පළකල දිනය : Sun, Jun 23rd, 2019

සිවුරු දැරූ නළු නිළියන් කියපු කතාව

කාගෙන්වත් අහන්නෙ නැතුව එකපාරට හා කීවා – සංගීතා වීරරත්න

උත්පලවන්නා චිත්‍රපටයට මට ආරාධනා කළේ සුනිල් ආරියරත්නයන් විසිනුයි. කොහොමටත් මිලීනා ඇන්ටි මට බොහොම හිතවත්, මම බොහෝම ළැදි පවුලක්. උත්පලවන්නා චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඒ පවුලයි. මේ චිත්‍රපටයේ මේ චරිතයට හිස මුඩු කරන්න ඕන නිසා මම මේ චරිතය බාරගනීවිද කියන චකිතය ඒ අයටත් තිබුණා. නමුත් මට මේ චරිතයට ආරාධනා කරද්දිම මට එකපාරටම මතක් වුණේ මගේ ආච්චි. ඇය දසසිල් මාතාවක්. ආච්චිත් එක්ක මම ඒ ආරාමයේ ඉඳලත් තියෙනවා. ආච්චිගේ සිවුරු නවලත් තියෙනවා.

ආච්චි හැසිරෙන විදිහ, දාන වළඳන විදිහ, ඇවිදින විදිහ, භාවනා කරන විදිහ, ආරමයේ ඉන්න විදිහ මේ හැමදේම මම දැකලා තියෙනවා. ඒ නිසා ඒ චරිතය මට කරන්නම ඕන වුණා. ඒ වෙනකොටත් මම විවාහ වෙලයි හිටියේ. නමුත් මේ ආරාධනාව මට ලැබුණු සැණින් මම චරිතය බාර අරගෙන හිස මුඩු කරන්න කැමති වුණා. මම වෙන වැඩක් කරද්දි මගේ අම්මට වගේම රොෂාන්තටත් කියනවා. ඒ අය එක්ක කතා කරලා තමයි ඕනෑම තීරණයක් ගන්නේ. නමුත් මේ චරිතය බාර ගන්න මම කාගෙන්වත් ඇහුවෙ නැහැ.

මම මේ තීරණය ගැනීම ගැන මගේ අම්මා ගොඩක් කැමති වුණා. එයාටත් එකපාරටම මතක් වුණේ මගේ ආච්චිවමයි. රොෂාන්තගෙන්වත්, තාත්තාගෙන්වත් කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ. මම ගන්න තීරණය මත පවුලේ හැමෝම මාත් එක්ක හිටියා. ඒ නිසා ඒක මට ශක්තියක් වුණා.

මුලින්ම වෙලාවක් බලලා පන්සලට ගිහින් කොණ්ඩේ කැපුවා. චිත්‍රපටයේ මාලනී අක්කා තමයි හිස මුඩු කරලා දර්ශනය කරන්නේ. හිස මුඩු කරලා මම මුලින්ම මාව දකින්නේ වතුරෙන් බොඳ වෙලයි. හිස මුඩු කරපු ගමන් මම කැමරාව දිහායි බැලුවේ. ඒ වෙලාවේ කැමරාවේ ලෙන්ස් එකෙන් මම මාව දැක්කා. මට මගේ පෙනුම ගැන විශ්වාසයක් ඇති වුණා. ඊටපස්සේ සිවුර ඇන්දම ඒක වචනයෙන් අදටත් කියාගන්න බැරි හැඟීමක්. ඒ මොහොතේ දැනුණු හැඟීම අදටත්, මේ මොහොතෙත් මට දැනෙනවා. සිවුරට තියෙන භක්තිය, ආදරය ඒ හැඟීමත් එක්ක කියාගන්නට නොතේරෙන වෙනසක් මට දැනුණා. ඒ වෙනස, ඒ හැඟීම කියන්න මම ළඟ වචන නැහැ.

