පළකල දිනය : Thu, Jul 4th, 2019

කිතුනු පල්ලියේ බෞද්ධ සේවකයා

කුරුණෑගල නගරයේ සිට විහිදෙන මහනුවර මාර්ගයේ සුවිසල් ඇතුගල පාමුල පිහිටි ලංකා සභාවේ කුරුණෑගල දියෝකීසියට අයත් ක්‍රිස්තු රජිඳ මුල් දෙව්මැදුර ජනතාව අතර වඩාත් ප්‍රකට පන්සලේ දේවස්ථානය ලෙසය.

අතීතයේ සිටම කුරුණෑගල දිස්ත්‍රික්කයේ බෞද්ධ, කිතුනු සහ වෙනත් ආගම්වල ජාතීන් අතර බොහෝ ගැටලුකාරී අවස්ථාවන්හිදී සාමය සංහිඳියාව ඇති කිරීම සඳහා මෙම දේවස්ථානය ඉටුකර තිබෙන මෙහෙය අති මහත්ය. වත්මනේ ඇතිවී තිබෙන ආගම්වාදී සහ ජාතිවාදී වාතාවරණයන් සමනය කිරීම සඳහාද මේ දේවස්ථානය සහ එහි වත්මන් පාලක ලංකා සභාවේ කුරුණෑගල දියෝකීසියේ රදගුරු කීර්තිසිරි ප්‍රනාන්දු හිමිපාණෝ සුවිශාල මෙහෙවරක් ඉටු කරමින් සිටිති.

පන්සලේ දේවස්ථානය ලෙස හැඳින්වීමට හේතුව මේ කිතුනු දේවස්ථානයේ නිර්මාණය සිංහල බෞද්ධ ආගමික සිද්ධස්ථානවල ඉදිකිරීම් හා සමාන වීමය. ක්‍රිස්තු රජිඳ මුල් දෙව් මැඳුරට මීටර් දෙසීයක පමණ දුරකින් මහනුවර මාර්ගයේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉපැරැණිම බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස සැලකෙන ඇත්කඳ වෙහෙර පුරාණ රජමහා විහාරස්ථානය පිහිටා ඇත. මේ ආගමික සිද්ධස්ථාන දෙකෙහිම ඉදිරිපස වළාකුල් බැම්ම ඇත්රූපවලින් නිර්මිතය. එසේම කිතුනු දේවස්ථානයේ ඇතුළත ගොඩනැගිලිවල ඉදිකිරීම්ද දේශීය බෞද්ධ සංස්කෘතියට අනුකූලව කරන ලද ඉදිකිරීම් හා සමානය.

මේ සමානකම් නිසාම දුරබැහැර සිට පැමිණෙන ඇතැම් බෞද්ධ වන්දනාකරුවන් ඇත්කඳ වෙහෙර රාජමහා විහාරය යැයි රැවටී ⁣ක්‍රිස්තු රජිඳ මුල් දෙව් මැදුරු භූමියට ඇතුඵවූ අවස්ථාද බොහෝය.

මේ අපූරු දෙව් මැඳුරේ ප්‍රධාන දෙව් මැදුරු ගොඩනැගිල්ලේ ඉහළම මාලයේ අටපට්ටම් හැඩය සිහිකරන්නේද මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ හැඩහුරුවමය. මේ ඉදිකිරීම නිසා පිටස්තර බොහෝ දෙනෙකු මෙම ස්ථානය බෞද්ධ සිද්ධස්ථානයකැයි සිතා රැවටුණු වාර අනන්තය.

මේ නිසාම ක්‍රිස්තු රජිඳ මුල් දෙව් මැදුරට පන්සලේ දේවස්ථානය යන නාමය ලැබී තිබීමත් එක අතකට සාධාරණය.

මේ පන්සලේ දේවස්ථානයේ තවත් අපූර්වත්වයක් ඇත. ඒ බව අප දැනගත්තේ රදගුරු කීර්තිසිරි ප්‍රනාන්දු හිමිපාණන් විසින් උන්වහන්සේගේ මුහුණු පොතේ තබන ලද සටහනකිනි.

පන්සලේ දේවස්ථානයේ මෙතෙක් කටයුතු කළ රදගුරුවරුන් සිවුදෙනෙකුගේම නිල නිවස්නයේ කටයුතු බාරව සිටින්නේ සිංහල ⁣බෞද්ධයෙකු වන බණ්ඩා නමැත්තෙකු බව රදගුරු හිමියන් තම මුහුණු පොත් පිටුවේ සටහනක් තබා තිබුණි.

