පළකල දිනය : Fri, Jul 5th, 2019

රටටම රහසේ කාන්තන්කුඩිවල මිනිස්සුන්ට වෙන දේ

ෂරියා නීතිය ක්‍රියාත්මක කරමින් කාත්තන්කුඩි ප්‍රදේශයේ පුද්ගලයන් 20 දෙනකු අවසන්ගමන් යවා ඇතැයි මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අනාවරණය කළහ.

මුදල් පොලී කිරීම, සූදු ක්‍රීඩා කිරීම, ගණිකා වෘත්තියේ යෙදීම, හමුදාවට බැඳීම ආදී දේවල් ඉස්ලාම් දහමට අනුව සිදුකරන ලද වැරැදි බව කියමින් එම ඝාතන සිදුකර ඇති බවද උන්වහන්සේ පැවැසූහ. ඊට අදාළව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කොට ඇති බවත් ඊයේ (4දා) නුගේගොඩදී පැවැති වහබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරයේ ජන හමුවට සහභාගි වෙමින් මැදගොඩ අභයතිස්ස හිමියෝ එසේ ප්‍රකාශ කළහ.

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි

“ඇමෙරිකා ආක්‍රමණය, ඉන්දීය ව්‍යාප්තවාදය සහ වහබ් අන්තවාදය අපේ රට ගිල ගනිමින් සිටින තීරණාත්මක අවස්ථාවකයි. අපි මේ රැස්වී සිටින්නේ ලක්ෂ 58 සහ ලක්ෂ 62 එක්වී සිටින බව තක්කඩි දේශපාලකයන් තේරුම් ගත යුතුයි.

වහබ්වාදය පිළිගන්න රටවලින් ඕනෑ තරම් මේ රටට මුදල් එවනවා. මුස්ලිම් විද්වතුන් කියන ජමියතුල් උලමා සංවිධානය අන්තවාදය පෝෂණය කරනවා. ඔවුන්ට නැවත නැවතත් ආරාධනා කරනවා අපිත් සමඟ සංවාදයකට එන්න කියලා. වෙනම ආහාර, බැංකු, පාසල්, නීතිය අවශ්‍ය බව කියමින් එම අන්තවාදය ශක්තිමත් කරමින් ශුද්ධවන්තයෝ කියන අයට ඉඩදිය යුතු නැහැ.

මුස්ලිම්වරු රටේ බොකු, කළපු ආදී මර්මස්ථාන මිලදී ගෙන තිබෙනවා. ඔවුන්ට ඒ සඳහා සල්ලි ආවේ කොහොමද

ජනතාවගේ හදවතේ වේදනාව ගැන කතාකිරීම වැරැද්දක් හැටියට සලකනවා. අස්ගිරි මහා නාහිමියන්ට එන්.ජී.ඕ.කාරයෝ චෝදනා නඟනවා. ඒ වගේම ජනතාවගේ සත්‍ය දැන ගැනීමේ අයිතිය අහෝසි කරමින් සිටින මොහොතකයි අපි ඉන්නේ.

පසුගිය කාලේ පල්ලිවලින් කඩු, කිණිසි හමුවුණා. තුවක්කු, බෝම්බ ගෙවල්වල තැනින් තැන හමුවුණා. ඒවා අතින් ගද්දී මිථ්‍යා දෘෂ්ටිකයන් ඇති වෙන්නේ නැද්ද?

පසුගිය දවසක කාත්තන්කුඩි වැසියෙක් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළා ෂරියා නීතිය මඟින් 20කට අධික පිරිසක් මරාදැම්මා කියලා. කාඩ් සෙල්ලම් කිරීම, හමුදාවට බැඳීම, ගණිකාවක් වීම, පොලියට සල්ලි දීම ආදිය නිසයි කාත්තන්කුඩියේ එම පිරිස මරලා තියෙන්නේ.

අපි සහජීවනය කතා කළාට මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ ළඟ කොහෙද? මේ තත්ත්වය තේරුම් අරගෙන හිටියොත් විතරයි අපට මේකට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ.

අපට කූරගල, මුහුදු මහා විහාරය, දෙවනගල නැති වෙනවා. මේවට හූල්ල හූල්ල ඉන්න බැහැ. නායකයෙක් සමඟ මේකට මුහුණ දෙන්න ඕන.”

