පළකල දිනය : Thu, Jul 4th, 2019

සිස්ටම් එක වෙනස් කරන්න ආපු බෝසත් තරුණයා

මේ රටේ දැන් තියෙන සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ. ඒකට තරුණ පරපුර එකතු වෙන්න ඕනේ.ඒ වැඩේට අපූරු සංකල්ප ඉදිරිපත් කරමින් වෙනසක් කරන අපූරු චරිතයක් ගැනයි මේ කියන්න යන්නේ. නමින් ඔහු දුලාන් හෙට්ටිආරච්චි. රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු මෙන්ම අමාත්‍යාංශ ගණනාවක උපදේශකවරයෙකු ලෙසත් කටයුතු කරන දුලාන් රටම කතා කරන වැඩසටහන් කිහිපයක්ම දියත් කළා.ඒ අතරින් හිසට සෙවණක් නැති මිනිසුන්ට හිසට සෙවණක් ලබාදීමේ වැඩසටහන පෙරමුණ ගන්නවා. ඒ ගැනත් ඔහුගේ අලුත්ම තොරතුරු ගැනත් අහලා බලන්න අපි දුලාන් හෙට්ටිආරච්චිට කතා කළා.

ඉස්සල්ලම කියමුද බලන්න ඔබ කවුද කියලා..?
මම දුලාන් හෙට්ටිආරච්චි. මම පොඩි ගමක හැදුනු වැඩුණු කෙනෙක්.
විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සම්බන්ධතාවය පිළිබඳ උපාධිය ලබාගත්තා.
මේ වෙද්දි මම ආචාර්ය උපාධිය ලබාගන්න කටයුතු කරගෙන යනවා.
අධිකරණ අමාත්‍යාංශයේ, ඔස්ට්‍රේලියාවේ සහ චීන තානාපති කාර්යාලයේ මම වැඩ කළා.

අසරණ මිනිස්සුන්ට හිසට සෙවණක් ලබාදෙන්න ඔබ කටයුතු කරනවා.. මොකක්ද මේ වැඩ සටහන..?
මම හරිම දුප්පත් ගමක ඉපදුනු කෙනෙක්. අපේ තාත්තට මාරුවක් ලැබුණා අම්පාරට.. ඒ දවස්වල යුද්ධයේ කලබල.. අපි හිටියේ එහේ හැංගිලා වගේ.එහෙ මිනිස්සු හරියට දුක්වින්දා.. ඒ දේවල් මම මගේ ඇස් දෙකෙන් දැක්කා.අපේ ගමට අවුරුදු 6 ක් කරන්ට් එක තිබුණේ නෑ.. පාරවල් නෑ.. මිනිස්සු දුක් විදිනවා. හැබැයි විවිධ පැලැන්තිවල අය සැප විදිනවා.. අසරණ මිනිස්සුන්ට හිසට සෙවණක්වත් නෑ..
දේශපාලඥයෝ සැප විදින්නේ අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලිවලින්.

ඔස්ට්‍රේලියාවට රැකියාවට ගියාම මට දැනුනු දෙයක් තමයි මිනිස්සු කොච්චරනම් නිරපරාදේ සල්ලි වියදම් කරනවද කියන එක. එක මනුස්සයෙක් දවසට කෝපි කෝප්ප පහක්වත් අඩුම දවසට බොනවා.

මම හිතුවා. මම ඔවුන්ගෙන් ඉල්ලීමක් කළා දවසකට එක කෝපි කෝප්පයක මුදලක් වෙන් කරන්න.. ඒ කියන්නේ ඩොලර් 10 ක්.. වසරකට ලංකාවේ මුදලින් ලක්ෂ 7 ක් පමණ.
මම මේක සංකල්පයක් විදිහට ගෙනාවා. මම නාවික හමුදාවෙන් ශ්‍රම දායකත්වය ඉල්ලුවා. ඒ ඔස්සේ මට පුළුවන් වුණා අහිංසක පවුලකට ගෙයක් ලබාදෙන්න.
මම තෝරගන්නේ ආබාධිතයෙක් ඉන්න පවුලක්. ආබාධිතයෙක් ඉන්නවා කියන්නේ පවුලක් පහළට වැටෙනවා. සමාජයෙන් ඔවුන්ට ලැබෙන අවස්ථා අඩුයි.. දුප්පත් කියන එකට අර්ථකථනයක් දෙන්න අමාරුයි. ඒ වගේ අයට මම අද වෙද්දි ගෙවල් 52 ක් හදලා දීලා තියෙනවා.