“අවුරුදු 40 කට අධික කාලයක් ලංකා සභාවේ ඇතුගල්පුර රදගුරු වසමේ රදගුරුවරු හතරනමක් රැකබලාගත් බණ්ඩා අදටත් සේවයෙහි යෙදී සිටියි. ඔහු සැදැහැවත් බෞද්ධයෙකි.” මේ රදගුරුතුමා තබන ලද සටහනයි.

ඒ අනුව බණ්ඩාගේ විස්තර ඉරිදා ලංකාදීපය වෙනුවෙන් සොයා ගිය අපට කීර්තිසිරි ප්‍රනාන්දු හිමිපාණන්ගේ අවසරය යටතේ බණ්ඩා සමග කතා කිරීමේ අවස්ථාව හිමිවිය.
බණ්ඩා යන නාමයට අමතරව ඔහු හඳුන්වන අනෙක් නාමයන් වන්නේ බණ්ඩා මාමා සහ බණ්ඩා සීයා යනුවෙන්ය. මේ සියල්ල ඔහුට ආදරේට කරනු ලබන ඇමතුම් නාමයන්ය. බණ්ඩාගේ නියම නම හේරත් මුදියාන්සේලාගේ අමරසිංහය. අමරසිංහගේ නැත්නම් බණ්ඩාගේ දැන් වයස අවුරුදු 62 කි.

“මම ඉපැදුණේ නිකවැරටිය මොන්නෑකුලම කියන ගමේ. අම්මාගේ නම මුතුමැණිකේ. තාත්තාගේ නම අප්පුහාමි. මට සහෝදරයෝ හත්දෙනෙක් ඉන්නවා. මම ඉගෙනගත්තේ මොන්නෑකුලම මහා විද්‍යාලයේ. වැඩිය ඉගෙනගත්තේ නැහැ. පහේ පන්තියට විතරයි ගියේ.”

“අපි ඒ කාලේ හරිම දුප්පත්. ඒ නිසාමයි මට වැඩිදුර ඉගෙනගත්තත් බැරිවුණේ. අපේ ගමේ හිටියා මලික් මොන්නෑකුලම කියලා මහත්තයෙක්. එයා වැඩ කළේ මහියංගණයේ ටුබැකෝ එකේ. එයා දවසක් මට කීවා මම වැඩ කරන තැන ලොකුමහත්තයාගේ ගෙදර උදව්වට කෙනෙක් හොයනවා කියලා. එහේ යන්න එන්න පුඵවන්ද කියලා ඇහුවා. ඒ පාර මම ඒ කියපු මහත්තයාගේ ගෙදර වැඩට ගියා. එතකොට මට වයස අවුරුදු පහළොවයි”.

“ඒ මහත්තයා ළඟ මම අවුරුද්දක්ම වැඩ කළා. ඒ මහත්තයා තමයි කුරුණෑගල දියෝකීසියේ ඇන්ඩෘ කුමාරගේ හිටපු රදගුරුතුමාගේ මල්ලි. ඒ වෙනකොට මම ඇන්ඩෘ උන්නාන්සෙත් හඳුනාගෙන හිටියා. දවසක් ඇන්ඩෘ උන්නාන්සේ මගෙන් ඇහුවා එයාගේ නිවාසෙත් වැඩට උදව්වට කවුරුත්ම නැති නිසා මට එන්න පුඵවන්ද කියලා. ඒ එක්දහස් නවසිය හැත්තෑ හයේ අවුරුද්දේ”.

“ඊට පස්සේ මම ඇන්ඩෘ උන්නාන්සේ ඒ වෙනකොට හිටිය ගම්පොළ නිවසට ඇවිත් උන්නාන්සේගේ වැඩ කටයුතුවලට උදව් කරගෙන හිටියා. එහෙම ඉන්නකොට උන්නාන්සෙට හැත්තෑ අටේ අවුරුද්දේ එංගලන්තෙට යන්න වුණා. ඊට පස්සේ මම ආයෙත් මහියංගණයට ගියා”.

“එංගලන්තයට ගිහින් ආවාට පස්සේ ඇන්ඩෘ උන්නාන්සේ කුරුණෑගල මුල් දෙව් මැඳුරේ ප්‍රධාන පියතුමා විදිහට පත්කරලා තිබුණා. මේ පදවිය බාරව හිටිය ලක්ෂ්මන් වික්‍රමසිංහ රදගුරුතුමා අසූතුනේ අවුරුද්දේ අපවත් වුණාම ඒ පදවියට ඇන්ඩෘ කුමාර උන්වහන්සේ පත්කළා. ඒ අසූහතරේ මැයි මාසයේදී”.