ජේ‍යෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

වහබ් අන්තවාදය නිසා යළිත් රට කැඩෙනවා. එල්.ටී.ටී.ඊ.ය සියුම් ලෙස කඩමින් සිටි රට අධිරාජ්‍යවාදී වුවමනාවට කැඩෙනවා. ඒ නිසා මෙය මුස්ලිම් ජනතාවට හෝ ඉස්ලාම් ධර්මයට එරෙහි සංවිධානයක් නෙවෙයි.

වහබ් අන්තවාදයටත් ඊට උදවු කළ දේශපාලනඥයන්ටත් එරෙහිව පළමුව නැඟී සිටිය යුත්තේ මුස්ලිම් ජනතාවයි.

ලෝකයේ ඕනෑ තරම් රටවල් ආගම් තියෙනවා. ඒත් ථෙරවාදී බුදු දහම ආරක්ෂා කරන්න තියෙන එකම රට ශ්‍රී ලංකාවයි. අවුරුදු 3000ක් පුරා මේ රටට ආක්‍රමණ ආවා. ඒත් මේ නිජබිමේ උරුමකරුවන්ට මේ රට අන්සතු කරන්න ඉඩ දුන්නේ නෑ.

සුද්දන් අපේ රට පක්ෂ විධියට, උඩරට පහතරට ලෙස, සිංහල දෙමළ, මුස්ලිම් ආදී ලෙස බෙදුවා. ඒ බෙදීමේ ප්‍රතිඵලයක් ලෙසයි වහබ් අන්තවාදය මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ.

සාෆි සහාබ්දීන් නි‍ෙදාස් කොට නිදහස් කරන්න සී.අයි.ඩීය රංගනයක යෙදෙනවා. මේ රටේ තිබෙන තලේබාන් ආණ්ඩුවත් කටයුතු කරන්නේ ඊටයි. කුරුණෑගල මවුවරුන් ඇතුළු පිරිස් තමයි අන්තිමට වැරැදිකරුවෝ වෙන්නේ.

පාර්ලිමේන්තුවේ කාරක සභාව රිෂාඩ් නි‍ෙදාස් කොට නිදහස් කළා. පොලිස්පති තමයි හිරේට යැව්වේ. තව ටික දවසක් ගියාම මේ රටේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති වුණොත් පුදුම විය යුතු නැහැ.

පාසල් පෙළපොත්වල ඉස්ලාම් පෙළ පොතේ 11 ශේ්‍රණියේ පෙළ පොතේ, 2007 සංස්කරණයේ තියෙනවා ඉස්ලාම් ආගම අදහන්නේ නැති අය මරන්න උගන්වනවා. ඒවගෙන් තමයි සහරාන්ලා බිහිවෙන්නේ. එහෙම නොවෙනවා නම් ඒක නිවැරැදි කළ යුත්තේ ඉස්ලාම් දහමේ අයයි.

ඊළඟට පත්වන ආණ්ඩුව සෘජුව හෝ වක්‍රව වහාබ් අන්තවාදයට උදවු කරන අය සම්බන්ධ කරගත යුතු නැහැ. ඊට අනුබල දෙන හෝ අනුගත වන කිසිවකුත් සම්බන්ධ කරගත යුතුත් නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ

ඉතිහාසය විසින් අපට වගකීමක් පවරා දී තිබෙනවා. ජාතියේ අනාගතය අද දවසේ අපෙන් වැඩ කොටසක් බලාපොරොත්තු වෙනවා. ඒ කාටවත් නසන්න හෝ කාගෙන්වත් නැසෙන්නත් නෙවෙයි.

වසර දහස් ගණනක් තිස්සේ ධර්මය රැකපු රට ඉදිරිපිට පහළ වෙලා තියෙන අනතුර ආවේගයෙන් නෙවෙයි සබුද්ධිකව පරාජය කරපල්ලා කියන ආයාචනය අප ඉදිරිපිට තිබෙනවා. ඒ අභියෝගය ධෛර්යවන්ත වෙයල්ලා. ඒ ආයාචනය භාරගන්න ධෛර්යවන්ත මිනිස්සු වෙයල්ලා කියලයි නුගේගොඩ රැලිය අද අපට කියන්නේ.

