පළකල දිනය : Sat, Jun 29th, 2019

සහරාන් සමඟ තේ කෝප්පයක්‌ බීපු අයවත් අල්ලනවා

දැන් අපට තියෙන්නේ මේක ආපහු ඇති නොවෙන්න පියවර ගන්නයි. මේක එල්.ටී.ටී.ඊ එක වගේ ලොකු සංවිධානයක්‌ නොවෙයි. මේකේ හිටපු අය ඉවරයි. ආපහු කොටසක්‌ අලුතින් හිතල කරන්න ගියොත් මිස නැත්නම් මේක සිද්ධ වෙන්නෙ නෑ. එතැනට යන්න ඉඩ දෙන්න එපා. මුස්‌ලිම් මිනිස්‌සු අන්තවාදයට යවන්න එපා යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සිකුරාදා (21 දා) හිනිදුම මල්ලිකා නවෝද්‍යා පාසල් ක්‍රීඩාංගනයේ පැවති ජනහමුවකදී පැවසීය.

අද අපි මුස්‌ලිම් ජනතාවට එරෙහි ව්‍යාපාරයක්‌ ගෙනියනවා නම් මුස්‌ලිම් අයට හිරිහැර කරන්න කියනවා නම් මොකද වෙන්නෙ? මේක කළේ අතලොස්‌සක්‌. මේක කරපු අයට මුස්‌ලිම්වරුන්ම ගහන්නයි ඉන්නේ අපිව නැති කළා කියලා. මුස්‌ලිම් ජනතාවට මේක කළොත් ආපහු කවුරු හරි එන්න ඉඩ තියෙනවා. අපි අපේ දේශපාලනය කරමු. නැතිව ජාතිවාදය අරගෙන මුස්‌ලිම් මිනිස්‌සු කොන් කරන්න ගියොත් ඒකෙන් අපි කරන්නේ මේ තරම් විශිෂ්ට සේවයක්‌ කළ, ජීවිත තුනක්‌ පූජා කළ ආරක්‌ෂක අංශය පාවා දීමක්‌ යෑයි අගමැතිවරයා තවදුරටත් පැවසීය.

එදින පස්‌වරුවෙහි තවලම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශය තුළ සංචාරයක යෙදෙමින් ඕපාත අලුතින් පිහිටුවන ලද පොලිස්‌ ස්‌ථානය විවෘත කළ අගමැතිවරයා අනතුරුව තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඉදිකෙරුණු නව ගොඩනැඟිල්ල ද හිනිදුම ශාසනෝදයාරාම විහාර භූමියේ ඉදිකෙරුණු සුරක්‌ෂා මධ්‍යස්‌ථාන ගොඩනැඟිල්ල ද මල්ලිකා නවෝද්‍යා පාසලට අලුතින් එක්‌ කෙරුණු තාක්‌ෂණික විද්‍යාගාරයේ නව දෙමහල් ගොඩනැඟිsල්ල ද විවෘත කිරීමෙන් අනතුරුව මෙම ජනහමුවට එක්‌විය..

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ තවදුරටත් පැවසීය.

මම එක කාරණයක්‌ ගැන කතා කරන්නයි මෙතැනට ආවේ. ඒ අපේ රටේ ජනතාවගේ ආරක්‌ෂාව ගැනයි. මේක විශාල ප්‍රශ්නයක්‌. අපි ආරක්‌ෂා වෙනවද? පොලිසිය මොනවද කරන්නේ? ආණ්‌ඩුව මොකක්‌ද කරන්නේ? නිදාගෙන ඉන්නවද ඇතුලේ ගහගන්නවද? මේවා තමයි අහන ප්‍රශ්න. මම පොලිසියෙන් බුද්ධි අංශ වාර්තා ඔක්‌කොම ලබා ගත්තා. සාකච්ඡා කළා. අද වෙනකොට සහරාන්ගේ කල්ලියේ හැම කෙනාම අත්අඩංගුවේ නැත්නම් රැඳවුම් නියෝග යටතේ ඉන්නවා කියලා මට කියන්න පුළුවන්. එකෙක්‌ පිට නෑ. තවත් කණ්‌ඩායම් ගණනාවක්‌ අරගෙන ඉන්නවා. ඇත්ත වශයෙන්ම ඒ ආරක්‌ෂාව දැන් ලැබිල තියෙනවා.

අපිට විශාල ප්‍රශ්නයක්‌ තියෙනවා. අදත් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේත් ජනාධිපති කොමිසමේත් වාර්තා කරලා තිබුණා ඇයි අපි අප්‍රේල් 04 වැනිදා ලැබුණු තොරතුරු අනුව ක්‍රියා නොකළේ කියා. ආණ්‌ඩුවක්‌ හැටියට අපි ඒ වගකීම භාරගෙන ඒ ගැන සොයල බලන්න තමයි කොමිටියක්‌ පත්කරල තියෙන්නෙ. ඇත්තවශයෙන්ම ඒ ප්‍රශ්නය නිසා විශ්වාසය ගැන විශාල ප්‍රශ්නයක්‌ මතුවුණා. ඒ අතපසුවීම ගැන සොයා බලන ගමන්ම තව එකක්‌ කිවයුතුයි.

