පළකල දිනය : Tue, Jul 23rd, 2019

ජීවිතය දිනන්ට අකීශා සහ සන්තෝෂ්ට හමුදා විරුවන් හුස්ම දුන් හැටි

ජෙගතීශ්වරන් අකීශා සහ සුවානන්දරාජා සන්තෝෂ් මේවන විට වයස අවුරුදු දහයක දරුවන්නය. ඔවුන් එලඹෙන අගෝස්තු මාසයේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සූදානම්ය.

යාපනයේ සිට කිලෝමීටර් 12ක් දුරින් පිහිටි පුත්තූර් නැගෙනහිර ගම්මානයේ ජීවත්වන ජෙගතීශ්වරන් අකීශා පුත්තූර් සෝමස්කන්ධා විද්‍යාලයේ මේවන විට අධ්‍යාපනය හදාරමින් සිටී. සුවන්නදරාජා සන්තෝෂ් අධ්‍යාපනය ලබන්නේ කොණ්ඩාවිල් රාමක්‍රිෂ්ණා විද්‍යාලයේය.

මීට වසර හතකට එනම් 2012 වර්ෂයවන විට මේ දෙදෙනාම හෘද රෝග මාරයාගේ ගොදුරක් බවට පත්ව අසරණව සිටියහ. දුප්පත්කමේ හිනිපෙත්තේම සිටි අකීෂාගේත් සන්තෝෂ්ගේත් දෙමව්පියන්ට මේ දරුවන් වෙනුවෙන් සැත්කම්වලට යොමුකරවන්නට තියා නිසි ප්‍රතිකාර ලබ දෙන්නටවත් වත්කමක් තිබුණේ නැත. නමුත් ඔවුන් අද කෙළිදොළෙන් දිවි ගෙවීම පිටපස අතීත කතා රැසක් ගැබ්ව ඇත.

මේ සැත්කම් දෙකම වෛද්‍ය විවේක් ගුප්තා මහතා විසින් සිදුකළ අතර ඒ එකදු සැත්කමකට හෝ තමන්ට ලැබිය යුතු සේවා ගාස්තුව ලබා නොගැනීමට හේ කටයුතු කළේය. එසේම එම සැත්කම් වෙනුවෙන් ආහාර, නවාතැන් මෙන්ම රෝහල් ගාස්තු ද අය නොකර සිටීමට ආසිරි ශල්‍ය රෝහල කටයුතු කිරීම ප්‍රශංශනීයය.එසේම ඔවුන්ද ගුවනින් කොළඹ රැගෙන ආ අතර ඒ සඳහා 511 යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය කළ ඉල්ලීමට අනුව ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය හිමිවිය.

එසේම විශේෂම සිදුවීම වන්නේ අකීෂාගේ සන්තුෂ්ගේත් සැත්කම් වෙනුවෙන් මුදල් වෙන් කෙරුණේ නල්ලූර් හි ඉපිද කොළඹ ප්‍රදේශයේ ජීවත්වන ඉන්ජිනේරුවකු වන කිරුබානන්දා මහතා මීට පෙර ක්‍රිෂ්ණකුමාර් කජෙන්තණීගේ සැත්කම වෙනුවෙන් ලබා දුන් මුදල් වලින් ඉතිරි වූ මුදල් වීමය. කජෙන්තනීගේ සැත්කම වෙනුවෙන් එ් මුදලින් රුපියල් ලක්ෂ දෙකක් වියදම් වූ අතර ඉතිරි මුදල අකීෂා සහ සන්තූෂ් ගේ සැත්කම් වෙනුවෙන් වෙන් කෙරුණි.

අකීශාගේ පියා එනම් ක්‍රිෂ්ණන් ජෙගතීශ්වරන් හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකි. ඔහු එල්ටීටීඊ සංවිධානයට බැඳී තිබුණේ 2004 වර්ෂයේ දීය. යුද්ධය අවසන් වීමත් සමඟ පොම්පයිමාඩු පුනරුත්තාපන කඳවරුවල පුනරුත්තාපනය කර 2011 වර්ෂයේ දී නිදහස ලැබූවෙක්ය. එදා අවුරුදු තුනක ළඳැරියක්ව සිටි අකීශාට පිහිට වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවයි.

