පළකල දිනය : Thu, Jun 27th, 2019

මහේෂ්ගේ කොළේ ඉරාගෙන ශවේන්ද්‍රට ලැබුණු දික්කිරීම

මොනවා කළත්, කුමක් කීවත්, ඒ සියල්ල පෙරළා අපහාසයක් බවට පත්වන තරමේ අපලයකින් පෙළෙන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා, පක්ෂ විපක්ෂ සියලූ දෙනාගෙන් ප‍්‍රසංශා සඳහා පාත‍්‍ර වන තීරණයක් පසුගිය සතියේ ගනු ලැබීය. මීට සති කිහිපයකට පෙර ජනාධිපතිවරයා විසින් පරිසරය රැකගැනීමේ වගකීම සම්බන්ධ කරමින්, තව වසර පහක් ඇතුළත් සියලූ ලී මඩු වසා දැමිය යුතු බවට ප‍්‍රකාශ කිරීමත් සමග, රටේම වඩු කාර්මිකයෝ නොසන්සුන්වී, රට පුරා විරෝධතා මතු වන්නට විය.

පක්ෂ විපක්ෂ සියලූ දෙනාම පාහේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත දෝෂාරෝපණය එල්ල කළේය. පසුගිය අඟහරුවාදා කැබිනට් රැස්වීම අවසන් වීමෙන් පසු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ අතර හමුවක් සිදුවිය. එහිදී ජනාධිපතිවරයා විසින් යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා තවදුරටත් යුද හමුදා සක‍්‍රිය සේවයේ තබා ගැනීම සඳහා වන අනුමැතියට නිල වශයෙන් අත්සන් තබනු ලැබීය.

හමුදාපති හතරවැනි වරටත් පරදී

ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ මෙම තීරණය පිළිබඳව හමුදා කේෂ්ත‍්‍රයේ සියලූ දෙනාගේ මෙන්ම රටේ බොහෝ දෙනාගේ ද ප‍්‍රසාදය ජනාධිපතිවරයා වෙත පළවී තිබුණි. සිය ෆේස් බුක් ගිණුමෙන් ජනාධිපතිවරයා වෙත නිරන්තරයෙන් ප‍්‍රහාර එල්ල කරන එක් චරිතයක්, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා තවදුරටත් හමුදා සේවයේ තබා ගැනීම සඳහා ජනාධිපතිවරයා ගත් තීන්දුව අගයමින් සඳහන් කර තිබුණේ ‘මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා ගතවූ වසර හතරහමාර තුළ ගනු ලැබූ එකම හොඳ තීරණය වන්නේ ශවේන්ද්‍ර සිල්වා වීරයාගේ කාලය දික් කිරීමයි’ යනුවෙනි.

ජනාධිපතිවරයා ගත් එම තීන්දුවත් සමග යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පිට පිට සිව් වන වතාවට ද සිය පරාජය සනිටුහන් කර ගත්තේය.

සත්‍යපි‍්‍රය වෙනුවට ශවේන්ද්‍ර

යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ධුරය පසුගිය දෙසැම්බර් මාසයේදී හිස් වන්නේ එම තනතුර එතෙක් දරමින් සිටි මේජර් ජෙනරාල් දම්පත් ප‍්‍රනාන්දු විශ‍්‍රාම යෑම නිසාය. ඒ සඳහා හමුදාපති මහේෂ් සේනානායක විසින් නම් කරන ලද්දේ, මේජර් ජෙනරාල් සත්‍යප‍්‍රිය ලියනගේය. හමුදාපතිවරයා විසින් කරන ලද නම් කිරීම ඉවත දමමින්, ජනාධිපතිවරයා විසින් යුද හමුදාපති වෙත දන්වා යවන ලද්දේ, අදාළ තනතුර සඳහා යුදා හමුදාවේ ජ්‍යෙෂ්ඨයන් දස දෙනාගේ නම් තමා වෙත එවන ලෙසය. හමුදාපතිවරයා විසින් අදාළ නාම ලේඛනය යැවීමෙන් පසු ජ්‍යෙෂ්ඨත්වය අතින් ඉහළින්ම සිටි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ලෙස ජනාධිපතිවරයා විසින් නම් කරන ලද්දේය. ඒ හමුදාපතිවරයා ලද පළමු පරාජය ය.