මුස්ලිම් දේශපාලන නායකයෝ වහාබ් අන්තවාදයට යටවෙලා ඉවරයි. මොකද්ද මේ වහබ්වාදයද? 1703 ඉපැදුණු අල් වහබ් අරාබිවරුන්ගේ වන්දනාවට ලක්වෙච්ච සොහොන් විනාශ කළා. සොහොන් වන්දනාව වැරැදිය කියන මතය ගෙනාවා. අනාචාරයේ හැසිරෙන ස්ත්‍රින් ගල් ගහලා මරන්න ඕන කියලා නීති ගෙනාවා. කාන්තාවන්ට මුළු සිරුරුම වැසෙන සේ නීති හැදෙව්වා. සංගීත වාදනය, නර්තනය, කාඩ් ක්‍රීඩා තහනම් කළා. දුම්පානය තහනම්, නාට්‍ය රඟ දැක්වීම, මිනිස් රූප ඇඳීම, සාහිත්‍ය තහනම් කළා. කාන්තාවන් රැකියා කිරීම, අධ්‍යාපනය ලැබීම තහනම් කළා. ඒ වහබ් අන්තවාදයට විරුද්ධවයි මේ සටන ආරම්භ කළේ.

2014දී ජමියතුල් උලමා සභාපති එම්.අයි.එම්. රිස්වි කියනවා සුන්නි සහ වහබ් අප අතර සිටියත් බියක් ඇති කරගන්න ඕන නෑ. ඔවුන් නීති විරෝධී ක්‍රියා නොකරන බව කියනවා. දැන් ඒකද වුණේ? 2017දී බෝම්බ හදන්න කාත්තන්කුඩිවලට අවිආයුධ ගොඩ බෑවේ නැද්ද? ඒකට පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකළේ ඇයිද? මේක රාජ්‍ය අනුග්‍රහය යටතේ වැඩෙන ත්‍රස්තවාදයක්.

2015 බල පෙරළියේදී සහරන්ලා වැඩ කළේ හංසයට. ඒ නිසයි සහරාන්ට විරුද්ධව පැමිණිලිවලට නීතිය ක්‍රියාත්මක නොවුණේ. ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ දෙකක් යන්නයි ටාජ් සහ හිල්ටන් හෝටලයට යන්නයි හේතුව මොකක්ද කියලා කල්පනා කළොත් මේකෙ පිටිපස්සේ තියෙන කතාව අල්ලගන්න පුළුවන්. සහරාන්ලා 2010 ඉඳන් ක්‍රියාත්මක වුණාට 2017 තමයි අවි ආයුධ ගොඩබෑවේ. කිතුනු ජනතාව පළමුව ඉලක්ක කළත් දෙවැනි ප්‍රහාරය බෞද්ධයන්ටයි. ඒකට තමයි සහරාන්ගෙ නෝනා සිංහල ඇඳුම් ගෙනාවේ. පළමු ප්‍රහාරය කිතුනුවන්ට ඉලක්ක කළාමයි ලෝකය සංවේදී වෙන්නෙ. දළදා මාලිගයට, ශ්‍රී මහා බෝධියට ප්‍රහාර එල්ල කළාම අයිෆල් කුලුනෙ ජාතික කොඩිය එල්ලුවේ නැහැ.

තිර පිටපත අනුව මෙසේ සිංහල – මුස්ලිම් මරා ගන්න ඕන. ඒකයි ඇක්සා ගිවිසුම ඊට පස්සේ අස්සන් කරලා හදිසි තත්ත්වයකදී ලංකාවට එන්න පාර සකස් කර ගත්තා. මාරාගැනිල්ල හදන්න සහරාන්ලා ඕන. සහරාන්ලා හදන්න වහබ්වාදය ඕන. වහබ්වාදය හදන්න මැදපෙරදිය සල්ලි ඕන. ඒ පූජකයො ඇවිත් මද්‍රසා පාසල්වල අන්තවාදය උගන්වන්න ඕන. එතකොට තමයි සහරාන්ලාට ගර්භාශ හැදෙන්නෙ. ඒත් සිංහල – මුස්ලිම් මරාගත්තෙ නැහැ. ඒත් අවදානම තවම පහ වෙලා නැහැ.

අම්මල තාත්තලට දරුවෙක් ලැබුණම රටක් විතරක් නෙවෙයි රටක් රාජ්‍යයක් ලබුණ කියලයි කියන්නේ. රටක් තිබුණාට වැඩක් නැහැ. රාජ්‍යයක් තිබුණොත් තමයි ජනතාව රැකෙන්නේ. සහරාන්ලාත්, ඇක්සා – සෝෆා ගිවිසුම්වලටත් ගහන්නෙත් රාජ්‍යයටයි.