මේ සිදුවීමට පසු දවල් 12 වෙනකොට මම තවත් ඇමැතිවරයකු සමග අමාත්‍යංශයට ගියා. ජනාධිපතිතුමා සමග දුරකථනයෙන් කතා කළා. ඊටපසු ආරක්‌ෂක අංශවල නිලධාරීන් රැස්‌කරලා කිව්වා සමාව දෙන්නේ නැතිව ලංකාවේ ඉන්න අයි.එස්‌.අයි.එස්‌. කාරයින් හැම එකාම අල්ලන්න ඕන කියලා. මම කියන්න කැමතියි දවල් 12 ට මම නියෝග දුන්නා, රෑ 09 වෙනකොට පළවෙනි කණ්‌ඩායම අල්ල ගත්තා.

අවාසනාවකට අපේ පොලිස්‌ නිලධාරීන් තුන් දෙනෙක්‌ මරණයට පත්වුණා. කල්මුණේ පැත්තේ මුස්‌ලිම් ජාතිකයකු දුන් තොරතුරුවලට අනුව සහරාන්ට සම්බන්ධ නිවාස හතරේ තොරතුරු සොයාගෙන තවත් කට්‌ටියක්‌ අල්ලා ගත්තා. අනික්‌ අය මියගියා. දිවි නසාගත්තා. එතැනින් පරීක්‌ෂණ පටන් ගත්තා. මම කියන්න කැමතියි දැන් ඒ කල්ලියේ ජීවතුන් අතර ඉන්න හැම දෙනාම අල්ලාගෙන ඉන්නේ. ඒ අය ගැන නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කරගෙන යනවා. ඒ විතරක්‌ නෙවෙයි කාත්තන්කුඩිවල සහරාන්ගේ පන්තිවලට ගිය හැම කෙනාමත් අල්ලගෙනයි ඉන්නේ.

දැන් ඒවාට සම්බන්ධ තවත් ඉන්නවද කියා සොයා බලනවා. ඒ කට්‌ටිය එක්‌ක තේ කෝප්පයක්‌වත් බීල තියෙනවා නම් පරෙස්‌සම් වෙන්න.පොලිසියෙන් ඇවිත් ප්‍රශ්න කරාවි. අන්න එහෙම විශාල පරීක්‌ෂණයක්‌ ගෙනියනවා. පිටරට අන්තවාදීන් එක්‌ක සම්බන්ධ වුණු අය ගැන තව විශාල වැඩ කොටසක්‌ අපේ ආරක්‌ෂක අංශ කරගෙන යනවා. බොහෝ දෙනෙක්‌ අහනවා මොකක්‌ද මේ අය කළේ කියලා.

ඒත් මේ අයට සිදුවෙලා තියෙනවා රහසිගතව වැඩ කටයුතු කරන්න. ඒ රහසිගතව වැඩ කිරීම එක අතකින් නිලධාරීන්ට විශාල අසාධාරණයක්‌. කවුරුත් දන්නෙ නෑ වෙන්නෙ මොනවද කියලා. හෙට සමහරවිට නිලධාරියෙක්‌ කතා කරලා මගෙන් අහයි සර් ඇයි මේ ටික කිව්වෙ කියල. මම මේ ටික කිව්වේ ඒ අයට වෙන්න ඕන සාධාරණයක්‌ හැටියටයි. සමහරු කියනවා මොකුත් වෙන්නෙ නැහැ කියල. නමුත් මම දන්නවා මොකක්‌ද වෙන්නෙ කියලා.මට කියන්න පුළුවන් ඒ අය එක්‌ක කතා කරලා විශ්වාසයක්‌ තියෙන නිසා.

මේ සියල්ල කළේ මාස දෙකෙන්. විදේශවල අය අහනවා මේ මාස දෙකෙන් කොහොමද කළේ අපට පළවෙනි එකා අල්ල ගන්නත් මාස දෙකක්‌වත් යනවා කියලා. අපි මේ සම්බන්ධයෙන් දෙදාහක්‌ විතර අල්ලා ගත්තා. මේ අය අතරේ මීට සම්බන්ධ නැති අයත් ඇති. පරීක්‌ෂණ කරලා ඒ අය නිදහස්‌ කරන්න නැත්නම් ඇපපිට මුදා හරින්න, වෙනත් වරදක්‌ කරලා තියෙනවා නම් අදාළ නීතියක්‌ යටතේ නඩු දාන්න මේ අයට අසහනයෙන් ඉන්න දෙන්න එපා කියලා. අපට යුතුකමක්‌ තියෙනවා හැම කෙනෙක්‌ම ආරක්‌ෂා කරන්න. හැම කෙනාටම ආධාර උපකාර හා නීතියේ රැකවරණය ලබා දෙන්න.