පාස්කු ප‍්‍රහාරයේ වගකීම

දෙවැන්න වන්නේ පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයයි. කෙතරම් ආරක්ෂක යාන්ත‍්‍රණ රටකට තිබෙන්නේ නමුත්, රාජ්‍ය ආරක්ෂාව සඳහා යුද හමුදාව සතු වගකීම පළමු ස්ථානයේ සිටින බව පොදු මතයය. එම වගකීම පැහැර හරිමින් රටේ ස්ථාන ගණනාවක දී බෝම්බ පිපිරෙන තෙක් යුද හමුදාව කිසිවක් ඉටු නොකළේය.

මේ සඳහා දේශපාලන අමනෝඥභාවය ද බලපාන්නට ඇති මුත්, ජාතික ආරක්ෂාව විෂයයෙහි වන කිසිදු වගකිව යුතු ක‍්‍රියාමාර්ගයක් සඳහා යුද හමුදාපතිවරයා විසින් සිය කාර්යය භාරය ඉටු කොට තිබුණේ, නැත. බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් දින හතරකට පසු, එළියට බැස ගත් හමුදාපතිවරයා වටේටම නෙළමින් වීර කතා මාධ්‍යට පවසන්නට පටන් ගත්තේය.

ඒ මිස තමන්ගෙන් සිදුවූ අතපසුවීම පිළිබඳව ඔහු කිසිදු වගකීමක් නොදැරුවේය. හමුදාපතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන් විසින් අත්හරින ලද වගකීම අවසානයේදී බැර වූයේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ගිණුමටය.

ආරක්ෂක ලේකම් ධුරයට තරගයක්

පාස්කු ප‍්‍රහාරයෙන් පසු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු එම තනතුරෙන් ඉල්ලා අස්විය. නව ආරක්ෂක ලේකම්වරයෙකු පත් කර ගැනීම සඳහා ජනාධිපතිවරයා විමසිලිමත්භාවය පළකරන බව දැනගත් පාර්ශ්ව ගණනාවක් ඒ සඳහා නම් ගණනාවක් යෝජනා කළේය. හිටපු යුද හමුදාපතිවරුන් වන ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, ජෙනරාල් දයා රත්නායක, හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් ගේ නම් ඒ සඳහා යෝජනා වී තිබුණි.

තමන්ගේ ආරක්ෂක දුර්වලතාව පිළිබඳව සැලකිලිමත් වී, ඇතිවී තිබෙන තත්ත්වයෙන් රට ගොඩගෙන ජාතික ආරක්ෂාව තහවුරු කරන ක‍්‍රමවේදයන්ට යනවා වෙනුවට හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සිදු කරන ලද්දේ, තමන්ට අවශ්‍ය ආරක්ෂක ලේකම්වරයෙකු පත් කරගැනීම සඳහා මාන බැලීමය. සිය අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරයා වෙත හමුදාපතිවරයා විසින් නම් කරන ලද්දේ, විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ඇන්ටන් විජේන්ද්‍රගේ නමය.

මේජර් ජෙනරාල් ඇන්ටන් විජේන්ද්‍ර යාපනයේ ආඥාපතිවරයා ඇතුළු වගකීම් රාශියක් දරන ලද නිලාධරියෙකි. මේජර් ජෙනරල් රොහාන් දළුවත්ත හා එවකට බි‍්‍රගේඩියර් වරයෙකු වූ ජානක පෙරේරාගේ නායකත්වය යටතේ 20,000 ක යුද්ධ හමුදා බල ඇණියක් සහ ගුවන්, නාවික හමුදා සහභාගිත්වයෙන් දියත් කරන ලද රිවිරැස මෙහෙයුම සඳහා සහභාගි වූ සේනාංක අතුරෙන් පනස් දෙවැනි සේනාංකය මෙහෙයවන ලද්දේ, බි‍්‍රගේඩියර් පී. ඒ. කරණාතිලක විසිනි එහි දෙවන අණ දෙන නිළධාරි ලෙස බි‍්‍රගේඩියර් ඇන්ටන් විජේන්ද්‍ර සහභාගි විය. 52 වන සේනාංකය විසින් මාසයක පමණ කාලයක් ගත කරමින් කිලෝ මීටර් දොළහක් වූ, යාපනය – පේදුරුතුඩුව මාර්ගය කෝපායි දක්වා හා යාපන – පලාලි මාර්ගය කොණ්ඩාවිල් දක්වා මුදා ගන්නා ලදි.

