලි පිළිබඳව ඇදුරු මඬුල්ල සමග සාකච්ඡා කොට තිබූයේ, කලක සිටය. ඇය විසින් පරිගණක ඉංජිනේරු විද්‍යා දැනුම සමග පස් විශ්ලේෂණ ක‍්‍රියාවලිය සම්බන්ධ කළ හැකි මානය ඇය සොයා ගියාය. නව නිපැයුම් සංකල්පය බිහිව ඇත්තේ ඒ ඔස්සේය. එය අතිවිශිෂ්ට විද්‍යා සංකල්පයක් ලොව පතල වූයේ එංගලන්ත තරගය හරහාය.

හිටපු අංශ ප‍්‍රධානී ආචාර්ය ධම්මික ඇල්කඩුව, වත්මන් අංශ ප‍්‍රධානි ආචාර්ය කමලනාත් සමරකෝන් යන මහත්වරුන්ගේ සහායත් අවසරයත්, සමග සිය කණ්ඩායම් සගයින් වූ මධුෂාන්, සුභාෂ්, කසුන් විතානගේ, නමිල බණ්ඩාර ආදින් ඇයගේ ගමනට මහත් අත්වැලක් වූ බව චතුරංගි සිහිපත් කළේ නොනිමි සතුටකිනි.

මේ ශ‍්‍රී ලංකාවේ අනාගතයය. මෙවන් නව දැනුම සංකල්පයන්ගෙන් හෙබි දූදරුවෝ ලංකාවේ කොතෙකුත් සිටිනු ඇත. නමුත් ඔවුනට අත්වැලක්වී ඉදිරියට පැමිණිමට අත හිත දෙන, මග පෙන්වන, ඔවදන් දෙන වැඩිහිටියන් ඇත්තේ අතලොස්සක් පමණකි. ඇතැම් විශ්වවිද්‍යාල වුවද, අද පටු දේශපාලන අරමුණු සහ දේශපාලන ගැත්තන් සේ කටයුතු කරන්නන් ලෙස පරිවර්තනය වෙමින් ඇති බවට සාක්ෂි ඇත්තේය. විශ්වවිද්‍යාල බිමට පා තබන දක්ෂයින්ගේ දස්කම් සෝදා දමන පළමු වසරේ ක‍්‍රියා පටිපාටියන් තුළ සිදුවන්නේද ආපස්සට තල්ලූ වීමකි.

චතුරංගි වාසනාවන්තය. ඇයට මග පෙන්වන්නට සැබෑ ඇදුරන් සේම වැඩිහිටියන් මුණ ගැසී ඇති බැවිනි. ලොවක් දිනන සිත් ඇති අනාගත පරපුර තම ශක්තියෙන් බාධක බිඳ දා නැගි සිටි දිනෙක මේ රට බබලනු ඇත.

සමන්තී වීරසේකර
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button