2009 වර්ෂයේ ඉපදුණු අකීෂාගේ හැසිරීම අකීෂාට වඩා අවුරුදු තුනකින් වැඩිමල් තම පුතාගේ හැසිරීම්වලට වඩා හාත්පසින්ම වෙනස් වීම නිසා කාර්තීබා මේ ගැන විමසිලිමත් වී අකීශාව යාපනය රෝහලය රැගෙන යන ලදි. එහිදී යාපනය රෝහලේ වෛද්‍යවරුන් හඳුනාගෙන තිබුණේ අකීෂා දරුණු හෘද රෝගයකින් පීඩා විඳින බවයි. නමුත් ඒ සඳහා භාජනය කළ යුතු සැත්කම වෙනුවෙන් අවශ්‍ය මුදල් අකීෂාගේ දෙමව්පියන් සතුව නොතිබුණි.

දෛවයට සියල්ල භාරදෙමින් කාර්තීබා සියල්ල ඉවසා දරා සිටිද්දී ක්‍රිෂ්ණන් තමන්ට සිදුව ඇති මේ තත්ත්වය පිළිබඳ පුනරුත්තාපනය වන කාලයේ හඳුනාගත් අච්චුවේලි හි පිහිටි 5 වැනි ශ්‍රී ලංකා පාබල හමුදා( ස්වේච්ඡා) බලඇණියට පැවසීය. ඉන් අනතුරුව එළැඹියේ අකීෂාගේත් ඇයගේ දෙමව්පියන්ගේත් බලාපොරොත්තු දැල්වෙන නිමේෂයකි.

මූලික පරීක්ෂණවලින් පසුව අකීෂාත් ඇගේ මවත් ගුවන් මඟින් කොළඹට රැගෙන එනුලැබූ අතර ඉන් පසුව ආසිරි රෝහලේදී සාර්ථකව සැත්කම සිදු කෙරුනි. එදා ඒ සිද්ධිය පිළිබඳ අකිෂාගේ මව කාර්තිබා අප සමඟ අදහස් හුවමාරු කර ගත්තාය.

කොහොමද හමුදාව එක්ක මේ කටයුත්තට සම්බන්ධ උනේ ?
මගේ මහත්තයා පුනරුත්ථාපනය වෙච්චි කොටි සාමාජිකයෙක් . ඒ වෙලාවෙදි දුව අසනීප වෙලා යාපනය රෝහලට අරන් ගියා. ඒ වෙලාවේ තමයි යාපනය ඉස්පිරිතාලෙන් කිව්වේ දුවට සැත්කමක් කරන්න ඕන ඒක කරන්න පුළුවන්ද කියලා අපෙන් ඇහුවේ. මම කිව්වා අපිට එච්චර සල්ලි නෑ කියලා. ඒ වෙලාවේ අපේ ගේ ළඟ තිබුණු කෑම්ප් එකේ සර් කෙනෙකුට මහත්තයා මේ ගැන කියලා තිබුණේ. ඊට පස්සේ තමයි අපිට මේ විදිහට සම්බන්ධ උනේ.

කොයි කාලෙද ඒ ?
2012 ජූනි මාසේ. එතකොට දුවට අවුරුදු තුනයි.

දුව තාමත් බෙහෙත් ගන්නවාද ?
ක්ලිනික් යනවා. මාස හයකින් තමයි ආය එන්න කියලා තියෙන්නේ. ඔපරේෂන් එකෙන් පස්සේ එකපාරක් කොළඹ ගියා. මාස හයෙන් ක්ලිනික් ගියාට පස්සේ තමයි ආයෙත් පරීක්ෂණ කරලා නැවත ඔපරේෂන් කරනවාද නැද්ද කියලා තීරණය කරන්නේ කියලා දොස්කර මහත්තයා කිව්වා.