මෙහිදී ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට ශ‍්‍රී ලංකා හමුදාව යාපන නගරයට නැගෙනහිරින් ඇති, සංග‍්‍රාමික වශයෙන් වැදගත් මාර්ග කිහිපයක් අත් පත් කර ගන්නා ලදි. එවන් මෙහෙයුම් සඳහා සහභාගි වී සිටි ඇන්ටන් විජේන්ද්‍ර ශ‍්‍රී ලංකා යුද හමුදාවට, බඳවා ගැනීම් අංක තුන යටතේ ඇතුළත් වූ නිලධාරියෙකි. පසු කලක යුද හමුදාපති ධුරය දරන ලද ශාන්ත කෝට්ටේගොඩ, සරත් ෆොන්සේකා වැනි චරිත යුද හමුදාවට දායාද වන්නේ මෙම කණ්ඩායමෙනි.

ශාන්ත කෝට්ටේගොඩ තෝරා ගනී

එවැනි නිලධාරියෙකු පිට නැගී, ඔහු ආරක්ෂක ලේකම් තනතුර සඳහා පත් කර, තමන්ගේ සහ තම හෙන්චයියලා වෙත ඇති තරම් බෙදා ගැනීම, හමුදාපති මහේෂ් සේනානායකගේ අරමුණ වී තිබුණි. නව ආරක්ෂක ලේකම්වරයා සඳහා ජනාධිපතිවරයා විසින් තිදෙනකුගේ නම් කැඳවා තිබූ අතර, ජෙනරාල් ශාන්ත කොට්ටෙගොඩ, ජෙනරාල් ඇන්ටන් විජේන්ද්‍ර සහ හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් වෙත එක් දිනයකදී ජනාධිපති කාර්යාලය වෙත එන ලෙස දන්වා තිබුණි.

ජනාධිපතිවරයා වෙත යෑමට ප‍්‍රථම විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ඇන්ටන් විජේන්ද්‍ර වෙත, ජනාධිපතිවරයා වෙත මුහුණ දෙන අන්දම පිළිබඳව පාඩම උගන්වන ලද්දේ, ශ‍්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය තුළදී හමුදාපති මහේෂ් සේනානායක විසිනි.

එක් එක් නිලධාරියා සමග වෙන වෙනම සාකච්ඡුා පවත්වන ලද ජනාධිපතිවරයා අවසානයේදී ආරක්ෂක ලේකම් තනතුර සඳහා සුදුස්සා ලෙස විශ‍්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටෙගොඩ තෝරා ගත්තේය. ඒ සමග යුද හමුදාපතිවරයා සිය තුන්වෙනි පරාජයද වැළඳ ගත්තේය.

ශවේන්ද්‍රගේ විශ‍්‍රාම ලේඛන පමාව

යුද හමුදාපතිවරයා විසින් සිය සිව්වෙනි පරාජය වැළද ගන්නේ, අතිශය සැලසුම් සහගත අයුරෙනි. තමන් විසින් තමන්ම පරාජය කර ගත් යුද හමුදාපතිවරයාගේ එම සැලසුම පිළිබඳව විස්තර කිරීමට පෙර, ඒ සඳහා වන පසුබිම් කතාව ප‍්‍රකාශ කළ යුතුව ඇත.

යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරෙයෙකු විශ‍්‍රාම ගන්වනු ලබන සම්ප‍්‍රදායික වූ පිළිවෙතක් තිබේ. මේජර් ජෙනරාල්වරයෙකු වයස අවුරුදු පනස් පහ සැපිරීමට මාස හතරකට පෙර, ඒ සඳහා වන නිල ලේඛන යුද හමුදා මූලස්ථානයෙන් සකසා ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලබයි. එම ලේඛන අතර අදාළ නිලධාරියා විශ‍්‍රාම ගැන්වීම පිළිබඳව සකසන ලද ත‍්‍රිභාෂික ගැසට් නිවේදනයේ දළ පිටපත ද විශ‍්‍රාම ගන්වන මේජර් ජෙනරාල්වරයා නිත්‍ය අතිරේක සේනාවට මාරු කිරීම සඳහා වන අවසරය ද ඔහුට එරෙහිව කිසිදු පරීක්ෂණයක් නොමැති බව ද ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලබයි. මේජර් ජෙනරාල්වරයෙකු විශ‍්‍රාම ගැන්වීම සඳහා ජනාධිපතිවරයාගේ සම්ප‍්‍රදායික අනුමැතිය අවශ්‍යවීම මෙම යොමු කිරීමේ අරමුණය.

මාස හතරකට පෙර ජනාධිපතිවරයා වෙත කරනු ලබන මෙම දන්වා සිටීමට, සන්නද්ධ සේනා ප‍්‍රධානියා ලෙස ජනාධිපතිගේ අනුමැතිය මාසයක පමණ කාලයකින් ලැබෙන අතර, ඉන් පසුව ආදාළ මේජර් ජෙනරාල්වරයා විශ‍්‍රාම ගැන්වීම සඳහා වන හමුදා පටිපාටින් සකසනු ලබන්නේය. ඒ අනුව යුද හමුදාවේ සියලූ අංශ වෙත අදාළ නිලධාරියා අසවල් දින විශ‍්‍රාම ගන්වන බව දන්වා, ඔහු වෙතින් හමුදාවට අය විය යුතු දේ සහ ඔහු විසින් හමුදාවට භාර දිය යුතු දේ ඇත්නම් අදාළ අංශ වෙතින් අය කර ගන්නා ලෙස හෝ බාර දෙන ලෙස දන්වන අතර, ඒ පිළිබදව අදාළ අංශ වෙතින් හමුදා මූලස්ථානය වෙත දන්වනු ලැබේ. මේජර් ජෙනරාල්වරයෙකු විශ‍්‍රාම ගනු ලබන්නේ මෙම ක‍්‍රමවේදය අනුවය.

ඒ අනුව ජුනි මාසයේදී විශ‍්‍රාම ගැන්වීමට නියමිත, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, මේජර් ජෙනරාල් වජිර පලිහක්කාර, මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සඳහා විශ‍්‍රාම ගැන්වීමේ ලේඛන ඊට මාස හතරකට පෙර එනම් මාර්තු මාසය වන විට සකසා අවසන් විය යුතුව තිබුණි. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හැරුණු විට අනිකුත් මේජර් ජෙනරාල්වරු දෙදෙනා සඳහා සාමාන්‍ය පිළිවෙත අනුව අදාළ ලිපි ගොනු සකසා ජනාධිපතිවරයා වෙත යොමු කර, සියලූ කටයුතු හමුදා මූලස්ථානයෙන් ඉටු කර තිබුණි.

ජනාධිපතිගේ ඇස් වහන්නට ගැසූ ගේම

ජුලි මාසයේ විශ‍්‍රාම ගත යුතුව ඇති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, මේජර් ජෙනරාල් රජිත අම්පෙමොහොට්ටි, මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න යන පිරිස සහ අගෝස්තු මාසයේදී විශ‍්‍රාම ගත යුතුව ඇති, මේජර් ජෙනරාල් පෙරමුණු ගමගේ, මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ද සැප්තැම්බර් මාසයේදී විශ‍්‍රාම යෑමට නියමිත මේජර් ජෙනරාල් චන්දන ගුණවර්ධන සඳහා ද වන අදාළ විශ‍්‍රාම ගැන්වීමේ ලේඛන හමුදා මූලස්ථානයෙන් ජනාධිපතිවරයා වෙත කල් වෙලා ඇතිව යොමු කර තිබුණි.