ඒ නිසා වහබ් අන්තවාදය සමඟ එන අන්තවාදය දකිමු. වහබ් අනතුර ජයග්‍රහණය ගෙන දෙන්නේ එක්සත් ජනපදයටයි. ඔවුන්ට බැහැ මුස්ලිම් සමාජයේ සාමය රකින්න. ඒ නිසා සාමකාමී මුස්ලිම් ජනතාව මේ සටන අතට ගත යුතුයි.

වහබ් අන්තවාදයට රැකවරණ දෙන බදියුදීන්ලා වැනි අන්තවාදීන්ගෙන් ආණ්ඩු හැදෙන එක අපි නවත්වන්න ඕන. ඊළඟට මහ ආණ්ඩුව සහරාන්ලා බිහිකරන ගර්භාෂශය නැති කරන ආණ්ඩුවක් වෙන්න ඕන.

ආචාර්ය සරත් වීරසේකර

ජාතික ආරක්ෂාව කියන්නේ එල්ල වුණාම කඩු, කිණිසි සෙවීම නෙවෙයි. ත්‍රස්තවාදීන් හඳුනාගෙන ඔවුන්ගේ අරමුණු දැන ගෙන එම ප්‍රහාර වළක්වාලීමයි. ඒ සඳහා බුද්ධි අංශ අවශ්‍යයි. බුද්ධි බළකා 5 සිට 7 දක්වා වැඩි කොට ත්‍රස්තවාදී ක්‍රියා 2009න් පසුව පාලනය කළා. මද්‍රාසා පාසල්වල අන්තවාදය ඉගැන්වූ 166 දෙනෙක් පිටුවහල් කළේ ඒ අනුවයි. ඒත් මේ ආණ්ඩුව එම බුද්ධි අංශ අකර්මණ්‍ය කළා. ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබා ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා. මේ ප්‍රහාරයට වග කියන්න ඕන පූජිත්ලා නෙවෙයි. ආණ්ඩුවේ නායකයෝ ඇතුළු කැබිනට් මණ්ඩලය.

අපි වසර 2500ක් සිංහල රට බෞද්ධ රට රැක ගත්තා. මොන වහබ් අන්තවාදය ආවත් අපි මේ රට රැක ගත යුතුයි.

කුරාණය වැරැදි විධියට අර්ථ දක්වන්න එපා කියලා මුස්ලිම් අය කියනවා. ඒවා කිව යුත්තේ මුස්ලිම් පල්ලිවලින් මුස්ලිම් ජනතාවටයි.

ආසියා කලාපයේ තිබූ ඇෆ්ගනිස්තානය, පාකිස්තානය ආදී රටවල් විශාල ප්‍රමාණයක් ඉස්ලාම් රාජ්‍ය බවට පත් වෙලා. ඒක අපේ රටට සිදුවීමට ඉඩ දෙන්න බැහැ. සහරාන්ලා දහස් ගණනක් ආවත් ඔවුන් මට්ටු කරන්න අපි දන්නවා. සිංහල ජනතාව ඒකරාශී වී සිටිනවා නම් මේ රට බෙදන්න නොදෙන බව අපි මතක් කරනවා.

අපේ රටේ අභිමානය නැතිකොට එන්.ජී.ඕ. කාරයෝ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරනවා. ඔහු මුස්ලිම් රටක මවුලවි කෙනකු ගැන මෙවැනි පැමිණිලි කළා නම් බෙල්ල නැතුවයි එන්න වෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල

අප්‍රේල් 21 සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයෙන් අලුත් ශ්‍රී ලංකාවක් බිහි කළා. සිංහලයා පක්ෂයට උඩින් රට තබා ගත්තා. දෙමළ මුස්ලිම් ජනතාවත් එහෙම සිතන්න පටන් ගත්තා.

ඒත් රටේ නායකයෝ වහාබ්වාදීන් ආරක්ෂා කරනවා.

එජාපය අන්තවාදීන්ට යටවුණා. අපි අන්තවාදීන් සුළුතරයයි කියලා අපි ඉරක් ඇන්දා. ඒත් ඒ ඉර මුස්ලිම් නායකයෝ 21 දෙනා මකලා දැම්මා. අපි ඔක්කොම එකයි කියලා පෙන්නුවා.