“ඇන්ඩෘ උන්නාන්සේ හරිම කරුණාවන්ත කෙනෙක්. මේ නිසාම උන්නාන්සේව හැඳින්නුවේ ඇතුගල්පුර මුණිවරයා කියලයි. මම පළමුවෙන්ම සේවය කළේ ඒ රදගුරුතුමාටයි. ඉන්පසුව කුමාර ඉලංගසිංහ, ශාන්ත ප්‍රැන්සිස් සහ දැන් ඉන්න කීර්තිසිරි ප්‍රනාන්දු රදගුරුතුමන්ලා යටතේ සේවය කළා”.

බණ්ඩා විවාහ දිවියට එළඹ ඇත්තේ එක්දහස් නවසිය අනූපහ වසරේදීය. විවාහ යෝජනාවකට අනුව හමුවූ ඇගේ නම හේරත් මුදියාන්සේලාගේ කුසුමාවතීය. බණ්ඩා පදිංචි ගමට අසල්වැසි ගමවූ මීවැල්ලෑව ගමේ පදිංචිකාරියකවූ ඇය බණ්ඩාට හමුවනවිට ගමේ පාසලේ ස්වෙච්ඡා ගුරුවරියක ලෙස සේවය කරමින් සිටියාය.

“කසාද බැන්දාට පස්සේ බිෂොප්තුමා මට කීවා දෙන්නාම ඇවිත් කුරුණෑගල නතර වෙන්න කියලා. ඒත් මම ඒ වෙනකොට ගමේම ගෙයක් හදලා තිබුණ නිසා කුරුණෑගල නතර වුණේ නැහැ. ඒ ගෙදර හදාගන්නත් ඇන්ඩෘ උන්නාන්සේ මට ගොඩාක් උදව් උපකාර කළා. මට හොඳ පඩියකුත් ගෙව්වා”.

“ඊට පස්සේ මම හැමදාම සිකුරාදා හවසට ගෙදර ගිහින් සඳුදා උදෙන්ම ආපහු දෙව් මැඳුරේ වැඩට එන්න පුරුදු වුණා. බිෂොප්තුමාත් මට ඒකට අවසර දුන්නා. මට එක පුතෙක් ඉන්නවා. එයා දැන් ආණ්ඩුවේ හෙද නිලධාරියෙකු විදිහට පුහුණු වෙනවා” .

මේ විදිහට කිතුණු බැතිමතුන්ගේ සෙවනේ කල් ගෙවද්දී බෞද්ධාගම අතැර එම ආගමට බැඳෙන ලෙස ඉල්ලීම් ලැබුණාදැයි අපි බණ්ඩාගෙන් විමසුවෙමු.

“නැහැ කිසිම කෙනෙක් මට එහෙම කියලා නැහැ. බිෂොප්තුමාලා යටතේ සේවය කරද්දී අඩුම ගානේ එතුමන්ලාවත් මට කියලා නැහැ එයාලාගේ ආගමට එන්න කියලා. මම ගැන නොදන්න සමහරුනම් මගෙන් අහලා තියෙනවා ඔයා ක්‍රිස්තියානිද කියලා. මට කිසිම කෙනෙක් ඔයා ක්‍රිස්තියානි වෙන්න කියලා යෝජනා කරලාවත් නැහැ. මේ ආගමට යන්න ඕනෑ කියලා කිසිම අවස්ථාවක මට හිතිලාවත් නැහැ”.

“මේ දේවස්ථානයේ මම සේවය කරපු හැම බිෂොප්තුමෙකුගේම ගෙවල්වලට මම ගිහින් දවස් ගණන් ඉඳලා කාලා බීලා ඇවිත් තියෙනවා. එතුමන්ලාගේ පවුල්වල අයත් මට හරිම ආදරෙන් සලකනවා. පල්ලියට එන අයත් මට කිසිම වෙනසක් නැතිව ආදරෙන් සලකනවා”.

“දැන් මට වයස අවුරුදු හැට දෙකයි. මේවෙනකොට මම අවුරුදු හතළිස් හයක්ම මේ දේවස්ථානයේ සේවය කරලා තියෙනවා. මම බුද්ධාගමේ වුණත් මේ වාගේ උතුම් ස්ථානයක සේවය කිරීමත් විශාල පිනක් විදිහටයි මම සලකන්නේ. මට තව පුළුවන් තාක්කල් මේ ස්ථානයට සේවය කරනවා”.