එසේ තිබියදී සාමාන්‍ය පටිපාටියෙන් බැහැරව මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විශ‍්‍රාම ගැන්වීම පිළිබඳව වන ලේඛන ජුනි මස නව වෙනිදා වනවිටත් ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමු කර තිබුණේ නැත. මේ සඳහා වන හේතුව තේරුම් ගත හැක්කේ, හමුදාපතිවරයා විසින් ගසන ලද ගැටයක් ලෙසය.

තජිකිස්ථානයේ යෑමට පෙර ජනාධිපති අතට ලිපිය

එක දිනයේදී විශ‍්‍රාම ලබා හෙවත් සිය පනස් පස් වන උපන් දිනය ජුනි 22 වැනිදා සමරන මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන වෙත විශ‍්‍රාම යෑම සඳහා හමුදා මූලස්ථානයෙන් සියල්ල සූදානම් වෙද්දී, එදිනම පනස් පස් විය සපුරන මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත අදාළ ලේඛන විශ‍්‍රාම යෑමට දින දහතුනක් තබා නොලැබෙන්නත් එම ගැටය නිසා විය යුතුය. ජනාධිපතිවරයා වෙත කල් වෙලා ඇතිව ශවේන්ද්‍ර සිල්වා විශ‍්‍රාම ගැන්වීමේ ලිපිය යොමු කළහොත්, ඔහු වෙත සේවා දීර්ඝයක් ලබා ගැනීම සඳහා අවස්ථාව, මාස ගණනාවක සිටම ඇතිවේ.

එම අවස්ථාව ශවේන්ද්‍ර සිල්වා වෙත අහිමි කර තම චක් ගෝලයෙකු, යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ධුරය සඳහා පත් කර ගැනීම හමුදාපතිගේ උපාය විය. ජුනි දස වැනිදා උදෑසන යුද හමුදාපතිවරයා විසින් ඉතාම රහසිගත ආකාරයෙන් ලහි ලහියේ හමුදා මූලස්ථානය තුළ, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විශ‍්‍රාම ගැන්වීමට අවශ්‍ය ලේඛන සකසන්නට පටන් ගත්තේ, පසුදා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තජිකිස්ථානය වෙත රාජ්‍යතාන්ත‍්‍රික සංචාරයක් සඳහා යෑමට සූදානම්ව සිටියේය. එම හදිස්සිය අතරේ, ජනාධිපතිවරයා වෙත ශවේන්ද්‍ර සිල්වාගේ විශ‍්‍රාම යෑමේ ලේඛන යවා අත්සන් තබා ගැනීම යුද හමුදාපතිවරයාගේ උපාය විය.

සැලසුම අතේ පත්තු වේ

දේශපාලනයෙන් අතිශයින්ම තෙම්පරාදු වී සිටි ජනාධිපතිවරයා තමා වෙත ලැබුණු ලිපි ගොනුව පසුවට අත්සන් තබන බව පවසා සිය සංචාරය සඳහා පසුදා පිටත්ව ගියේය. සංචාරය නිමවා පැමිණි ජනාධිපතිවරයා, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා තවදුරටත් සක‍්‍රිය හමුදා සේවයේ තබා ගැනීම සඳහා වන අනුමැතිය ලබා දෙන්නේ හමුදාපතිවරයාගේ සියලූ සැලසුම් ව්‍යර්ථ කරවමිනි.

මහේෂ්ගේ විශ‍්‍රාමය

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ලැබුණු මෙම සේවා දිගුව යුද හමුදාපති මහේෂ් සේනානායකගෙන් පසු ශ‍්‍රී ලංකා යුද හමුදාව ශවේන්ද්‍ර බාර ගන්නා බවට ලද පළමු සලකුණය. සේවා දිගු දෙකක් ලබා සිටින මහේෂ් සේනානායක, විශ‍්‍රාම යෑම සඳහා නියමිතව ඇත්තේ සැප්තැම්බර් 17 වැනිදාය. සේවා දිගු දෙකක් දැනටමත් ලබා සිටින බැවින් ලූතිනන් ජෙනරාල් සේනානායක වෙත තවත් සේවා දිගුවක් හිමි නොවන බවට උපකල්පනය කළ හැකිය.