මාසෙකට කලින් මස් මාළු කෑම නතර කළා – රුවන්ගි රත්නායක

සුබා තෙරණියෝ චිත්‍රපටයට මට ආරාධනා කළේ මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක සුමිත් කුමාර මහතායි. ටික කාලයක ඉඳන් සුමිත් අයියා මට ඒ ගැන දැනුම්වත් කරලයි තිබුණේ. ඒ අවස්ථාව ගැන සතුටු වුණා වගේම මේ චරිතය මට අභියෝගයක් වේවි කියලත් මට හිතුණා. පිටපත මගේ අතට ලැබෙන්න කලින් මම මේ චරිතය පිළිබඳව පොතපත කියවීමෙන් යම් අධ්‍යයනයක් ලැබුවා. මීට කලින් සුබා තෙරණියෝ පිළිබඳව මම දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා ඒ පිළිබඳව හොයලා බැලුවා. පිටපත මගේ අතට ලැබුණට පස්සේ ඒ පිටපත කියවද්දි මම කලින් දැනගත්ත කතාවෙයි සත්‍ය කතාවෙයි අතර වෙනසක් තිබුණේ නැහැ. ඒ නිසා සුබා තෙරණියන්ගේ සත්‍ය කතාව මට රඟපාන්න සිද්ධ වෙනවා කියලා මම දැනගෙන හිටියා.

ඇත්තටම මේ චරිතය මට අභියෝගයක්. ප්‍රේක්ෂකයන් අතරට යන්නට පුළුවන් වෙනස්ම චරිතයක්. ඒ වගේම කලා ජීවිතය තුළදී මේ වගේ චරිතයක් මට ලැබුණේ මගේ මොකද්දෝ වාසනාවක් විදිහට තමයි මමනම් හිතන්නේ.

මීට කලින් නොකරපු වෙනස්ම චරිතයක්. ඇඳුමෙන් පැළඳු‍මෙන් විතරක්ම නෙවේ හැසිරීමෙන්, ඇවිදීමෙන්, ආහාර ගැනීමෙන් මේ හැමදෙයක්ම ගොඩක්ම වෙනස්. ඒ නිසා මේ චරිතය කොහොමහරි හොඳටම කරනවා කියලා මම අධිෂ්ඨාන කරගත්තා. චිත්‍රපටය රූගත කරන්න මාසයකට පෙර සිටම මම මස්, මාළු කෑම නතර කළා. නමුත් එහෙම ඉඳිද්දිත් කිහිපදෙනෙක් අනේ.. ඕක රඟපෑමක් විතරයිනේ. ඔන්න ඔහේ මස්, මාළු කන්න කියලත් කිව්වා. නමුත් රංගනය වෘත්තිය වුණාට මේ චරිතය මට සුවිශේෂී වුණා. ඒ නිසා එ‍ෙහම කැපකිරීම් කරලා තමයි මම මේ චරිතයට කැපවුණේ.

තෙරණියගේ චරිතයේදී සංයුක්ත බව, තියුණු බව, ශාන්ත බව ඒ හැමදේම තියෙන්න ඕනේ. මම හිතන්නේ සිවුර ඇන්දට පස්සේ ඉබේම ඒ ශාන්ත, සංසුන්කම අපට ඇතිවුණා. සිවුර ඇඟට දාගත්තට පස්සේ අපිට හයියෙන් ඇවිදින්නවත් හිතෙන්නෙ නැහැ. වාඩි වුණත් එකපාරටම වාඩි වෙන්නත් හිතෙන්නේ නෑ. ඇත්තටම ඒ ශාන්ත බව ඉබේම අපිට ඇතිවෙනවා.

සිවුර ඇන්ද මුල්ම මොහොතේ කණ්ණාඩිය ඉස්සරහදී මම මාව දැකපු මුල්ම මොහොතේදී මට හිතාගන්නවත් බැරි වුණා. ඒක හරිම වෙනස් අත්දැකීමක්. අද සුබා තෙරණියෝ සිනමාහල්වල ප්‍රදර්ශනය වෙනවා. මට ලැබෙන ප්‍රතිචාරත් එක්ක අධ්‍යක්ෂක සුමිත් කුමාර මහතාගේ සුභ පැතීමත් එක්ක ඒ චරිතය හොඳින් කරලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා.