දුට ඔපරේෂන් කරන්න කලින් හමුදාව ගැන හිතන් හිටියේ කොහොමද ?
හමුදාව මෙච්චරම හොඳයි කියලා අපි දැනගෙන හිටියේ නෑ. මේ කටයුත්තට සම්බන්ධ උනාට පස්සේ තමයි අපි ඒ අය ගැන තේරුම් ගත්තේ.

හමුදාවේ අයත් එක්ක තවමත් සම්බන්ධතා තියෙනවාද ?
ඔව්. මෙහේ කෑම්ප් එකේ හිටිය හමුදාවේ ලොකු මහත්තයා මේ පැත්තට ආවොත් දුව බලන්න එනවා. ටොෆි චොකලට් ගෙනැත් දෙනවා. මේ අපේ ළමයි කියලා තමා කියන්නේ.

සිය මව සමඟ අප අදහස් හුවමරු කරගන්නා අතරතුර අප අතරම දැවටෙමින් සිටි අකීෂාත් අප සමඟ අදහස් බෙදා ගත්තේ මෙසේය.

“ මාව ප්ලේන් එකේ ආයෙත් එක්ක යනවාද? මට යන්න ආසයි. මම ගෙදර ඉද්දි නම් අයියා එක්ක සෙල්ලම් කරනවා. ඒත් ඉස්කෝලෙන් මාව සෙල්ලම් කරන්න ගන්න ගන්නේ නෑ. මට ඉස්කෝලෙත් සෙල්ලම් කරන්න ආසයි. මම ලොකු උණාම ටීචර් කෙනෙක් වෙනවා. ”

අපි අකීෂාට සමුදී ස්වාන්නදරාජා සන්තෝෂ්ගේ නිවස සොයා ගියෙමු. සන්තෝෂ්ගේ පවුලේ සාමාජිකයින් පදිංචි වී සිටියේ උරුම්පුරායි ඌරලු හි යෝගපුරම් හිය. අප සන්තෝෂ්ගේ නිවසට න විටත් සන්තෝෂ් සිටියේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පැවැත්වූ අතිරේක පන්තියකට සහභාගී වෙමිනි.

අප එහි ගිය පසු ඊ ගහක වේගයෙන් දිවගිය සන්තූෂ්ගේ අක්කා ඒ පණිවිඩය සන්තූෂ්ට ලබා දී සන්තූෂ්ව නිවසට රැගෙන ආවාය. ඒ අතරතුර සන්තෝෂගේ මව සංඛාමිත්‍රාත් නිවසට පැමිණියාය.

හෘද රෝගය උපතින්ම උරුමකරගෙන සිටි සන්තෝෂ්ගේ හැසිරීමේ වෙනසක් මෙන්ම පපුවේ පිහිටි රතු පැල්ලමක් නිසා ඒ පිළිබඳ යාපනය රෝහලේ වෛද්‍යවරුන්ට පැවසූ පසු එය දරුණු හෘද රෝගයක ලක්ෂණ බවට වෛද්‍යවරුන් හඳුනාගැනීමෙන් අනතුරුව සන්තොෂ්ටද හෘද සැත්කමක් කරන්නට අවැසි බවට නිර්දේශ කෙරිණ. ඒ අනුව සන්තූෂ්ගේ හෘද සැත්කම 2012 ජූනි 07 වැනිදා සිදු කෙරුණි.

ඒ පිළිබඳව සන්තූෂ්ගේ මව අප සමඟ අදහස් හුවමාරු කරගත්තාය.