1911දී 6%ක් වූ මුස්ලිම් ජාතිකයන් අවුරුදු 52ක් රටේ ජනගහන වර්ධනයට මුස්ලිම් ජනගහන ප්‍රතිශතය සමානයි. ඒත් 1981 සිට ඒක වැඩි වුණා. 2021දී මුස්ලිම් 12% දක්වා වැඩි වෙනවා. සිංහලයන් 73%ක් දක්වා අඩු වෙනවා.

වහබ් අන්තවාදය නිසා මුස්ලිම් සමාජයටවත් සාමකාමීව ජීවත්වෙන්න බැහැ. අටලුගම ෆාතිමාගේ කතාව හොඳම උදාහරණයක්. පොලිසිය බලා සිටියදී කාන්තාවට ගල් ගහනවා දරුවන් ඉදිරිපිට.

මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 10 වැන්නේ තියෙනවා කැමැති ආගමක් අදහන්න පුළුවන් බව. ඒත් ඉස්ලාම් ආගමේ තියෙනවා ආගම වෙනස් කළොත් මරනවා කියලා.

වහබ් අන්තවාදය එදා බාමියන් බුදු පිළිමයට කළ දෙය අවුකන බුදු පිළිමයට සිදුවන තුරුබලා ඉන්න බැහැ. දුප්පත් මුස්ලිම් දියණියන් කාති උසාවියට කැමැති නම් විවාහ කර දිය හැකියි.

සලීම් මර්ෂක් වැනි විද්වතුන්ට රවුෆ් හකීම් වැනි දේශපාලන නායකයන්ට බැහැ මුස්ලිම් සමාජයට බලපෑම් කරන්න. මුස්ලිම් සමාජය වහබ් අන්තවාදීන් විසින් ගිලගෙන ඉවරයි.

වහබ් අන්තවාදීන්ගේ රූකඩ අන්තවාදීන් මේ රට පාලන යුගය අවසන් කරනවා. සහරාන්ලගේ බෝම්බවලට සැලෙන්නේ නැහැ.

වහබ් අන්තවාදීන් සමඟ මුකුලු කරන්න කවුරු හරි හිතාගෙන සිටිනවා නම් ඒක අතහැරපල්ලා කියලා අපි කියා සිටිනවා.

මධුමාධව අරවින්ද මහතා

ඉස්ලාමිකයන්ට පුළුවන්, ඇහැට ඇහැක් සංකල්පය වෙනස් කොට කතෝලිකයන්ගේ වගේ එක කම්මුලකට ගැහුවම අනික් කම්මුල අල්ලන්න. වහබ්වාදය සහරාන්ගේ නිර්මාණයක් නෙවෙයි. 1932 වහබ් සිතියම අනුව නසරිස්තානය නම් වුණේ නැඟෙනහිර පළාත මූලික කරගත් ප්‍රදේශයයි සහරාන්ලා බිහි කළේ.

1817 හජ්ජි මරික්කාර් සිට මුස්ලිම්වරුන් අපි අත්හැරියා. සෙනරත් රජු නැඟෙනහිර පදිංචි කළ 4000 දැන් ලක්ෂ 5 පැනලා. ඒත් සිංහලයෝ ඔවුන් අත්හැරියේ නැහැ. ඒත් දැන් සිංහල ලේ කකියන්න පටන් ගෙන තිබෙනවා.

රංගන ශිල්පිනී අනූෂා දමයන්ති මෙනෙවිය

“ලක්ෂ 20කට වැඩි මුස්ලිම් ජනතාව දැන් සිංහලයන්ට මතක් කරදීම් රැසක් කර තිබෙනවා. අන්තවාදී නායකයන් පරාජය කිරීමට එක නීතියක් අවශ්‍ය බවට සිංහලයන්ට මතක් කරදී තිබෙනවා.”

මහාචාර්ය චන්න ජයසුමන මහතා

හිස්බුල්ලා හදන විශ්වවිද්‍යාලයේ අරමුණ මේ රටට බෝම්බකරුවන්, උගතුන් හැදීමයි.

කොල්ලුපිටිය ලංකා බැංකුවට සෞදියෙනුත්, ශ්‍රී ලංකාවෙනුත් කෝටි 370කට වඩා මුදල් මේ සඳහා බැරවී තිබෙනවා.