ඒ වචන පේළිය දැක්කම මාව හීතල වුණා – දිනෙත් ද සිල්වා

සුනිල් ආරියරත්න සර් අධ්‍යක්ෂණය කරපු යසෝදරා චිත්‍රපටයේ දේවදත්තගේ චරිතය ගැන මට මුලින්ම කිව්වේ මෙම චිත්‍රපටයේ වේෂ නිරූපණය කළ ප්‍රියන්ත දිසානායක අයියයි. ඒ වෙලවේ මම ප්‍රියන්ත අයියට කිව්වෙත් අයියේ මේක මාර චරිතයක්නේ. මට කරගන්න පුළුවන් වෙයිද? කියලා. පස්සේ නෑ මල්ලි ඔයාට පුළුවන් කියලා මාව සුනිල් සර්ට හඳුන්වලා දුන්නා. මේ පිටපත කියවලා බලද්දි දේවදත්ත කුමාරයෙක් විදිහට, හාමුදුරු නමක් විදිහට මේ චරිතය ගලාගෙන යන විදිහ මට තේරුණා. මීට පෙර මම හාමුදුරු නමකගේ චරිතයක් රඟපාලා තිබුණේ නැහැ.

ඒ නිසා මේක දැවැන්ත චරිතයක් කියලා මට තේරුණා. ඒ වෙලාවේ සර් මට රජ කාලේ චරිතය කොහොමරි කරන්න පුළුවන්. නමුත් සිවුරක් දැම්මට පස්සේ දේවදත්ත කියන කෙනා මේ සිවුර තුළ ඒ භූමිකාවට හැඩගැහෙන්නේ කොහොමද කියන එක මට කරන්න පුළුවන් වෙයිද? කියලා මම සුනිල් සර්ට කිව්වා. ඒ වෙලාවේ සර් ඔයා ඒ ගැන හිතන්න එපා දිනෙත්.. ඔයා ඒ සිවුර දාගන්නකො. කුමාර කාලය රඟපාලා සිවුර දාගත්තට පස්සේ ඔයා කළයුතු දේ ඔයාටම හිතේවි කියලා මට කිව්වා. මට ඒ කියපු දේ අදටත් මතකයි

මට පැය හයක් විතර කාලයක් හිසේ තට්ටය දමන්න ගත වුණා. ඒක හරි අපූරුවට ප්‍රියන්ත අයියා කළා. ඒකට ගොඩක් ඔහු කැප වුණා. තට්ටය දාලා මට සිවුර මුලින්ම ඇඟට දාපු දවසේ මුලින්ම කණ්ණාඩිය ඉස්සරහා හිටගත්තට පස්සේ මට පුදුමාකාර හැඟීමක් ඇතිවුණා. ඒ හැඟීම වචනවලින් විස්තර කරන්න මම දන්නේ නැහැ. මම ඒ චරිතයට අනුගත වුණා කියලා මටම තේරුණා. ඊටපස්සේ මම කතා කරපු, ඇවිදපු හැම දෙයින්ම මාව ඒ චරිතයට අනුගත කළා. මගේ කතාබහ, ඇවිදීම මට නොදැනුවත්වම මාව වෙනස් කළා.

යසෝදරා චිත්‍රපටයේ එක අවස්ථාවක දේවදත්ත මම දවසක බුදුන් මරා බුද්ධ දේශයේ රජුන් වෙනවා කියලා කියනවා. ඇත්තටම පිටපතේ ඔය වචන පේලිය දැක්කට පස්සේ මගේ ඇඟ සලිත වෙලා ගියා. මේ දේ කිව්වට පස්සේ මේ සමාජයේ බොහෝ ආන්දෝලනයක් ඇතිවේවි කියලා මගේ හිතට තිගැස්මක් දැනුණා.