මම හිතුවේ නෑ මේ දේ මට කරන්න පුළුවන් වෙයි කියලා.. ඒත් මට ඒක සාර්ථක කරගන්න පුළුවන් වුණා.. මොකද මේ වැඩේ විනිවිදභාවයකින් කරන නිසා. නාවික හමුදාවට තමයි සල්ලි එන්නේ.. ඒ නිසා මිනිස්සු ගොඩක් උදව් කළා.

හුගදෙනෙක් කතා කරන දෙයක් තමයි මත්ද්‍රව්‍ය. ඔබ දන්නවා දුම්වැටි මිලියන 18 ක් දිනකට පුච්චනවා. ලංකාවේ මිනිස්සු ඉන්නේ මිලියන 22 යි. අද වෙනකොට ගෙවල් නැතිව ඉන්නෙත් දහදාහකට අඩු පිරිසක්. කෙනෙක් එක දවසක දුම්වැටි බොන එක නැවැත්තුවොත් මේ අයට ගෙවල් ටික හදලා දෙන්න පුළුවන්. කෙනෙක් දවසට සිගරැට් පහකට වැඩිය බොනවා.. මම ගෙනාවා සංකල්පයක් සිගරැට් බොන එක නවත්වලා ගෙයක් හදන්න ගඩොල් පන්සීයක් ගන්න කියලා.. ඒ වැඩේට හොද ප්‍රතිචාර ලැබුණා.

ගිය සතියේ මට කතා කරලා කිව්වා එකවුන්ට් එකට රුපියල් 245 ක් ආවා කියලා.. ඇත්තටම ඒක ඇහුවම ලොකු සතුටක් දැනුනා.. සිගරැට්වලට වැය කරන මුදල සංකල්පයත් එක්ක කාවැදිලා කෙනෙක් තේරුම්ගන්නවානම් සිගරැට්වලින් ජීවිතේට වෙන ආදීනව කොයි තරම් දෙයක්ද.. ඒ වගේම ගෙයක් නැති කෙනෙකුට ගෙයක් හදලා දෙන්න දායකවීමෙන් ලැබෙන කුසලය කොයිතරම්ද..?

තවත් ඒ වගේ වැඩපිළිවෙලවල් ඔබ ගාව තියෙනවද..?
අද බලන්න ෆේස්බුක් හරි සමාජ මාධ්‍යවල තියෙන දේවල්. එක්කෝ කෝටි ගාණක් වියදම් කරලා උපන්දින සාද අරගෙන.. නැත්නම් වෙඩින්. සමාජ ශාලාවලට ගිහින් අනවශ්‍ය විදිහට සල්ලි වියදම් කරනවා.

මේ හැමදේම නිෂ්ඵල දේවල්. ජීවිතේ අපි කරන්න ඕනේ අර්ථවත් දේවල්.ලෝකේ වෙනස් කරපු හැමෝම පටන්ගත්තේ පොඩි සංකල්පයකින්.. හැබැයි ඒ සංකල්පය මගින් ලොකු දෙයක් කළා.
පොඩි පොඩි සංකල්ප තමයි දර්ශනයක් දක්වා ගෙනයන්නේ. මම කුඩා මනුස්සයෙක්. මේ සමාජය වෙනත් කරන්න පුළුවන් මේ තරුණ පරපුර එකතු වුණොත්.
අපේ තරුණයන් පරිත්‍යාගශීලියි. නම්‍යශීලියි. මතකද ජර්මන්වලින් පටන් ගත්ත අයිස් බකට් චැලේන්ජ් එක. ඒ අය ඒ අයට උදව් කළා. ඇයි අපිට බැරි.. ආසියානුකරයේ දුක් විදින අය වෙනුවෙන් දෙයක් කරන්න බැරි ඇයි.. මට තනියම බැරි වෙයි.. ඒත් මම ගෙවල් 52ක් මේ වෙද්දි හදලා ඉවර කළා.