උතුරු නැගෙනහිර යුද්ධයේදී නැගෙනහිරෙන් හුඟක්‌ ඔත්තු ලැබුණා. ඒ විශේෂයෙන්ම මුස්‌ලිම් ජාතිකයින්ගෙන්. ඒකයි අපට එය පාලනය කරගන්න පුළුවන් වුණේ. කරුණා කඩන වෙලාවේ ඒ සහයෝගය අපට ලැබුණා. මුස්‌ලිම් සහයෝගය නොතිබුණා නම් කරුණාට බැහැ තනියම යන්න. ඒ ලැබෙන සහයෝගය අපි නවත්වන්න හොඳ නැහැ. මේ මාස දෙක පිරුණු අවස්‌ථාවේදී ආරක්‌ෂක අංශ එදා සිට අද වෙනකම් කරපු සේවය අගය කරන එක මම මෙතැනදී කරනවා කියල කියන්න මම කැමතියි. ඒ වගේම මේ ත්‍රස්‌තවාදය නැවත ඇති නොවන විදිහට මුස්‌ලිම් අය කොන් නොකර අපි කවුරුත් ඉදිරියට ගිහිල්ලා එය අපේ ජයග්‍රහණයක්‌ ලෙස සලකලා අපි ඔක්‌කොම වැඩ කරමු කියලා කියන්න මම කැමතියි.

ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු පිළිsබඳ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා – සමෘද්ධි වැඩසටහනට අලුතින් එක්‌කාසු වූ මේ පිරිස දකින කොට මට නිරන්තරයෙන් සිහිපත් වන පුද්ගලයෙක්‌ ඉන්නවා. ඒ රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමායි. එතුමා තමයි මුලින්ම ජනසවිය කියල වැඩසටහනක්‌ ආරම්භ කළේ. එතුමා ජනසවිය දෙනකොට බලාපොරොත්තු වුණේ අවුරුදු දෙකක්‌ ඇතුළත ඒ පවුල් ශක්‌තිමත් කරන්න අත්වැලක්‌ වෙන්නයි. දිගින් දිගටම ජනසවිය දෙන්න එතුමා බලාපොරොත්තු වුණේ නැහැ.

එතුමාගේ අභාවයත් සමග ජනසවිය යටපත් වුණා. ඊට පසු සමෘද්ධි ව්‍යාපාරය ආවා. මේ වැඩසටහන් දෙකේම සමානකම් මෙන්ම අසමානකම් ද අහසට පොළොව වගේ මම දකිනවා. ජනසවියේ ඉලක්‌කය වුණේ නැති බැරි අය ඇති හැකි අය කරන්නයි. හැබැයි අවාසනාවකට සමෘද්ධි ව්‍යාපාරයේ අපි දැක්‌කේ ඒ වෙනුවට දේශපාලන පක්‌ෂ, සංවිධාන හා දේශපාලනඥයන් සවිබල ගැන්වීමට ප්‍රධාන තැනක්‌ දෙන එකක්‌ හැටියටයි. දේශපාලනඥයාගේ පිරිස්‌ බලය පෙන්වීමට ඒ අහිංසක ජනතාව අතකොලු හැටියට පාවිච්චි කරන බවක්‌ අපි දුටුවා.

ස්‌වදේශ කටයුතු සහ පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතා – අනූ හතරේ අපේ බලය සම්පූර්ණයෙන් නැති වුණා. ඊට පස්‌සේ සමෘද්ධි ව්‍යාපාරය ආවා. ඒකෙදී එක්‌සත් ජාතික පක්‌ෂ බහුතරයකගේ සහ ජවිපෙ අයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණා. ලක්‌ෂ ගණනක්‌ ජනතාවට දේශපාලන වශයෙන් වෙනස්‌ මත දැරීමේ හේතුව මත එය ලබා ගන්න බැරිවුණා. වර්තමාන අගමැතිතුමාට තනි ආණ්‌ඩුවක්‌ ලැබිලා මාස පහයි. ආර්ථිකය ශක්‌තිමත් කරලා මේ පළාතේ ඉන්න දහස්‌ ගණනකට නැතිවූ මූලික අයිතිවාසිකම ලබා දෙන්න අපට පුළුවන් වුණා.

ගාලු දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය පියසේන ගමගේ, තවලම ප්‍රාදේශීය සභාවේ සභාපති වෛද්‍ය බන්දුල විඡේසේකර මහත්වරු ඇතුළු තවත් කිහිපදෙනකු උත්සව සභාව ඇමතුහ.

තවලම – ආරියසෝම නාගොඩ විතාන, හිනිදුම – රවින්ද්‍ර චන්ද්‍රලාල්
Source – දිවයින

  • 679
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button