පළකල දිනය : Sat, Jul 27th, 2019

රටම දන්නා නිළියගේ ‘හබියා’ කෝටි දෙකකට කරපු දෙයක්

පහසුවෙන්ම පාවා දෙන්නට හැක්කේ විශ්වාසයයි. ගොඩනඟාගන්නට කොතරම් අපහසු වුවද විනාශ කරගන්නට නම් පහසුම වන්නේ එයයි. පසුගිය වසරේ මැද භාගයේදී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන කාන්තාවකි. ඇය මේ ඇවිද යන්නේද තමන් සන්තක සියල්ල විශ්වාසයේ නාමයෙන් ඔට්ටු තබා ඉන් පැරැදී, ඒ කාරණාවට නීතියෙන් සහනයක් ලබාගන්නටය. ඇගේ අවනඩුව අසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්වරම පුදුමයට පත්වන්නේ මේ කියනා පැමිණිල්ලේ විත්තිකාර පාර්ශ්වය රටම හඳුනනා නිළියකගේ ස්වාමිපුරුෂයා වීම හේතුවෙනි.

‘එයාගේ හස්බන්ඩ් එහෙම කෙනෙක්ද… පුදුමයිනේ…’ පැමිණිල්ල ලියාගන්නා නිලධාරියාද තම විස්මය පළ කරන්නේ නිළිය එතරම්ම ජනප්‍රිය බැවිනි. සාමාන්‍යයෙන් මෙරට විවිධ සටකපටකම් වෙනුවෙන් නීතියේ රැහැනට හසුවන්නේ දිනක් දෙකක් හෝ නාට්‍යයක දෙකක රඟපා ඇති එලොවටත් මෙලොවටත් නැති නිළියන්ය. නමුත් මේ එවැන්නකු නොවේ. නම කියූ පමණින් රටම දන්නා ඉතාම ජනප්‍රිය නිළියකි. ඇගේ ස්වාමිපුරුෂයා පිල්ලි ගසා ඇති මුදල රුපියල් ලක්ෂ දෙසීයකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය වූ කතාව ඒ අනුව මෙසේය.

‘ඔහු පිටකෝට්ටේ ප්‍රදේශයේ වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටි අයෙකි. හේ ජපානයෙන් මෙරටට වාහන රැගෙන එන දහස් ගණනක් වාහන අලෙවි කරන්නන් අතර තවත් අයකු ලෙස පෙනී සිටියෙකි. අදාළ නිළියවද සිය මුදල් ආනුභාවෙයන් විවාහ කරගන්නා ඔහු කෝට්ටේ ප්‍රදේශයේම පදිංචිව සිටියෙකි. බැලූ බැල්මට සාර්ථක ව්‍යාපාරිකයකු බව පෙනෙනා ක්‍රිෂාන්තගේ පැටිකිරිය එළියට එන්නේ අදාළ පොලිස් පැමිණිල්ලද සමඟිනි.

තමරා ප්‍රියනන්දනීට ක්‍රිෂාන්ත මුණගැසෙන්නේ දැනට වසර කිහිපයකට ප්‍රථමවය. ඒ ඇගේම මිතුරියක මාර්ගයෙනි. ක්‍රිෂාන්ත හා තමරා හඳුනාගන්නට හේතුව වන්නේද ඒ වන විට තමරා මෝටර් රථයක් මිලදී ගැනීමේ අවශ්‍යතාවයි. තමරාද බැලූ පමණින් යහමින් මුදල් හදල් ඇත්තකු වග පෙනෙන්නට විය. එබැවින් ක්‍රිෂාන්ත උපකාර කළේ අනාගත සැලැසුම් හිතේ ඇතිවය. කාලය ගතවිය. තමරා තමන් සතු නිවෙසක් විකුණා දමන්නට සූදානම් වන්නේ මේ අතරේය. කෝටි ගණනක වටිනාකමින් යුත් එම නිවෙස තමරා විකුණා දමන බව ක්‍රිෂාන්තට පවසන්නේ ඒ වන විට ක්‍රිෂාන්ත තමරා හොඳින් හඳුනනා අයකු වීම හේතුවෙනි. නිවෙස විකුණා මුදල් අතට ලැබීමත් සමඟ ක්‍රිෂාන්ත තේරුම් ගන්නේ තමන්ගේ උපක්‍රමය ක්‍රියාත්මක කරන්නට දැන් කාලය පැමිණ ඇති බවය.

