පළකල දිනය : Fri, Jul 5th, 2019

හමුදා සෙබළාගේ අණ නොතකා බලෙන් පාසලට ඇතුළු වූ පියා

ගාල්ල අක්මීමන මානවිල උපනන්ද ජාතික පාසලේ ප‍්‍රාථමික අංශයට ඇතුළුවීමට උත්සාහ කළ එම පාසලේ අධ්‍යාපනය ලබන දරු දෙදෙනකුගේ පියකු පාසලේ ආරක්‍ෂාවට සිටි හමුදා සෙබළකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් ඊයේ (04 වැනිදා) පෙරවරුවේ මියගොස් ඇත.

අසනීප වී සිටි තම දරුවා බැලීමට පාසල වෙත පැමිණි මෙම පියා එහි ආරක්‍ෂාවට සිටි හමුදා සෙබළාගේ විරෝධය නොතකා පාසලට ඇතුළු වීමට උත්සාහ කරද්දී මෙම සිදුවීමට ලක්ව ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම සිද්ධියට ලක්වූ පියා නාවික හමුදාවෙන් විශ‍්‍රාම ගිය සෙබළෙකි.

ඊයේ පෙරවරුවේ මෙම පියා තම දරුවා රැගෙන යෑමට පාසලට පැමිණි අවස්ථාවේ හමුදා සෙබළා ඔහුට ඇතුළු වීමට ඉඩ දී නැත. පසුව මෙම පියා පෙරවරු 11.30 ට පමණ නැවත වරක් පාසලට පැමිණ ඇත්තේ තම දරුවාට අසනීප බවට පාසලෙන් කළ දැනුම් දීමකට අනුවය.

ඒ අවස්ථාවේදී ද මෙම හමුදා සෙබළා පියාට පාසලට ඇතුළු වීමට අවසර ලබාදී නැත. එහිදී හමුදා සෙබළා සහ මෙම පියා අතර බහින්බස් වීමක් ඇතිවී තිබිණි. හමුදා සෙබළාගේ විරෝධය නොතකා පියා පාසලට ඇතුළු වී දරුවා සිටි පංති කාමරය දෙසට ගොස් තිබේ.

ඒ අවස්ථාවේ යුද හමුදා සෙබළා පියාගේ පපු ප‍්‍රදේශයට වෙඩි ප‍්‍රහාර එල්ල කර ඇත.

වෙඩි ප‍්‍රහාරවලින් බරපතළ තුවාල ලැබූ පියා ති‍්‍රරෝද රථයකින් රැගෙන ගොස් පසුව ගිලන් රථයකින් ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන යද්දී මියගොස් ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අක්මීමන පොලිසිය පියාට මෙම සිදුවීම කළ හමුදා සෙබළා සහ ඔහු සතු ගිනි අවියද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී සිදුවීමට ලක්ව ඇත්තේ අක්මීමන මානවිල පදිංචි සිටි 31 හැවිරිදි කළුතන්ති‍්‍රගේ ප‍්‍රදීප් උදයකුමාර නමැති දෙදරු පියෙකි. ඔහු නාවික හමුදා තූර්යවාදක කණ්ඩායමේ සේවය කර ඉන් ඉවත් වූ අයකු බව විමර්ශනවලින් හෙළිවී ඇත.

සිද්දියට මුහුණ දුන් ප‍්‍රදීප් උදයකුමාරගේ දරුවන් දෙදෙනා මානවිල ප‍්‍රාථමික විදුහලේ එක සහ දෙක ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන බව පොලිසිය පවසයි. මෙම සිද්ධියෙන් පසු අක්මීමන මානවිල ප‍්‍රාථමිකයේ කුඩා දරුවෝ දැඩි භීතියට පත්ව සිටියහ.

සිද්ධියෙන් පසු කෝපයට පත්වූ දෙමවුපියන් මෙම ක්‍රියාව සිදුකළ හමුදා සෙබළාට විරෝධය දැක්වීම නිසා පාසලේ උණුසුම් තත්ත්වයක් උද්ගත විය.

යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදිසිංහ මහතාගේ උපදෙස් මත අක්මීමන පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු, සමන් ගමගේ, ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි, හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්, අක්මීමන – කේ. මතිලාල්
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button