මේ සැත්කමට හමුදාව සම්බන්ධ වෙන්නේ කෙහොමද ?
අපේ ප්‍රජා ශාලාවේ හමුදාවෙන් තිබුණු උත්සවයකදී හමුදාවෙන් කිව්වා අසනීප තියෙන අයට උදව් කරන්න එයාලා ලෑස්තියි. එහෙම අය ඉන්නවා නම් කියන්න කියලා. ඒ වෙලාවේ අපේ පුතා ගැන දැනුම් දුන්නා. ඊට පස්සේ අච්චුවේලු කෑම්ප් එකෙන් අපේ ගෙදරට ඇවිත් පුතාව කෑම්ප් එකට එක්ක ගියා. ගිහින් රීක්ෂණ වගේකුත් කළා.

කොයි කාලෙද ඒ ?
2012 ජූනි මාසේ. එතකොට පුතාට අවුරුදු තුනයි.

දැන් බෙහෙත් ගන්නවාද තාමත් ?
නෑ. ඕන නෑ කියලා දොස්තර මහත්තයා කිව්වා.

ඒ කියන්නේ දැන් පුතාට හොඳයිද ?
රෑට නිදාගත්තාම නම් පපුවේ සද්දේ ඇහෙනවා. දොස්තර මහත්තුරු කියපු නිසා දැන් බෙහෙත් බොන්නෙත් නෑ.

ඒ ගැන කියන්න ඉස්පිරිතාලෙට ගියේ නැද්ද ?
නෑ. එහෙනම් එක්ක යන්නම් අපි පුතාව

පුතාට ඔපරේෂන් කරන්න කලින් හමුදාව ගැන හිතන් හිටියේ කොහොමද ?
හමුදාව ගැන අපි වැඩිය දැනගෙන හිටියේ නෑ ගොඩක්. අපිටත් පුදුම හිතුණා හමුදාවේ අය මේවගේ දේවල් කරනවා කියලා ආරංචි උනාම. අපි හමුදාවේ අය ගැන තේරුම් ගත්තේ මේකෙන් පස්සේ තමයි. අපේ ගමේ අයටත් අපි මේ ගැන කතා කරලා කිව්වා. සමහරු නම් ඒකට වැඩිය කැමැත්තකින් හිටියේ නෑ. ඒත් පුතාගේ ඔපරේෂන් එකෙන් පස්සේ එදා අපිට විරුද්ධඋණු සමහරු එයාලා එදා හිතාගෙන හිටපු විදිහ වැරදියි කියලා අපිත් එක්ක කිව්වා.

හමුදාවේ අයත් එක්ක තවමත් සම්බන්ධතා තියෙනවාද ?
අපි ඒ අය ගැන නිතර නිතරනිතර කතා කරනවා. නමුත් ඒ අය එක්ක ලොකු සම්බන්ධයක් නම් නෑ. හැබැයි අපි හැමදාම ස්තූති කරනවා හමුදාවෙන් අපිට කරපු උදව්වට.

ස්වානන්දරාජා සන්තෝෂ් ඉන්පසු අප හා දොඩමළු වෙමින් කියා සිටියේ මෙවැන්නකි.

“ මට දැන් හොඳයි. ගෙදර ඉද්දි ගමේ යාළුවෝ එක්ක නම් මම හොඳට සෙල්ලම් කරනවා. ඒත් ඉස්කෝලේ ක්‍රීඩා කටයුතුවලට මාව ගන්නේ නෑ. මට දැන් හොඳවෙලා තියේද්දිත් මාව ඒවාට ගන්නේ නැත්තේ ඇයි දන්නේ නෑ. ටීචර්ලා නම් කියන්නේ මට තමව හෙඳටම හොඳ නෑ කියලයි.මම ඉස්කෝලෙදිත් සෙල්ලම් කරන්න හරි ආසයි. මම ශිෂ්‍යත්වෙ පාස්වෙනවා. ”

අකීෂාත් සන්තූෂ්ත් දැන් ජීවත් වෙන්නේ බලාපොරොත්තු පොඳි බැඳගෙනය. ඒ බලාපොරොත්තුවලට ජීවය දෙන්නට එදා බොහෝ පිරිසක් සිය දහඩිය කඳුළු හෙළුහ.

– Army Media

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button