තමාරා, හික්කඩුවේ හෝටලයක් හදාගෙන යනවා. ඒකට කෝටි දෙකක් වගේ ගාණක් මදි. ඔයාට පුළුවන් නම් මට ඒ සල්ලි දෙන්න. මම මාස තුනෙන් ඔයාට සල්ලි ආපසු දෙනවා. එන ජනවාරි මාසේ හෝටලයේ වැඩ පටන් ගන්නවා. එතකම් තමයි මේ සල්ලි ඕන. ඒ වෙනකම් මම මාසෙකට ඔයාට සියයට හතරක් පොලිය දෙන්නම්. ඒ කියන්නේ කෝටි දෙකකට ලක්ෂ අටක්, මාස තුනටම ලක්ෂ විසි හතරක් දෙන්නම්.’

තමාරා සැක කරන්නට තරම් අවශ්‍යතාවක් ඒ මොහොතේ නොවීය. කිසිවකු ක්‍රිෂාන්තගේ වැරැද්දක් කියන්නේ නැත. ඉහළ මට්ටමේ වාහන භාවිත කරනවා. නිතර දෙවේලේ රූපවාහිනියේ පෙනෙනා නිළියකගේ සැමියා වන ඔහු ගැන සැක කරන්නට තරම් අවශ්‍ය නැත. අනෙක් අතට මාස හතරකින් ලක්ෂ විසි හතරක් පහසුවෙන් සොයාගන්නටද හැකිය. ඒ මුදල් තනියම තමන්ට හිමි කරගන්නටද හැකිය. සියල්ල අවසානයේ මුදල් විසින් ගැහැනුන්ට සොබාදහම විසින් දෙන සහජ ඉව වැසී ගියේය.

2017 වසරේ දෙසැම්බර් මාසයේදී තමරා විසින් ක්‍රිෂාන්ත හට මුදල් ලබා දෙන්නේ නීතිඥයකු ඉදිරිපිටය. ඒ වෙනුවෙන් සුරැකුම්පතක් ලෙස හෝ ඇපයක් ලෙස හෝ ලක්ෂ සියය බැගින් වූ චෙක්පත් දෙකක්ද ක්‍රිෂාන්ත විසින් තමරාට ලබා දුන්නේය. කොහොමත් බිය වෙන්නට අවශ්‍ය නැත. ක්‍රිෂාන්ත මුදල් දුන්නේ නැති නම් චෙක්පත් මාරු කර මුදල් ලබාගත හැකිය. පොලියට ලැබෙන ලක්ෂ 24 නැතත් ක්‍රිෂාන්තට දුන් ලක්ෂ දෙසීයවත් බේරාගනු හැකිය.

කාලය විසින් කිසිවකු කෙරෙහි නතර වන්නේ නැතැයි කවුදෝ කියා තිබේ. 2018 වසරේ මාර්තුව අවසන් වන විට තමරාට සම්පූර්ණ මුදලත්, ඊට පොලියත් දෙන්නට ක්‍රිෂාන්ත බැඳී සිටියේය. එනම් ලක්ෂ 224කි. කුමක්දෝ හේතුවක් නිසාවෙන් නිළියගේ සැමියා මෙම මුදල් දහයෙන් පංගුවක් හෝ ගෙවා තිබුණේ නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති කටඋත්තරය අනුව අදාළ,

‘මුළු කාලය පුරාම ක්‍රිෂාන්ත මට ඉඳලා හිටලා රුපියල් පනස්දාහක් වගේ දානවා. ඔක්කොම එකතුව බැලුවත් ලක්ෂ තුනකට වඩා නෑ. මම ඇහුවාම කියනවා බය වෙන්න එපා සල්ලි ගෙවනවා කියලා. එතකොට අපේ ගිවිසුම කල් ඉකුත් වෙලා ඉවරයි. බැරිම තැන මම කිව්වා මම පොලිසි යනවා කියලා. එතකොට එයා කිව්වා බිස්නස් වැටුණා. ඒ නිසයි මෙහෙම වුණේ. එයාට තව මාස හයක් දෙන්න. ඒ වෙනුවෙන් මුදල් ගෙවන්න බැරි එක මාසයක් වෙනුවෙන් වැඩිපුර තව පනස් දාහක් දෙන්නම් කිව්වා…’