ඒ වගේම පිටපත කටපාඩම් කරද්දි තනියම පුරුදු පුහුණ වෙද්දී ඒ පේලිය මම කිව්වේ මගේ හිතෙන් විතරයි. මට ඒ පේලිය කාටවත් ඇහෙන්නවත් කියන්න බයයි. බෞද්ධයෙක් විදිහට මට ඒක කියන්න බයයි. මට මතක විදිහට මම ඒ පේලිය කෑගහලා කිව්වේ දෙපාරයි. ඒ හැරෙන්න මම ඔය පේලිය කෑගහලා පුරුදු වුණේවත් නැහැ. ඇත්තටම ඒ පේලිය කියාගන්න මට වාරු නැහැ.

සිවුර දාගන්නට පෙර දවසේ මම මස්, මාළු කෑවේ නැහැ. සිවුර දාගත්ත දවස පුරා මම කා එක්කවත් වැඩිය කතා කළේවත් නැහැ. මට ඒ චරිතයට අනුගත වෙන්න ඕන වුණා. මම ඒ තුළම ජීවත් වෙමින් ඇවිද්දා. තනිවම කතා කළා. ඇත්තටම ඒක වෙනස්ම අත්දැකීමක්.

සමහරු කීවා මට වස් වදීවි කියලා – අශිකා මතසිංහ

ඇත්තටම සුබා තෙරණියෝ චිත්‍රපටයේ මේ චරිතය මම ගොඩක් ආසාවෙන් බාරගත්තු චරිතයක්. මට මේ චරිතයට කතා කළේ එහි අධ්‍යක්ෂක සුමිත් කුමාර මහතායි. මම මේ චරිතය පිටපත අතට දීපු දවසේ ඉඳන් මස්, මාළු කෑවේ නැහැ. මම මේ චිත්‍රපටයේ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේගේ චරිතයට තමයි කතා කළේ. ඒ නිසා ඒ වගේ චරිතයක් ඇත්තටම මට අභියෝගයක්.

පිටපත ලැබුණ දවසේ ඉඳන් මම දන්න හිතවත් අයත් එක්ක මහා ප්‍රජාපතී ගෝතමී චරිතය ගැන කතා කළා. බුද්ධ කාලයේ අති පූජනීයත්වයට පත්වුණු චරිතයක් වුණු මේ චරිතය කරන්න එපා කියපු අයත් හිටියා. ඇතැම් අය මේ චරිතය රඟපාලා වස් වදීවි කියලත් කිව්වා. මම දවස් කිහිපයක්ම පන්සල් ගියා. මස්, මාළු නොකා මේ චරිතයට පේ වුණා. ඇත්තටම මේ චරිතය මට කරන්න ඕන වුණා. හිතට දැනුණු චරිතයක් කරන්න ඕන වුණා.

ඇත්තටම මේ චරිතයට මට කරන්න පුළුවන් උපරිම සාධාරණත්වය මම කළා කියලා හිතෙනවා. අඩුම ගාණේ මේ කාලෙදි මම කේක් කෑල්ලක්වත් කෑවේ නැහැ. සමහරු මට අනේ ඕක තවත් එක රංගනයක් විතරයිනේ කියලා මස්, මාළු කන්න කිව්වා. හැබැයි මම මගේ තීරණේම හිටියා.

උදේ තට්ටය දාන්න වාඩි වුණු මොහොතේ ඉඳන් මම හිතින් පිරිත් කිව්වා. මට එක දවසයි රූගතකිරීම් කරන්න තිබුණේ. ඒකත් කොළඹින් බොහෝ ඈතකයි. එදා උදේ ඉඳන් හොඳටම වැස්සා. මම හිතින් අනේ මේක මට කොහොමහරි කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළා. කොහොමහරි රූගතකිරීම් සියල්ල කළා. ආයේ එදාම කොළඹ එන්න කාලය මදි. ඒ නිසා එදා රෑ මම එහේ නැවතුණා. මගේ ජීවිතේ මම ලබපු ලොකුම භාග්‍යයක් විදිහට මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේගේ චරිතය මම දකිනවා.