“පල්ලියේ වැඩ කරන ගමන් මට පුළුවන් වෙලාවට මම පන්සල් යනවා. මම ගොඩාක් වෙලාවට යන්නේ ළඟම තියෙන ඇත්කඳ විහාරස්ථානයට. ගමේ ගියාම ගමේ පන්සලට යනවා. මම ක්‍රිස්තියානි පල්ලියක සේවය කළත් ආගම අමතක නොකරපු කෙනෙක් නිසා ගමේ අයත් මට හොඳට සලකනවා”.

“කුරුණෑගල මේ දෙව්මැඳුර අපේ දේශීය සංස්කෘතියට බොහෝම සමීප නිසාම මම ඉන්නේ වෙනත් ආගමක් තියෙන ස්ථානයක කියන හැඟීම මට කවදාවත්ම දැනිලා නැහැ. බොහෝ වෙලාවට මට දැනුණේ මම ඉන්නේ බෞද්ධ ස්ථානයක කියලයි. ඒ තරමටම අපේ බුද්ධාගමට සමීප බවක් මට මේ දෙව් මැඳුරේදී දැනුන” …මේ බණ්ඩා බොහෝ අවිහිංසකව ඔහුගේ හදවතට දැනුණු දේ අපට පැවසූ ආකාරයයි.

ඇතැම් සිංහල බෞද්ධයන් විවිධ වරප්‍රසාද බලාපොරොත්තුවෙන් බුද්ධාගම අතහැර වෙනත් ආගම් වැළඳගනිත්දී ආගම වෙනස් නොකර කිතුනු වරප්‍රසාද මත ජීවිතය ගෙන යන බණ්ඩා සැබෑම බෞද්ධයෙකි.

ඔහු පවසන ආකාරයට ඔහුට මේ හැඟීම් ඇතිවී තිබෙන්නේ බෞද්ධ සිද්ධස්ථානයක හැඩහුරුවට සමානකම් කියන ක්‍රිස්තු රජිඳ මුල් දෙව් මැදුර නිසාය.
මේ නිසාම මෙම දෙව් මැඳුරේ ආරම්භය සොයා යාමට අදහස් කළ අපි ඒ පිළිබඳව කුරුණෑගල දියෝකීසියේ රදගුරු කීර්තිසිරි ප්‍රනාන්දු හිමිපාණන්ගෙන් විමසුවෙමු.
“මේ රදගුරු වසමේ මුල්ම රදගුරුතුමා තමයි ලක්දාස් ද මැල් රදගුරුතුමා. උන්වහන්සේ ආගමික භේදයකින් තොරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට විශාල සේවාවක් ඉටු කරපු ආගමික නායකයෙක්. එතුමාගේ ඥාති සහෝදරයෙක් තමයි මේ රටේ හිටිය විශිෂ්ට සංගීතවේදියෙක් වුණු දේවා සූර්යසේන. දේවා සූර්යසේන කියන්නේ අපේ රටේ ජාතික වීරයෙක් විදිහට සලකන සර් ජේම්ස් පීරිස්ගේ මුනුපුරා”.

“මෙයා ලන්ඩන්වල ඉඳන් සංගීතය ඉගෙන⁣ගෙන ලංකාවට එනවා. ඔහු ලංකාවට ඇවිත් කියනවා අපේ රටටත් දේශීය සංගීතයක් තියෙනවා කියලා. නමුත් ඔහු මේ කියන දේවල් ඒ කාලයේ හිටිය කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒවනවිට අපේ රටේ තිබුණේ උතුරු ඉන්දියානු සහ දකුණු ඉන්දියානු සංගීතය විතරයි’’.

“මේ නිසාම හුදෙකලා ගමනක් ගිය දේවා ඈත ගම්වල කුඹුරට ගිහිල්ලා නෙඵම් කවි එකතු කර ගන්නවා. ඊළඟට කරත්ත කවි, පාරු කවි, පතල් කවි වාගේ ගම්බද ජනතාවගේ ජන ගී එකතු කර ගන්නවා. මේ කවිවල එකතුවේ ප්‍රතිඵලයක් විදිහට ලංකා සභාවේ දේව මෙහෙය කියලා දේව මෙහෙයක් දේවා සූර්යසේන විසින් හදනවා. එක්දහස් නවසිය විසිනවයේදී තමයි මේ ලාංකීය දේව මෙහෙය බිහිවෙන්නේ. ඒ සඳහා අනුමැතිය ලැබෙන්නේ එක්දහස් නවසිය තිස්අටේදී”.