මගේ තවත් සංකල්පයක් තමයි නෝ හෝන් සංකල්පය. නිහැඩියාවට හඬක් නමින් ඒ වැඩේ පටන් ගත්තේ. ඔබ දන්නවා ලංකාවේ මාර්ගයක ගමන් කරන්න බෑ.. මවකට, වයසක කෙනෙකුට ලෙඩෙකුට පාරේ යන්න බෑ.. අධික ශබ්දයක් තියෙන හෝන් තියෙන්නේ.
මේ ගැන ආරක්ෂක අමාත්‍යාංශය හා ජනාධිපතිතුමා එක්ක මම කතා කරලා තමයි මේ වැඩේ පටන් ගත්තේ. නිහැඩියාවේ සතියක් පටන් ගන්න හිටියේ. අවාසනාවකට පසුගියදා සිද්ධවුණු පාස්කු ප්‍රහාරය නිසා ඒ දේ කරන්න බැරිවුණා.. ඒත් අගෝස්තු මාසේ මේ වැඩේ පටන් ගන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ.

මේ ගැන බස් ටිපර් සහ ලොරි රියදුරන්ට දැනුවත් කළා.
ඊට පස්සේ දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.. අපේ රටේ අයට විනයක් නෑ.. සියළුම ආයතන එකතු කරගෙන ඩෙසිබල් 70කට වැඩි හෝන් ගෙන්වීම තහනම් කරන්න ඕනේ.. ගෙනාවොත් ඒ අයට විරුද්ධව දැඩිය නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.. අපි දස අවුරුදු එහෙමත් නැත්නම් විසි අවුරුදු සැලැස්මකට මේ රට ගෙනියන්න ඕනේ.. මම තරුණයෙක් විදිහට ආයාචනා කරනවා.. අලුත් සංකල්පයක් ගේනත් මේ රට ඉදිරියට ගෙනියමු කියලා.

මොනවද ඉදිරි බලාපොරොත්තු..?
මට තියෙන්නේ පොඩි බලාපෙරාත්තුවක්. මම මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තා. දැන් මට ඕනේ සමාජයට දෙයක් දෙන්නයි.. ඒ දේ රටට කරන්නයි මගේ බලාපොරොත්තුව.

රට දියුණු කරන්න ඔබ වගේ හිතන මිනිස්සු තව හිටියානම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද..?
මම හිතන්නේ මම වගේ අය ඉන්න ඕනේ කියලා නෙවෙයි.. අපි තමයි මේ රටේ අලුත් පරම්පරාව. අලුත් පරම්පරාව කියන්නේ 72 නිදහස ලබාගත්තට පස්සේ බිහිවුණු අය.
අපි කාටවත් යටත් නෑ.. ගැති නෑ.. ජාති ආගම් කුල විදිහට පටු විදිහට හිතන පරම්පරාවක් නෙවෙයි අපි. කෝණවලට හිරවෙලා නෙවෙයි එයින් ඔබ්බට ආපු අයයි අපි.
අපි අලුත් සමාජයක් ගොඩනගන්න ඕනේ කට්ටියම එකතු වෙලා පොඩි පොඩි දේවල්වලින්.
පසුගිය දේශපාලන සිද්ධි, සමාජ වැරදි ආගම් කුල මේ හැමදේම අපි අමතක කරලා හරි විදිහට සමාජය අරගෙන ගියොත් ඊළඟ පරම්පරාවට සුවපත් රටක් බාරදෙන්න අපිට පුළුවන් වේවි.

