පළකල දිනය : Wed, Jul 24th, 2019

මව්බිමට පැමිණි ඝෝඨාභයට දැඩි ආරක්ෂාව

වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුව බලා ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණ තිබුණි.

මාසයකට අධික කාලයක් ඒ මහතා සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියේය.

සැත්කමකට ලක්ව සිංගප්පූරු රෝහලකදී ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(23) රාත්‍රි 11.45 ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් 468 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණියේය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ආරක්ෂාවක් යටතේ මිරිහානේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ගියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස ඊයේ දිවයිනට පැමිණියේ ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා විදෙස්ගතව සිටීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ලබා දී තිබූ කාලය අදින් අවසන් වන පසුබිමකයි.

අදාළ නඩුව ජූලි 26 වැනිදා , එනම් අනිද්දා යළි විභාගයට ගැනීමට නියමිතයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිවසට පැමිණිමෙන් පසු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාද අද පෙරවරුවේ ඔහුගේ නිවස වෙත පැමිණියේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසා බැලීමට අද පස්වරුවේ මිරිහාන නිවස වෙත පැමිණ තිබුණි.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button