ඒ කාලේ මම සැමියාගේ අතින්වත් ඇල්ලුවේ නෑ – ඕෂධී හේවාමද්දුම

සනත් අබේසේකර මහත්මයාගේ මහින්දාගමනය චිත්‍රපටයේ තමයි මට මෙහෙණින් වහන්සේගේ චරිතයක් කරන්න අවස්ථාව ලැබුණේ. සනත් අයියගේ ටෙලිනාට්‍ය කිහිපයකම මම වැඩ කරලා තිබුණා. කාලයකට පස්සේ සනත් අයියා මට කෝල් කරලා අපේ වැඩක් තියෙනවා. හැබැයි මේ කතාවේ හිස මුඩු ගාන්න ඕනෙ කියලා කිව්වා. චරිතය ගැන අහද්දි සනත් අයියා මට චරිතය ගැන කියද්දි ඇත්තටම මේ නිර්මාණයට දායක වෙන්න මට ලොකු ආසාවක් ඇතිවුණා.

නිළියක් කියන වෘත්තියටත් වඩා බෞද්ධයෙක් විදිහට මේ චරිතය කරන්න මට ලොකු ඕනෑකමක් ඇතිවුණා. මම මගේ සැමියගෙනුත් ඇහුවා. එයත් කැමති වුණා. ඊටපස්සේ මම සනත් අයියට මේ චිත්‍රපටයට දායක වෙන්න කැමැත්ත පළකළා.

චිත්‍රපටයේ රූගතකිරීම් පටන්ගන්න කලින් සනත් අයියා මාවයි මගේ පවුලේ අයවයි අනුරාධපුරේ එක්කගෙන ගියා. ඒ ගිහින් ශ්‍රී මහා බෝධියේ මුදුන් මළුවටම මාව එක්කගෙන ගිහින් මාව එතැනදී බාර කළා. එදා ඉඳන් මම නිර්මාංශී වුණා. මස්, මාළු කිසිවක්ම චිත්‍රපටය අවසන් වනතුරු කෑවේ නැහැ.

හිස මුඩු කරන දවසේ සම්පූර්ණයෙන්ම හිස මුඩු කරන්න පුළුවන් වුණේ නැහැ. අවසාන කොටස කපද්දිම විශාල වැස්සක් ඇද හැලුණා. ඒ නිසා පළවෙනි දවසේ අපේ රූගතකිරීම් කල්ගියා. ඊටපස්සේ ටික දවසක් ඉඳලා ආයෙත් රූගත කිරීම් පටන්ගත්තා. ඇත්තමෙ මගේ හිස මුඩු කරන දවසේ මෙහෙණින් වහන්සේලා කීපදෙනෙක්ම එතනට වැඩියා. උන්වහන්සේලා තමයි මගේ හිස මුඩු කළේ. ඇත්තමෙ මම එදා ඇත්තටම මහණ වුණා.

තනිකරම ඒ චාරිත්‍රානුකූලව මහණ බව ලබාගෙනම තමයි මම ඒ චරිතය රඟපෑවේ. මෙහෙණින් වහන්සේලා තමයි මාව මහණ කළේ. රූගත කරන කාලය තුළදී මම මහණ වෙලයි හිටියේ. මගේ සැමියාත් මාත් එක්ක ඒ රූගතකිරීම් කරන තැන්වලට ආවා. නමුත් ඒ මහණදම් කරපු කාලයේදී අඩුමගානේ මම සැමියාගේ අතින්වත් ඇල්ලුවේ නැහැ. ඒ මෙහෙණින් වහන්සේලා මගේ සැමියාගෙන් අපි මෙහෙම්මම මෙයාව ගෙනියන්නද? කියලා ඇහුවා.මගේ හිස මුඩු කරද්දි මගේ අම්මා ටිකක් ඇඬුවා. ඇත්තටම එවැනි චරිතයක් රඟපෑම මගේ ජීවිතේ විශාල භාග්‍යයක්.

උපුටා ගැනීමකි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button