“අදටත් අපි භාවිත කරන ⁣මූලික දේව මෙහෙය ඒක තමයි. අපේ ලාංකීක ජනගීවල උෟරුවට තමයි මේ දේව මෙහෙයේ ගීතිකා ගායනා කෙරෙන්නේ. ඒ නිසාම මේ ගීතිකා ජනතාවගේ හදවත්වලට දැනෙන්න ගත්තා”.

“මේ කාලයේදී තමයි අපේ රටේ රාජ්‍ය මන්ත්‍රණ සභාව හැදෙන්න පටන් ගත්තේ. ඒ වෙනකොට හිටපු බිෂොප්තුමා ඩග්ලස් හෝස්ට් කියලා ඉංග්‍රීසි ජාතිකයෙක්. අපේ සභාව මුලින්ම පිහිටුවන්නේ එක්දහස් හත්සිය හතළිස් ගණන්වල. අනුනායක වසමක් ස්ථාපිත වෙන්නේ එක්දහස් අටසිය පහළොවේ. රදගුරු වසමක් කොළඹ ස්ථාපිත වෙන්නේ එක්දහස් අටසිය හතළිස්පහේදී. එතකොට ඒ රදගුරු වසම පිහිටුවීමේ ශත සංවත්සරය පවත්වන්නේ එක්දහස් නවසිය හතළිස්පහේ”.

“ඒ අනුව ප්‍රථම වරට ලාංකීය රදගුරුවරයෙක් අපේ රටට පත්කරනවා. එයා තමයි ලක්දාස් ද මැල්. මේ පත්වීමෙන් පසුව එතුමා බලනවා ශ්‍රී ලාංකීය විදිහට තමන්ට බාරදුන්න රදගුරු වසම ගෙනයා යුතුයි කියලා. එතුමා කියනවා දැන් කොළඹ මිනිස්සු විදේශීයකරණය වෙලා ඉවරයි, ඒ අය හදන්න බැහැ කියලා. මේ නිසා උන්වහන්සේ හිතනවා අපේ රටට නිදහස ලැබෙන්නත් කලින් රට ලාංකීයකරණයකට ගෙනයා යුතුයි කියලා”.

“ඒ අදහසට අනුව උන්වහන්සේ කොළඹින් බැහැර දෙව් මැදුරක් ඉදිකිරීම සඳහා සුදුසු ස්ථානයක් මහනුවර බලනවා. ගම්පොළ බලනවා. එහෙම බලලා අන්තිමට එයා තෝරා ගන්නේ කුරුණෑගල. මොකද කුරුණෑගල කියන්නේ ලංකාවේ සෑම පැත්තකටම යන්න පුළුවන් මධ්‍යස්ථානයක් විදිහට එදා උන්වහන්සේ දකිනවා. උන්වහන්සේ මීට අවුරුදු හැත්තෑවකට කලින් දුටු ඒ දෙය අද සැබෑ වෙලා තියෙනවා. කුරුණෑගල කියන්නේ අද මේ රටේ ප්‍රධානම නගර මධ්‍යස්ථානයක්. ඒ අනුව තමයි ලක්දාස් ද මැල් රදගුරුතුමා කුරුණෑගලට එන්නේ”.

“එතුමා නිතරම කියපු දෙයක් තමයි අපි නියම ලාංකීය කිතුනුවෝ කියන කතාව. ඒ සංකල්පය මත තමයි අපේ දේශීය අනන්‍යතාවයට, සිතුම් පැතුම්වලට ගැළපෙන ආකාරයට මේ දෙව්මැඳුර නිර්මාණය කරන්නේ. අන්‍ය ආගම් සහ අන්‍ය ජාතීන් අතර සහජීවනයක් වර්ධනය වන ආකාරයට නිර්මාණයක් කිරීමටයි ඒ රදගුරුතුමාට අවශ්‍ය වෙන්නේ. එදා එතුමා බලාපොරොත්තු වුණු සහජීවනය අපට අද වගේ කාලයක නේද ගොඩාක් වැදගත් වෙන්නේ. බණ්ඩා කියන්නේ මේ සහජීවනයේ එක පුරුකක්”.

