පළකල දිනය : Sat, Jul 13th, 2019

ඇවන්ගාඩි සභාපතිගෙන් හෙලිදරවුවක්

ඇවන්ට්ගාර්ඩ් ආයතනයේ සභාපති මේජර් නිශ්සංක සේනාධිපති මහතා විසින් සකස් කරන ලද ලිපියකි.

නාවික හමුදාව යටතේ තිබූ අවි ආරක්ෂණ කටයුතු ඔවුන්ගෙන් ඉවත්කර අපගේ ඇවන්ට්ගාර්ඩ් සමාගමට දුන්නේ ඇයි දැයි අසමින් ද්වේශ සහගත ලෙස අවළාද නගනා, මඩ ගසනා සහ එම ක්‍රියාපටිපාටිය පිළිබඳව දැනගැනීමේ කුතුහලයෙන් පෙළෙනා බොහෝ දෙනෙකු වෙනුවෙන් මා මේ ලිපිය ලිවීමට තීරණය කළෙමි. සියලු ලිපි ලේඛන අප අතැතිව වසර පහකට ආසන්න කාලයක් අප ඒ පිළිබඳව නිහඬව සිටියේ එයින් නාවික හමුදාවට වෙන අපහසුතාවයත්, අප ආයතනයේ වැඩ කළ විශ්‍රාමික නාවික හමුදා නිළධාරින් එය හෙළිදරවු කරනවාට දැක්වූ අකමැත්තත් නිසා ය. නමුත් අකමැත්තෙන් වුවත් මේ මොහොතේ සත්‍යය ජනතාවට හෙළිදරව් කළයුතුව ඇත.

නාවික හමුදාව යටතේ පැවති ගොඩබිම පවත්වාගෙන ගිය අවි ආරක්ෂණ මෙහෙයුම්, අපගේ සමාගමට අයත් ගාලූ වරායේ නවතා තිබූ ( MV මහනුවර) නෞකාව වෙත ලැබෙන්න්ට ප්‍රධාන හේතු වුයේ නාවික හමුදාවේ පහල ස්ථරයේ අවි ආරක්ෂණ කටයුතු බාරව ක්‍රියා කළ දූෂිත නිළධාරින් නීතී විරෝධී අවි ආයුධ 800 වැඩි ප්‍රමාණයක් (මේ අපට දැනගන්නට ලැබුණු අවි ගණන පමණි. සැබෑ ප්‍රමාණය මීට වඩා බොහෝ සෙයින් වැඩිවීමට පුළුවන) ඩොලර් 5000 ක මුදලකට විදේශිකයන්ට විකිණීමත්, ඒවාට බලපත්‍ර ලබාදීමත්, ඔවුන්ගෙන් කප්පම් ගැනීමත්, විදේශිකයන් අවි ආයුධත් සමග මෙරටට ඇතුළු වීම රටේ ආරක්ෂාවට තර්ජනයක් වීමත් ආදී කරුණු නිසා ය.

මේ නීති විරෝධී අවි අයි.එස්.අයි.එස් සහ අල්කයිඩා සංවිධාන අතට පත්විය. යම් දිනෙක මෙවා හෙළි වූ විට සිදුවිය හැක්කේ කුමක්දැයි සිතාගත නොහැකිය. අප මේ සියලු කරුණු පවසන්නේ සාක්ෂි සහිතව වන අතර මෙම සාකච්ඡාව සිදුවූයේ අද්මිරාල්වරු පස්දෙනෙකු ඉදිරිපිටදී ය. එම දූෂිත නිළධාරින් සේවයෙන් පහකිරීමෙන් පසු මෙම මෙහෙයුම් නවතා දමන්නට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය මහතා අණ කළත් කරුණු දැක්වීමෙන් පසුව අප ආයතනයට එම මෙහෙයුම් බාර ගැනීමට හැකි බව දන්වා සිටියේ අප සමාගම ඒ වනවිටත් කිසිවකුගේ සහයක් නොමැතිව රතු මුහුදේ අවි ආරක්ෂණ නෞකාවක් පවත්වාගෙන ‍යෑමත්, ඒ වන විට මුහුදේ සිදුකරන අවි ආරක්ෂණය සම්බන්ධයෙන් පළපුරුද්දක් තිබූ එකම ආයතනය ඇවන්ට්ගාර්ඩ් වීමත් නිසා ය.

පළමුව මෙම මෙහෙයුම් ලබාදුන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති රක්නා ලංකා පෞද්ගලික සමාගමට වුවත් ඔවුන්ට එය ඉටු කිරීමට නෞකා ආදී ප්‍රමාණවත් තරම් සම්පත් නොතිබූ නිසා ඔවුන් අප සමග හවුල් ව්‍යාපාර ගිවිසුමකට එකඟ විය. මෙම ගිවිසුම නිසා නාවික හමුදාවටත්, රක්නා ලංකා සමාගමටත් පෙර ලැබුණ අදායම මෙන් කීප ගුණයක අදායමක් ලබාගත් හැකිවිය.

අවි ආරක්ෂණ මෙහෙයුම් සම්බන්ධයෙන් මා ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් ප්‍රසංශාවට ලක්කළ ආකාරය 2012 වසරේ නාවික හමුදාවේ ඉහළ නිළධාරින් අට දෙනෙකු හා මා අතර පැවති රැස්වීම් වාර්තාවේ ඇත. ” නාවික හමුදාවට අවශ්‍ය වන්නේ මුදල් නොව ජාතිකාරක්ෂාව බව කීමට තරම් හිටපු නාවික හමුදාපතිවරයා නිහතමානී වු බව අප මතක් කළ යුතුය. ” එමෙන්ම රණවිරුවන් ලෙස, ශ්‍රේෂ්ඨ නාවික හමුදාවට අපගේ ගෞරවය සෑමවිටම හිමිවනු ඇත. අප මෙතෙක් කල් මේ කරුණු සඟවාගෙන සිටියේ මෙමගින් නාවික හමුදාවට සිදුවන ලැජ්ජාව ගැන සලකාය. නමුත් මේ පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් ජාතික පුවත්පත් වෙත යොමු කිරීමට ද මා තීරණය කර ඇත.

විශේෂ හෙළිදරව්ව :

රක්නා ලංකා මෙහෙයුම් අප වෙත බාරදීමට පෙර විදෙස් ආයතන 24ක් සඳහා විදෙස් රටවලට ගෙනගිය අවි 172 ක් අස්ථානගතව වූ අතර එයින් 158 ක් ලොවවටා ගොස් අප ආයතනයට සොයාගත හැකිවිය. ඉතිරි 14 අදටත් අස්ථානගත ය. එම අවි අයි.එස්.අයි.එස්, අල්කයිඩා ත්‍රස්තවාදීන්ගේ අතට පත්වන්නට ඇත. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැරිටයිම් ආයතනය ලිඛිතව දැන්වූ ලිපියක් අප සතුව ඇත. යම්කිසි දිනෙක් ත්‍රස්තවාදීන් මෙම අවි භාවිත කර මනුශ්‍ය ඝාතනයක් සිදුකර හසු වුවහොත් ගිනි අවියේ නොම්මරය බලා එය ලංකාවෙන් නිකුත්කර ඇති බවට අනාවරණය වනු ඇත. මේ ගැන මා වගකිවයුතු ආයතන හා සි.අයි.ඩි. ය දැනුවත් කළ නමුත් ඔවුන් ඒ පිළිබඳව ක්‍රියාත්මක වුයේ නැත.

මේජර් නිශ්සංක සේනාධිපති
ඇවන්ට්ගාර්ඩ් ආයතනයේ සභාපති

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button