තිස් වසරක යුද්ධය නිමා කරන ලද වන්නි මානුෂික මෙහෙයුමේ ප‍්‍රධාන සේනාංකාධිපතිවරයෙක් ලෙස තවම සක‍්‍රීය සේවයේ නියුක්තව සිටින්නේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පමණය. මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, මේජර් ජෙනරාල් ජගත් ඩයස්, මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ, මේජර් ජෙනරාල් ප‍්‍රසන්න සිල්වා යන මානුෂික මෙහෙයුමේ ප‍්‍රධාන සේනාධි නායකයන් සියලූ දෙනා මේ වන විට සිටින්නේ විශ‍්‍රාම ගතවය. එවන් පරිසරයක් තුළ යුද හමුදාවේ ‘මොරාල් අප් කිරීම’ හෙවත් යළි යුද හමුදාව වෙත නැගීසිටීම සඳහා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැනි අයෙකුගේ නායකත්වය අත්‍යවශ්‍යය.

ශාන්ත කෝට්ටගොඩගේ පරිපාලන ඥානය

ජනාධිපතිවරයාගේ තීරණය සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩගේ හමුදා ඥානය සහ පරිපාලනය හේතුවෙන් ත‍්‍රිවිධ හමුදාවටම මේ වන විට යළි නව පණක් ලැබී තිබේ. සිවිල් පරිපාලන නිලධාරියෙකු ආරක්ෂක ලේකම් තනතුර දරනවාට වඩා හමුදාපතිවරයෙකු ලෙස අත්දැකීම් ඇති ජෙනරාල් කෝට්ටෙගොඩ වැනි චරිතයක් ආරක්ෂක ලේකම් පුටුවේ සිටීම හමුදා පරිපාලනය විධිමත් ආකාරයෙන් සිදු කිරීම සඳහා මනා පිටුබලයක් ලැබී තිබේ.

පනස්පහ දික් කිරීම

මෙම වසර යුද හමුදා ඉතිහාසයේ වැඩිම මේජර් ජෙනරාල්වරු පිරිසක් විශ‍්‍රාම ලැබූ වසරකි. 1983 වසරෙන් පසු එතෙක් පැවති ශ‍්‍රී ලංකා යුද හමුදාව විශාල ඉදිරි පිම්මක් සඳහා ගමන් කළේය. එතෙක් එක බඳවා ගැනීමක් සඳහා, නිලධාරීන් දහයක් පහළොවක් පමණ බඳවා ගත් යුද හමුදාව, නිලධාරීන් තිහක් හතළිහක් පමණ එක් බඳවා ගැනීමක් සඳහා ගනු ලබන්නේ, 1983 වසරෙන් පසුවය. මෙසේ බඳවා ගත් නිලධාරීන් රාශියක් 2019 සහ 2020 යන වසර වලදී වයස අවුරුදු පනස් පහ සැපිරීම නිසා විශ‍්‍රාම යෑමට නියමිතය.

අත්දැකීම් බහුල මෙම නිලධාරීන් විශ‍්‍රාම ගැන්වීම නතර කිරීම සඳහා මීට පෙර යෝජනාවක් ලෙස ඉදිරිපත් වී තිබුණේ, සියලූ හමුදා නිලධාරීන් සඳහා විශ‍්‍රාම යායුතු වයස අවුරුදු පනස් හත දක්වා දීර්ඝ කළයුතු බවය. මේ සඳහා නාවික සහ ගුවන් හමුදා වෙතින් කැමැත්ත පළවී තිබූ නමුත්, යුද හමුදාව ඒ සඳහා නිසි ප‍්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත.

ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටෙගොඩ සහ මානුෂිය මෙහෙයුමේ අවසාන කාලයේදී වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා, මේ සම්බන්ධව ඉක්මන් ප‍්‍රතිපත්ති තීන්දුවක් ගනු ඇතැයි ත‍්‍රිවිධ හමුදාවේ බොහෝ දෙනා බලාපොරොත්තු වෙති. විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව පත්ව ඇති තත්ත්වය හේතුවෙන්, මෙවැනි අත්දැකීම් බහුල නිලධාරීන් පනස් පහෙන් විශ‍්‍රාම ලැබීම රට පැත්තෙන් අවාසිදායක තත්ත්වයකි.

මනෝජ් අබයදීර
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button