දැන් පදුරකට ගැහුවොත් 2020 ජනාධිපති අපේක්ෂකවරු විසිවෙනවා.. ඔබටත් ඒ වගේ අදහසක් නැද්ද..?
ඇත්තටම හොඳ ප්‍රශ්නයක්.. ජනාධිපතිවරු අගමැතිවරු දේශපාලඥයෝ හැමෝම යන්නේ වෙනම ගමනක්.
අද බලන්න රස්සාවක් හදාගන්න, මාරුවීමක් හදාගන්න එහෙමත් නැත්නම් ඉඩමක ඔප්පුවක් හෝ වෙනත් කටයුත්තක් කරන්න අද දේශපාලඥයා පිටිපස්සෙන් යන්න වෙනවා.
එතකොට තමයි රටේ හොඳම වෘත්තිය දේශපාලනය කියලා හිතෙන්නේ. බලයක් ආරෝපනයක් එකතු වෙනවා.

රටේ ඉන්න ප්‍රධාන අය කියලා ඔවුන්ව කැපී පේනවා.. වෙන රටවල එහෙම නෑ.. ඔස්ට්‍රේලියාවේ අගමැති පාපැදියෙන් තමයි යන්නේ.. දේශපාලකයා කියන්නේ ජනතාවගේ බදු මුදලින් වැජබෙන තාවකාලික දෙයකට.පදුරකට ගැහුවොත් දේශපාලකයෝ විසිවෙන තැනට පත්වෙලා තියෙන්නේ ඒ නිසයි.

යුරෝපීය රටවල ජනාධිපති හෝ අගමැති ඉන්නවද කියලවත් දන්නේ නෑ.. එහෙ සමාජයේ හැමෝටම ලැබිලා තියෙන්නේ සම තැන.
එක විදිහට පිළිගන්නේ.. ඇමති එව්වා කියලා කියන්න ඕනේ නෑ.. මෙන්න මේ දේවල් අපි වෙනස් කරන්න ඕනේ..

ඔබේ පවුලේ විස්තර සහ ගම් පළාත ගැන කිව්වොත්…?
මගේ තාත්තා විශ්‍රාමික විදුහල්පතිවරයෙක්. නංගී බැංකුවක සේවය කරනවා. අම්මා ගෘහණියක්.

අද හුගක් අය දෙයක් කරන්නේ තවත් දෙයක් බලාපොරොත්තුවෙන්.. ඔබත් ඒ වගේද..?
මගේ බලාපෙරොත්තුවක් තියෙනවා.. අවුරුදු 200 ක් වගේ කාලයක් යටත් විජිතයක් විදිහට අපේ රට විනාශ වුණා. අවුරුදු 70ක් විතර දේශපාලන පක්ෂවලට කොටුවෙලා ලේ වැගිරීම් වෙලා මිනිස්සු මියගියා. මේක වෙනස් කරන්න තරුණ බලවේගයක් හදන්න ඕනේ.

දේශපාලනයෙන් එළියට ඇවිත් රට කියන හැගීම සහ ජාතිකත්වය කියන දේ ජීවිතවලට කාවද්දන්න ඕනේ. අපි වෙන රටවලින් ආදර්ශ ගන්න ඕනේ.. අලුත් ආණ්ඩුවක් ආවම පරිපාලන සේවයේ ඉන්න ලේකම් වෙන අමාත්‍යාංශයකට දානවා.. කොහොමද එතකොට වැඩ කරන්නේ.
විධිමත් අධ්‍යාපන ක්‍රමයක් හදන්න ඕනේ.. අවුරුදු පහෙන් පස්සේ ළමයෙක් මොන ක්ෂේත්‍රයටද යොමු වෙන්නේ කියලා හිතන්න පුරුදු කරන්න ඕනේ.. විෂය ක්ෂේත්‍රවල දැනුම ලබාදෙන්න ඕනේ..

ඒ විදිහට ප්‍රවීණයන් බිහිකරන්න ඕනේ.. මේ හැමදේම වෙනස් කරන්න ඕනේ.. දැන් තියෙන්නේ යල් පැනපු සිස්ටම් එකක්. බිත්‍රාන්‍යයන් ගෙනාපු දේ තාම තියෙනවා.. ඔවුන් ඉහළට ගියා හැබැයි අපි තවම එතනමයි. මේ හැමදේම වෙනස් කරන්න මාධ්‍යයටත් ලොකු වගකීමක් තියෙනවා.

  • 729
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button