එම විශ්වවිද්‍යාලයට සෞදියෙන්, මැලේසියාවෙන්, ඊජිප්තුවෙන් තමයි ෂරියා උගන්වන ආචාර්යවරුන් බඳවා ගෙන තිබුණේ. පූනායි බිල්ඩින් මෝගල් ගෘහ නිර්මාණ ශිල්පය අනුවයි ඉදිකරලා තියෙන්නෙ. ඒක රජයට පවරා ගන්න බැරි නම් ඒ ගොඩනැඟිලි එම ස්ථානයෙන් ඉවත් කළ යුතුයි.

නිරාගාමිකයෝ, ඊනියා මාක්ස්වාදීන්, මංගල සමරවීර වැනි අය සාෆි සුද්ද කරනවා.

සාෆි වගේ අපරාධයක් මවුවරුන්ට හිට්ලර් හැර වෙන කිසි කෙනෙක් කරල නැහැ.

මේ ප්‍රශ්නයේදී සාෆි වැරැදි නම් ඔහුට දඬුවම් දෙන්න කියල මුස්ලිම් ජන සමාජය, උගතුන් කිව්වෙ නැහැ. එහෙම නැතිව මුස්ලිම් වෛද්‍යවරුන් ළඟට සිංහලයෝ බෙහෙත් ගන්න නොගියාට අපි පළි නැහැ.

ඊළඟ ජනාධිපතිවරණයේ දී ඡන්ද නැති වෙයි කියලා මේ ගැන කතා නොකර ඉන්න කියන අයටත් එහෙම කියල මේ ප්‍රශ්නය යට ගහන්න දෙන්නේ නැහැ. ඊළඟ මැතිවරණයේ ප්‍රතිඵල තීරණය වන ජාතික ප්‍රශ්න මේකයි.

ජාතික ජනතා පක්ෂයේ නායක එන්.විෂ්ණු කාන්තන් මහතා

අප්‍රේල් 21 ප්‍රහාරය නිසා තමයි මුස්ලිම් ජනතාව ගැන සිංහල අය දැනගත්තෙ. නැඟෙනහිර දෙමළ ජනතාව ඔවුන් ගැන දැනගෙන හිටියා.

සහරාන් මැරුණට ඔහුගේ නායකයා තවම ලංකාවේ ඉන්නවා. සහරාන්ගේ කල්ලිය මැරුණා නම් ඇයි තවම චෙක් කරන්නෙ? මේ ලංකාව මුස්ලිම් රටක් වෙන්න ඕන කියලා කියන්නෙ සහරාන් විතරක් නෙවෙයි. මවුලවිලත් ඒකයි කියන්නේ.

ආචාර්ය මාදුරුඔය ධම්මිස්සර හිමි

ඩොලර්වලට කතා කරන බත් බැලයන්ට මේ රටේ ජාතිකත්වය අහිමි කරන්න දෙන්න බැහැ. සිංහලයෝ නැඟිටිනවා. විනාශ කළ 27 වැනි රට බවට පත් කිරීමට ගත් අප්‍රේල් 21 කුමන්ත්‍රණය පරාද වී තිබෙනවා.

හින්දු සම්මේලනයේ සභාපති නාරා ටී. අරුන්කාන්ත්

ඉන්දියාවේ කෝටි 17ක් මුස්ලිම්වරු ඉන්නවා. ඒත් මෝදි මෙවර හින්දුවරුන්ගේ ඡන්ද අරගෙන අගමැති වුණේ සුළු ජාතීන්ගේ ඡන්ද නැතිව දිනන්න බැහැ කියලා ඇතැමුන් කියන පරිසරයකයි. ඒ වගේ සිංහල ජනතාව එකතු වී කොන්ද පණ තියෙන සිංහල නායකයකු බිහිකළ යුතුයි. අපි ටී.එන්.ඒ. ඡන්ද දෙලක්ෂ පනස් දහසක් කැඩුවා. ඒ අය සමඟ අනාගතයේ සිංහල නායකයෙක් බිහි කරනවා.

පාක්‍යසෝති සරවනමුත්තුගේ මතය දමිළ ජනතා මතය නෙවෙයි. ඔහුගේ බලු කතා ගැන අපි කනගාටු වෙනවා. සරවනමුත්තු කියන්නෙ මේ රටේ සිටින ඇමෙරිකන් තානාපති වගෙයි.

දෙනගම ධම්මික රණවීර
Source – මව්බිම

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button