“මේ දේවස්ථානය ගොඩනඟන්නේ එක්දහස් නවසිය පනහා වසරේදී. මීට කලින් කුරුණෑගල නගරයේ අපේ පැරැණි දේවස්ථාන දෙකක් තිබිලා තියෙනවා. නගර සංවර්ධනයත් සමගම ඒවා ඉවත් කරනවා. ඊට පසුව තමයි මේක හදන්නේ. එතුමාට අවශ්‍ය වුණේ විදේශීය ලකුණ අයින් කරලා ශ්‍රී ලාංකීය ලකුණ ස්ථාපිත කිරීමයි”.

“මම දන්න විදිහට මුළු ලෝකයේම රදගුරු වසම්වලින් දේවස්ථානයක සලකුණ විදිහට අලියා භාවිතා කරන්නේ අපි විතරයි. කුරුණෑගල සංකේතය තමයි ඇතාගල. ඇතා කියන්නේ ගාම්භීරත්වයේ සලකුණක්. ඒ සලකුණ තමයි ලක්දාස් ද මැල් රදගුරුතුමා අපේ දේවස්ථානයේ සලකුණ විදිහට අරන් තිබුණේ. ශ්‍රී ලාංකීය අනන්‍යතාව පෙන්වීමට එතුමාගේ සිත තුළ විශාල අවශ්‍යතාවක් තිබුණා”.

“වෙනත් රටවල මේ සලකුණ විදිහට පරෙවියා, බැටඵවා, සර්පයා භාවිතා කරනවා. අනික් කරුණ තමයි මේ දේවස්ථානයේ ඉහළම ⁣මාලය නිර්මාණය කරලා තියෙන්නේ අටපට්ටම් හැඩයටයි. අටපට්ටම් හැඩය කියන්නේ පාරිශුද්ධභාවයයි. ඒ වගේම මේ දේවස්ථානයට ඇතුඵ වන ස්ථානයේ ඉදිකරලා තියෙන බැම්මත් බෞද්ධ විහාරස්ථානයක වලාකුළු බැම්මට සමානයි. මෙය ඇත්රූපවලින් සමන්විත පවුරක් විදිහටයි නිර්මාණය කරලා තියෙන්නේ”.

ක්‍රිස්තු රජිඳ මුල් දෙව්මැඳුර ප්‍රදේශයේ බෞද්ධ, හින්දු, මුස්ලිම් ආගමික ස්ථාන සමගද බෙහෙවින් සමීපව කටයුතු කරන කිතුනු දේවස්ථානයක් ලෙස ඉතා ප්‍රකටය.
හැත්තෑ එකේ කැරැල්ල සම⁣යේදී මෙන්ම අසූඅට අසූනවය භීෂණ සමයේදී බොහෝ තරුණ තරුණියන්ගේ ජීවිත බේරා දුන් දේව සභාවක් විදිහටද ලංකා සභාව ඉතා ප්‍රකටය. ලංකා සභාවට අයත් ඉබ්බාගමුව දේවසරණාරාමයේ පාලක දේවගැතිවරයාව සිටි යොහාන් දේවානන්ද පියතුමා මේ තරුණ පිරිස්වල ජීවිත ගලවා ගැනීම සඳහා එදා රැකවරණය ලබාදී ඇත.

මෙම දියෝකීසියට අයත් පැවිදි සොයුරියන් ගෙල පලඳින කුරුස ලාංඡනයේ කුරුසය බෞද්ධ ධර්ම චක්‍රය මත සලකුණුව තිබීමද විශේෂ කරුණකි. මෙය දැවයෙන් නිමවූවකි. එසේම මෙරට කිතුනු සහ කතෝලික පැවිදි සොයුරියන් ශ්‍රී ලාංකීයත්වය ප්‍රදර්ශනය කරමින් වර්තමානයේ පලඳින ඔසරිය පළමු වරට පැලැඳීම ආරම්හ වී තිබුණේද කුරුණෑගල දියෝකීසියට අයත් දෙව් මැදුරෙන්ය.

මේ සියල්ල තුළින්ම කුරුණෑගල ක්‍රිස්තු රජිඳ මුල් දෙව් මැදුර පන්සලේ දේවස්ථානය ලෙස හැඳින්වීම කොතරම් සාධාරණ, ගැළපෙන දෙයක්දැයි වටහා ගැනීම අසීරු නොවනු ඇත.

පින්තූර සහ විස්තර
පුෂ්පකුමාර ජයරත්න
Source – ඉරිදා ලංකාදීප

  • 498
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button