නැවතත් මුදල විසින් සහජ ඥානය අන්ධ කරනු ලබයි. තමරා තවදුරටත් ඔහුව විශ්වාස කරන අතර නැවතත් මුල් මුදලටම අලුත් ගිවිසුමක් අස්සන් තැබේ. ඒ අනුව 2018 මැයි මස නැවතත් ගිවිසුමක් අස්සන් කරන්නේ අමතර මාස හයක කාලයක් වෙනුවෙනි. එම ගිවිසුමේද කොටස් දෙකකි. මාස 7කුත් දින ගණනක් වෙනුවෙන් අස්සන් කෙරෙනා ගිවිසුම අනුව මුල් මාස තුන අවසන් වන අගෝස්තුව වන විට ඔහු ලබාගත් ලක්ෂ 200 මුදලෙන් භාගයක් එනම් ලක්ෂ 100ක මුදලක් ලබාදෙනු ඇත. ඉතිරිය හා පොලිය ගිවිසුම අවසන් වන්නට මත්තෙන් ලබාදෙනු ඇත.

තමරා දෑස් දල්වා බලා සිටියේ මේ ගැටලුව අවසන් වන තෙක්ය. ගිවිසුම අනුව මුල් ලක්ෂ 100ක මුදල ලබාදීමට නියමිතව තිබුණේ අගෝස්තු මාසයේ මැදදීය. ක්‍රිෂාන්ත එවැන්නක් ඇති බවක් හෝ පෙන්නුවේ නැත. ඉවසා සිටීමට නොහැකිම තැන තමරා ක්‍රිෂාන්ත අමතා කියන්නේ තමන්ට දුන් චෙක්පත් ද්විත්වය බැංකුගත කරනා බවයි. එවිට ක්‍රිෂාන්තට වහාම වැටහී ගියේ චෙක්පත් බැංකුවට ගියොත් තමන් ගසනා ‘ගේම් එක’ අවුල්වන බවය. ඔහු ඊට තමන්ගේ විරෝධය තදබල ලෙස ප්‍රකාශ කරන්නට යෙදිණි.

‘මම ඒ මොහොත වෙනකම් මෙතැන කපටිකමක් කියලා හිතුවේ නෑ. මම හිතුවේ ඇත්තටම ව්‍යාපාර කඩාවැටිලා නිසා මේ ගැටලුව කියලා. හැබැයි චෙක්පත් බැංකුවට දැම්මාම බැංකුවෙන් කිව්වා මේ දීලා තියෙන චෙක් ඔක්කොම වසා දැමූ ගිණුමක ඒවා කියලා. අඩුම තරමේ ගිණුමේ මුදල් නෑ කියලාවත් නෙවෙයි, චෙක් දීලා තියෙන්නේ වසා දැමූ ගිණුමකින්. ඒකෙන්ම තේරෙනවා මෙතැන තියෙන කපටිකමයි වංචාවයි. ඊට පස්සේ අගෝස්තු මාසයේ අවසානයේ තමයි මම මේ විධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්නේ” තමරා එසේ කියා තිබිණි.

චෙක්පත් වංචාවට අදාළව අදාළ චුදිතයා අත්අඩංගුවට ගන්නට පොලිසිය කටයුතු කරන්නේ 2019 වසරේ ජනවාරියේය. ඒ එතෙක් ඔහුට අවස්ථා කිහිපයකම කටඋත්තරයක් ලබාදීමට පැමිණෙන්නැයි කියා සිටියදීත් ඔහු හිතා මතාම පැමිණීම මඟහැර තිබූ පසුබිමකය.

අත්අඩංගුවට ගත් පසු හෙළිවන්නේ ඔහු විසින් මින් පෙරද මෙවැනිම වංචා සිදුකර ඇති බවය. මේ වන විට රටම දන්නා නිළියගේ වංචනික සැමියා පිළිබඳ ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මක වීමට නියමිතය.

ප්‍රසාද් අබේවික්‍රම
Source – මව්බිම

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button